2022 අගෝස්තු 07 වන ඉරිදා

කොරේ පිටට මරේ වුණු කාලගුණේ

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 50

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ බස්නාහිර, දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිතදිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැවැති වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැවැති තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව ආපදා තත්ත්වයන්ට මුහුණ පා සිටිති.

මේ වනවිටත් ජලගැලීම් හා නායයාම්වලින් පුද්ගල මරණ තුනක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම මෙම අයහපත් කාලගුණය හේතුවෙන් දොළොස් දහස් පන්සීයක් ඉක්මවූ පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.
පවතින තද වැසි සහ සුළං හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මි.මී. සියයට වැඩි තද වැසි වාර්තා වී ඇති අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට සුළඟේ වේගය පැයට කි.මී. 60 පමණ දක්වාත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට පැයට කි.මී. පනහ දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිව් දෙනෙකි. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වනවිටත් ලැබී නොමැත.

''මේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් දිස්ත්‍රික්ක අටකට බලපෑම් ඇතිවී තිබෙනවා. රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල, මාතර, මාතලේ නම් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතළිස් තුනකට මෙම ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මෙතෙක් මෙයින් බලපෑම් ඇතිවූ පවුල් තුන්දහස් තිස් හතක් මෙන්ම පුද්ගලයන් දොළොස් දහස් දෙසීය අසූ නමයක් මේ වනවිටත් මියයාම් තුනක් වාර්තා වන අතර අතුරුදන් වීම් හතරක්ද වාර්තා වෙනවා. ''යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී යම් අඩුවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වනවිට හම්බන්තොට, මහනුවර, ගාල්ල, මාතලේ, මාතර, රත්නපුර. නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවලට නාය යාම් සම්බන්ධයෙන් රතු නිවේදනයද නිකුත් කොට ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන අන්දමට වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ මධ්‍යම පළාත්වල ජීවත්වන ජනතාවය. මියගිය පුද්ගලයන් තිදෙනකු වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ගල් පෙරලීම්, ජල ගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස දහසකට අධික සංඛ්‍යාවක් හානි වී ඇති බවට වාර්තා වේ. මධ්‍යම කඳුකරයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු කිහිපයක්ද මේ වනවිටත් විවෘතව ඇත. එමෙන්ම එම පළාතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර තවමත් ඒවා නිසි පරිදි බැසගොස් නැත.

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල දරුවන්ගේ පාසල් අධ්‍යාපනයද අතරමග නැවතී ඇත. මාස ගණනාවක් වසා දැමූ පාසල් යළි විවෘත කෙරුණද මෙම අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල පාසල් දරුවන්ට සිදුවූයේ නිවෙස්වලට කොටුවීමය. මේ අතරේ ඇතැම් පාසල් ජල ගැලීමට සහ නායයාම්වලටද හසු වී ඇත.

විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල, කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත්, කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නත් සහ රථවාහන පදවන්නත් මේ සම්බන්ධයෙන් අවදානම යොමුකළ යුතු බවත් ප්‍රකාශ කර තිබේ. පොළොවේ ඇතිවන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැළුම් හා පොළොවේ ගිලාබැසීම් සම්බන්ධව සහ ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හා දුරකථන කුලුණු ආදිය සම්බන්ධවත් විමසිලිමත් විය යුතු බවටද එමෙන්ම ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම්, එක්වර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවැති ජල උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම සම්බන්ධයෙන්ද විමසිලිමත් වන ලෙසට ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය සඳහන් කරයි.

පවතින මෙම වර්ෂාපතන තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේදී ඉදිරි දින කිහිපයේදී සැලකිය හැකි වර්ෂාපතන අඩුවීමක් සිදුවිය හැකියි. නමුත් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව සහ සබරගමුව, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් වර්ෂාව ඇතිවිය හැකි අතර එහිදීද යම් ප්‍රමාණයකින් වර්ෂාපතනය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඇතැම් ස්ථානවල මි.මී. පනහ - හැත්තෑව ප්‍රමාණයේ වර්ෂාවක් ඇතිවිය හැකියි. සුළඟේ වේගය තවදුරටත් අපේක්ෂා කළ හැකියි. වයඹ, බස්නාහිර, බටහිර බෑවුම, මධ්‍යම කඳුකරයේ සුළඟේ වේගයත් ඇතිවන්නට බොහෝ ඉඩ තිබෙනවා. මෙය නිරිතදිග මෝසම් සක්‍රීයවීමෙන් ඇතිවුණ තත්ත්වයක්. නිරිත දිග මෝසම් තත්ත්වය මැයි මස සිට සැප්තැම්බර් දක්වා පවතිනවා. එවැනි කාලයකදී මෙසේ සක්‍රිය වීම් ඇතිවන්නට පුළුවන්. මේ එවැනි තත්ත්වයක්. මෙය තාවකාලික වෙනස්වීමක් වෙලා තිබෙනවා. මේ වර්ෂාපතනය අගෝස්තු මස දහවැනිදායින් පසුව බොහෝ අඩුවීමක් දකින්නට පුළුවන් වේවි.* යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න