2022 අගෝස්තු 07 වන ඉරිදා

අමෙරිකාව අල්කයිඩා නායකයා මරා දැමුවාද?

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 68

අමෙරිකා මිසයිල ප්‍රහාරයක් අල්කයිඩා නායකයා මරා දැමූ බව ලෝකය කළඹාලමින් ප්‍රචාරය වෙද්දී මේ වනවිට ඔහු සැබෑවටම මේ ප්‍රහාරයෙන් මියගියාද යන්න පිළිබඳ සාධාරණ සැකයක්ද මතුවෙමින් පවති. ඒ ඔහුගේ සිරැරේ කොටස් හෝ සුන්බුන් හෝ ගැන කිසිදු පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් වී නැති හෙයිනි. කෙසේ වුවද ''අපායේ ගිනිදළු'' රුගත් අමෙරිකාවේ ‘හෙල් ෆයර්’ මිසයිල 2ක් කාබුල්හි ගොඩනැඟිල්ලක් සුනුවිසුණු කර තිබේ.

පසුගිය වසරේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේදී, ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ ඒ රට ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත තෝතැන්නක් බවට පත් කිරීමට තලේබාන් ප්‍රමුඛ නව පාලනයට ඉඩ නොදෙන බවටය.

ඉන් වසරකට පමණ පසු, අමෙරිකා ජනාධිපතිවරයාගේ ඉහළම ආරක්ෂක උපදේශකයන් ඔහු වෙත පැමිණ වාර්තාකළේ සිය බුද්ධි අංශ නිලධාරීන් ඒ වනවිට සිටි අල්කයිඩා  නායක අයිමන් අල්-සවාහිරි ඇෆ්ගනිස්ථානයේ සිටින බව සොයාගෙන ඇති බවකි. එතැන් සිට ඇරැඹුණ මහා හඹායාමක සහ සූක්ෂම ඔත්තු බැලීමක ප්‍රතිපලයක් ලෙස  අල්කයිඩා නායක අයිමන් අල්-සවාහිරි ඉලක්ක කර අමෙරිකානු මිසයිල ප්‍රහාරයක් එල්ලවිණි. පසුගිය සතියේ ජෝ බයිඩන් ලෝකයට කීවේ තම ප්‍රහාරකයන් බින් ලාඩන්ගේ දකුණු අත ලෙස සලකනු ලැබූ අල්-සවාහිරි සාර්ථකව ඉලක්කයට හසුකර ගත් බවයි. නමුත් ප්‍රහාරයෙන් පසු සවාහිරිගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත. එහෙත් ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි නිශ්චිත අවස්ථාවක අතීතයේ නිවැරදි ඉලක්ක හසුකර ගැනීමට සමත් වූ මිසයිලයක් ඔහු වෙත එල්ලවූ බව සනාථ වී හමාරය.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර පිටුබලය ලත් ආණ්ඩුව බිඳවැටීමෙන් පසු පසුගිය වසරේ අල්-කයිඩා නායකයින් සෙමෙන් රට තුළට ඇතුළුවූහ. නමුත් එක්සත් ජනපදය ඉවත් වූදා සිට එක්සත් ජනපද ඔත්තුකරුවන් ඇෆ්ගනිස්ථානය දෙස හොඳින් ඇස ගසා කරමින් සිටි බව බයිඩන් මහතාගේ උපදේශකයෙකු පවසා තිබුණි. ඒ අනුව සවාහිරි නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණ ඇති බව එක්සත් ජනපද ඔත්තුකරුවන් ජ්‍යෙෂ්ඨ පරිපාලනයට දැනුම් දී තිබුණි.


සවාහිරි ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ කාබුල් නගරයේ උස්, ආරක්ෂිත බිත්ති සහිත විශාල පරිශ්‍රයක පදිංචි වූ බව එයින් කියැවිණි. සවාහිරි තෝරාගත්  ප්‍රදේශය, ෂර්පූර් නම් සාපේක්ෂ වශයෙන් යහපත් ප්‍රදේශයක් වන අතර එය පෙර පරිපාලනය යටතේ විදේශීය තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිවහන විය. දැන්, තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක් ජීවත්වන්නේ එහි අලංකාර වටපිටාවකය.

අල්කයිඩා නායකයාට සහ ඔහුගේ පවුලේ අයට බුද්ධි අංශ කිහිපයක් හරහා සහාය දෙන ජාලයක් හඳුනාගෙන ඇති බව අප්‍රේල් මස මුලදී, සීඅයිඒ නිලධාරීන් ප්‍රථමයෙන් බයිඩන් මහතාගේ උපදේශකයින්ද පසුව ජනාධිපතිවරයාද දැනුවත් කළෝය. එතැන් සිට දෛනික අවධානය සහ සූක්ෂම විපරමක් ක්‍රියාත්මක වුයේ සවාහිරි වෙත අවසාන මාරාන්තික එල්ලය ගැනීමටය.

ඔත්තුකරුවන් සවාහිරිගේ බිරිඳ ලෙස හඳුනාගත් කාන්තාවකගේ විශේෂ හැසිරීම් ඇතුළුව නිවසේ පදිංචිකරුවන්ගෙන් හැසිරීම් රටා සූක්ෂම ලෙස නිරීක්ෂණය කර ඇත. මේ කාබුල් සුරක්ෂිතාගාරයට පැමිණි පසු සවාහිරි කිසි දිනක පෞද්ගලිකව එම පරිශ්‍රයෙන් පිටව නොයන බව ඔවුහු නිරීක්ෂණය කළහ. නමුත් එම ගොඩනැගිල්ලේ බිත්තිවලට ඉහළින් ඇති බැල්කනියේ වරින්වර ඉතා කෙටි කාලයක් පෙනී සිටීමේ පුරුද්දක් ඔවුන්  නිරීක්ෂණය කර ඇත.

මැයි සහ ජූනි පුරාවට, එක්සත් ජනපද නායකයා යුක්රේනයේ යුද්ධය, තුවක්කු පාලනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ වැදගත් නීති සම්පාදනය වැනි සෙසු ලෝකයේ  කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතරදී, ඉතා රහසිගතව ''කුඩා හා තෝරාගත්'' ඉහළ බුද්ධි නිලධාරීන් පිරිසක් ඇමරිකාවට වඩාත්ම අවශ්‍ය මිනිසෙකු මරා දැමීමේ විකල්ප කිහිපයක් සූදානම් කිරීම අරඹා තිබුණි.

සවාහරි මූලික කරගත් මෙවන් ප්‍රහාරයකින් සවාහිරිගේ පවුලේ අය සහ තලේබාන් නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් අහම්බෙන් මිය නොයන බව සහතික කිරීම බයිඩන් මහතා බුද්ධි අංශ නිලධාරීන්ට පවරා තිබුණි.

ජුලි 1 වැනිදා ජනපති බයිඩන් CIA අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ Avril Haines ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු කෙටි සාකච්ඡාවක් සඳහා රැස් කළේය. ඔහු සහ ඔහුගේ උපදේශකයන් බුද්ධි නිලධාරීන් විසින් ඉදිකරන ලද සහ ධවල මන්දිරයට ගෙන එන ලද සවාහිරිගේ නිවසේ නිසි පරිමාණ ආකෘතියක් වටා එැස් වූහ. ධවල මන්දිරයට පහළින් බංකරයක් වැනි අණදෙන මධ්‍යස්ථානයක් තුළ ඔවුන් ක්‍රමානුකූලව මෙහෙයුම සැලසුම් කළහ.

මේ අතර, මෙවන් ප්‍රහාරයක නීත්‍යානුකූලභාවය තක්සේරු කිරීමට කුඩා නීතිඥ කණ්ඩායමක්ද එකතු වූ අතර, අවසානයේ නිගමනය කළේ සවාහිරි ''අල්-කයිඩාවේ ඔහුගේ අඛණ්ඩ නායකත්ව භූමිකාව සහ අල්-කයිඩා ප්‍රහාර සඳහා ඔහුගේ සහභාගීත්වය සහ මෙහෙයුම් සහාය'' මත පදනම් වූ නීත්‍යානුකූල ඉලක්කයක් බවයි. 

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ පිහිටි ඔහුගේ නිවසේ බැල්කනියේ සිටි අල් කයිඩා නායක අයිමන් අල්-සවාහිරි ඩ්‍රෝන් මිසයිලයකින් එක්සත් ජනපද ප්‍රහාරකයන් විසින් මරා දැමුනු බව වොෂින්ටනයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මේ සියලු සොයා බැලිම්වලින් අනතුරුව ගත් ඉලක්කයට අනුවය. ප්‍රාදේශීය වේලාවෙන් 06:18 ට (GMT 01:38), ඩ්‍රෝන යානයකින් විදින ''නිරයේ මිසයිල -hellfire missile -දෙකක්'' සවාහිරිගේ නිවසේ බැල්කනියට කඩා වැදීමෙන් අල්-කයිඩා නායකයා මියගියේය. ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව බුද්ධි අංශ නිලධාරීන් කියා තිබේ. ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල්කයිඩා සටන්කාමීන්ට එල්ල වූ විශාලතම පහර මෙයයි.

Ayman Mohammed Rabie al-Zawahiri ඊජිප්තුවේ උපන් ඉස්ලාමීය ජිහාඩ්වරයෙකි. ඔහු එහි ෂුරා කවුන්සිලයේ අමීර් ලෙස කටයුතු කළේය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අල්-සවාහිරි අල්ලා ගැනීමට තුඩුදෙන තොරතු හෝ ඔත්තු ලබාදෙන්නකු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් වෙන්කරන්ට යෙදුණි.

සවාහිරි උපත ලැබුවේ ඊජිප්තුවේ මාඩි නගරයේ මොහොමඩ් රබී අල්-සවාහිරි සහ උමයිමා අසාම්ටදාවය. ඔහු 1966දී වයස අවුරැදු පහළොවේදී මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධ විය. 1974දී ඔහු කයිරෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. 1978දී ඔහු සැත්කම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. ඔහු 1970 ගණන්වල අගභාගයේදී ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩයට සම්බන්ධ විය. 1981 දී ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කිරීමේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඊජිප්තුවේ සිරගත කරන ලදී. ඔහු 1984දී නිදහස් වූ අතර ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් සංගමයට එරෙහිව සටන් කිරීමට ඇෆ්ගනිස්ථානයට ගියේය.

1988දී ඔහු ඔසාමා බින් ලාඩන් සමඟ එක්ව අල්කයිඩා සංවිධානය කළේය. ඔහු අල්කයිඩා වේ ප්‍රධාන මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙසත් එහි දෘෂ්ටිවාදී නායකයා ලෙසත් කටයුතු කළේය. බින් ලාඩන් ඝාතනයෙන් පසු ඔහු මේ සංවිධානයේ නායකත්වයට පත්විය.

සුගත් පී. කුලතුංගආරච්චි