2022 අගෝස්තු 07 වන ඉරිදා

අපි කන්නේ හොදියි බතුයි

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 48

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6.26 ක පිරිසක් ආහාර හිඟයට මුහුණ දී ඇතැයි ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබේ. එම වැඩසටහනේ නවතම තත්ත්ව වාර්තාවට අනුව ශ්‍රී ලංකා ජනගහනය ආර්ථික හා ආහාර අර්බුදයට දැඩිව මුහුණ පා ඇති අතර  සෑම නිවෙස්  10කින් 3ක් පමණ (මිලියන 6.26ක ජනතාවක්) ආහාර හිඟයට මුහුණ පා තිබේ. ඔවුන් තම ඊළඟ ආහාර වේල ලබා ගන්නේ කෙසේද යන අවිනිශ්චිත බවට මුහුණ පා සිටින අතර  එම පිරිස අතුරින් 65,600ක පිරිසක් දැඩි ලෙස ආහාර හිඟයට මුහුණ පා සිටිති. 2022 ජූනි මාසයේදී ආහාර උද්ධමනය විශ්මයජනක ලෙස 57.4% දක්වා ඉහළ ගියේය. ජීවනෝපාය බිඳවැටීම හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය දැඩිව සීමා කෙරෙමින් පවතී. අහස උසට නැඟෙන ආහාර පිරිවැය හේතුවෙන්  ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ හැකියාව ඔවුනට අහිමි වී තිබේ. මේ හේතුවෙන් තම වියදම් කපා හැරීම සඳහා ඔවුන් අනුගමනය කරන උපාය මාර්ගය වන්නේ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අවම කිරීමය. 

සමීක්ෂණය  කරන ලද නිවෙස්වලින්  බහුතරයක් (61%ක්) තම වියදම් අවම කර ගැනීම සඳහා ඔවුන් පරිභෝජනය කළ ආහාර ප්‍රමාණය අවම කර ඇති අතර පෝෂ්‍යදායී ආහාර අනුභවය සීමා කරමින්  යාන්තමින්  කුස පුරවා ගැනීමට පුරුදු වී සිටිති. පසුගිය මාස තුන තුළ නිවාස පහකින් දෙකක ආදායම හරි අඩකින් අවම වී  ඇති බවට වාර්තා වේ., ඔවුහු යාන්තමින් මොනවා හෝ අනුභව කොට ජීවිතය ගැටගසා ගැනීමට කටයුතු කරමින් සිටිති.

මෙම තත්ත්වය වඩාත් නරක ලෙස බලපා ඇත්තේ වතුකරයේ ජීවත් වන ජනතාව අතරය. ඒවායේ සමස්ත නිවෙස් ප්‍රමාණයෙන් අඩක පමණ මෙම තත්ත්වය පවතී. ආර්ථිකය දැඩි ලෙස පිරිහෙමින් පවතින හෙයින් නාගරික සහ ග්‍රාමීය ජනගහනයටත් වඩා පීඩාවට පත්ව ඇත්තේ මෙම පිරිසය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට තම එදිනෙදා ආහාර වේල සපයා ගැනීම සඳහා ණය කරුවෝ බවට පත්ව සිටිති. මෙම තත්ත්වය ඇස්තමේන්තුගත නිවාස 200,000ක ජනතාවගේ මධ්‍යකාලීන හා දිගුකාලීන ආදායම් උත්පාදන තත්ත්වයට දැඩි ලෙස බලපාමින් තිබේ. අර්බුදය තව දුරටත් වර්ධනය වුවහොත් මීටත් වඩා වැඩි පිරිසක් එම තත්ත්වයට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි. 

“මේ දවස්වල අපිට හරියට කෑම වේලක් නැහැ’ කන්නේ බතුයි හොදියි විතර යැයි” එක් කාන්තාවක් ලෝක ආහාර වැඩසටහනේ සාමාජිකයකුට පවසා තිබේ. 

පෝෂණය නොමැතිකම ගර්භනී කාන්තාවන්ට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන අතර ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍යය දැඩි අවදානමට ලක් කරන බවට දලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවන බව එක්සත්. ජාතීන්ගේ වාර්තාවල දැක්වේ.. ''ගැබිනි මව්වරුන් දිනපතාම පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කළ යුතු නමුදු දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන  කාන්තාවන්ට එය කළ නොහැකි හෙයින් ඔවුනට ලැබිය යුතු නිසි පෝෂණය නොලැබෙන බව'' එම සංවිධානය පෙන්වා දෙයි. ''ඔවුන්ගේ මුලික අවශ්‍යතාවන්වත් ඉටුකරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. පවතින තත්ත්වය දරාගත නොහැකියි'' යනුවෙන් ලෝක ආහාර වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ඇනීතා වෙබ් රූපවාහිනි සේවයකට පවසා තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් පාසල් සහ රජයේ කාර්යාල නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. ජූනි මාසයේ මූලික උද්ධමනය 57.4% ක් වූ අතර එය 1954න් පසු වාර්තා වූ ඉහළම උද්ධමන අගයයි. ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ සෞඛ්‍ය අංශ මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. මෙම තත්ත්වයට බලපා ඇත්තේ රටේ දැඩි විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වීම හේතුවෙනි. එහෙයින් අත්‍යවශ්‍ය ආනයන සඳහා වැය කිරීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ පා සිටියි. මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, ඖෂධ, ගෑස්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් ඇති වී ඇති අතර, ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් සෑම ප්‍රදේශයකම දැකිය හැකිය. ක්ෂණික මැදිහත්වීමක් නොවුණහොත් මෙම තත්ත්වය තව දුරටත් නරක අතට හැරෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

ගොවීන්ට අවශ්‍ය බීජ, පොහොර සහ මූල්‍ය ආධාර ලබා නොදුනහොත් එළඹෙන මහ කන්නයේ වී වගාව 50% කින් පමණ අවම වීමේ අවදානමක් පවතින අතර ධීවර හා පශු සම්පත් ක්ෂේත්‍රයේ යථා තත්ත්වයට පත් නොවුවහොත්  ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමටත්, ආනයන මත යැපීමටත් සිදුවනු ඇතැයි  එම වාර්තාව පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදය විසින් ඉදිරියේදී පවුල් කුසගින්නට හා දරිද්‍රතාවට පත් කරනු ඇත. ඇතැම් පවුල් එම තත්ත්වයට වැටෙන්නේ පළමුවරටය. ලෝක බැංකුව ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට කොවිඩ් වසංගතය හේතුවෙන් මිලියන භාගයකට අධික පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටී තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වනු ඇත. ලෝක ආහාර වැඩසටහන 2022 වසරේ මිලියන 3.4ක ජනතාවකට කඩිනමින් සහන සැලසීමට තම මෙහෙයුම් පුළුල් කරමින් සිටී. එම ආධාර ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක් කඩිනමින් ලබා දෙන ලෙසට. ඔවුන් ලෝකයට ආයාචනය කර තිබේ. මේ වන විට ඔස්ට්‍රේලියාව, ජපානය සහ නවසීලන්ත රජයන්ගෙන් හා එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20.1 ලෝක ආහාර වැඩසටහන වෙත ලැබී තිබේ. එය සමස්ත අවශ්‍යතාවෙන් 32%ක පමණ මුදලකි.

“මෙය මානුෂීය ව්‍යසනයක් වීමට පෙර අපි වහා ක්‍රියාත්මක විය යුතු'' යැයි  ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා