2022 අගෝස්තු 07 වන ඉරිදා

සම්පත් උඩ වාඩි වී උද්ධමනය ගණන් හැදීම

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 65

ජනතාව එදිනෙදා මුහුණ දෙන අප‍්‍රමාණ ගැටලු ප‍්‍රමාණයක් තිබේ. බරපතළ ප‍්‍රශ්න මැද සිටින අතරවාරයේ ඇතැම් ප‍්‍රශ්න සැලකිය යුතු නොවන තරමට පත්ව ඇත. ඇඟට නොදැනෙන තරමට නිර්වින්දනය වී සිටී. බරපතළ අනතුරකට පසු සැත්කමකට භාජනය වූ රෝගියකුට එන්නත් කටුවක රිදුම වේදනාවක් නැත. සුවපත් වූ පසු එන්නතක් ගතයුතු අවස්ථාවක මහත් කැළඹීමක් ඇති වේ. සුළු වේදනාව දරාගැනීම පවා පහසු නැත. විදුලිය කපා ඇති, ඉන්ධනවලට දින ගණන් පෝලිමේ සිටිය යුතු, ගෑස් හිඟයෙන් පීඩා විඳි, අත්‍යවශ්‍ය ඖෂධයක් හෝ සොයාගත නොහැකි තරමට ආර්ථිකය සංකීර්ණ තැනක පසුවන අවස්ථාව සමාජය නිර්වින්දනය වී ඇත. උද්ධමනය ප‍්‍රශ්නයක් නොවේ. ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇත. ආර්ථික ගැටලු නිරාකරණය වන බව පෙනේ. උද්ධමනයේ තරම ජනතාවට දැනෙන එකී මොහොත රට නැවත වතාවක් කළඹනු ඇත.

කබලෙහි බැදෙන ජනතාව ලිපට වැටීම ප‍්‍රශ්නයක් නොවන නමුත් දැවෙන ගිනි නිවුණ පසු ගිනි පෙනෙල්ලක පැහැයද භීතියක් ඇති කරන බව ආණ්ඩුව මතක තබා ගත යුතුය. අලුත් ආණ්ඩුවක් පමණක් නොව අලුත් වැඩ පිළිවෙළක් ගැනද සිහින මවන සාමාන්‍ය ජනතාව තව නොබෝ දිනකින් නැවත සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට හොඳටම ඉඩ තිබේ. මැති ඇමැතිවරු, නිලධාරීහු එළැඹෙන දිනය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

 අහස උස උද්ධමනයෙහි පීඩාව

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය අවුරුද්දේ සමාන කාලයට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට 60.8 කින් නැග ඇත. පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ වැඩිවීමකි. ජුනි මාසයේ දර්ශකයේ වර්ධනය සියයට 54.6 ක් ව තිබුණි. ආහාර ද්‍රව්‍ය වල මිල නැග ඇති ආකාරය විස්මිතය. සියයට 90.9 කින් අවුරුද්දකට කලින් පැවැති මිලට වඩා ඉහළ ගොස් ඇති බව පෙනේ. සහල්, කිරි පිටි, මාළු, බිත්තර ඇතුළු සියළු ද්‍රව්‍යවල මිල ඉහළයෑම දෙගුණයකට ආසන්න බව දැක්වේ. ආහාර නොවන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම සියයට 46.5 කි. ඉන්ධන, ගෑස්, බස් ගාස්තු යනාදිය එහි ප‍්‍රධාන අංශ බවට පත්ව ඇත.

මෙම මිල ඉහළයෑම සමග උද්ධමන අනුපාතිකය ජූනි මාසයේ පැවැති සියයට 18.4ට සාපේක්ෂව ජූලි මාසයේ දී සියයට 23.1 තෙක් වර්ධනය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද වාර්තාව සඳහන් කරයි. මිල දර්ශකය හා උද්ධමන තත්ත්වයට හේතුව නරක ආර්ථික තත්ත්වය බව පැහැදිලිය. ආදායම හා වියදම ගලපා ගන්නට අසමත්ව ඇති අතර රට තුළ මුදල් ප‍්‍රවාහය පමණක් නොව විදේශ සංචිත පහත වැටීම ඉතාම අයහපත් සේ බලපා ඇත.

 ආර්ථික වර්ධනයකින් තොර පැවැත්මක් නැත

ජාතික ආදායම තර කරගැනීම වේගයෙන් වර්ධනය වන උද්ධමනය පාලනය කිරීම සඳහා ගත හැකි වැදගත් පියවරකි. කර්මාන්ත අඩපණව ඇති අතර ව්‍යාපාර බෙලහීන වී ඇති අවස්ථාවක ආදායම බලාගැනීමට ඇති ඉඩකඩ සීමිතය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් සිය රජයේ දැක්ම පැහැදිලි කරන ලදී. ඉදිරියේදී ඉදිරිපත් කරන අය වැය මගින් සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය. ඔහුට අනුව සංවර්ධිත හරිත ආර්ථිකයක් ගොඩනැගේ. ව්‍යවසායකත්වය කුසලතා අනුව අවස්ථාව සම්පාදනය වෙනු ඇත. වසර විසි පහක් සඳහා ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කෙරේ. දිළිඳු පිරිස් අතට ආදායම එන බලගැන්වීමේ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන අතර ව්‍යවසායකත්වය නංවනු ඇත.

ඉන්දියන් සාගරයේ වාසිදායක භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගන්නා අතර ඉතිහාසයේ තිබුණ පරිදි වෙළඳාම හා කෘෂිකර්මය සඳහා නැඹුරුවන බව ජනාධිපතිවරයාගේ දැක්ම විය. කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ඔහුගේ අභිලාශය තුළ තිබුණි. සම්ප‍්‍රදායෙන් ගැලවෙන අතර හිතකර ආයෝජනවට ඉඩදෙන බවත් ආයෝජනවලට තිබුණ විරොධතා මැද ඒවා නතරවීමෙන් රටට සිදුවූ පාඩුව විශාල බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය දේශනයේදී සඳහන් කළේය.

අලුත් බලාපොරොත්තු ඇති කරන නව සැලැස්මකින් ආර්ථිකය සක‍්‍රීය කළ හැකි අතර ප‍්‍රසාරණය කරන්නට අවස්ථාවක් තිබේ. එයින් ඇති වන කර්මාන්ත හා ව්‍යාපාර වලින් රජයට එන ආදායම වැඩිවනු ඇත. දැනට අනුගමනය කරන ක‍්‍රමය වක‍්‍ර බදු පැනවීමෙකි. මහජනතාව එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වලට අය කරන බද්ද රජයේ ආදායම තර කරයි. එය පොදු ජනතාවගේ ජීවන වියදමට බලපාන අතර දැන් මතු වී ඇති අධික උද්ධමනයට එක හේතුවක් බව පැහැදිලි කළ යුතුව ඇත. 

 බැංකු පොලිය පාලනයට පියවර

රජයට අවශ්‍ය ආදායම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් ලබාගන්නා අතර දූෂණය හා වංචා ගැන අවලාද නගන පිරිස එයින් සිදුවන හානිය ගැන නොතකා සිටිති. සුළු වෙළෙන්දකු බැංකුවකින් මුදල් ගෙන වෙළෙඳාමක් කරන අතර එහි අලෙවියෙන්  ගොඩනැගිලි කුලී, බලශක්ති පිරිවැය සහ තමන්ගේ වියදම උපයා ගත යුතුය. සියයට විසි පහකට වැඩි වාර්ෂික පොලියක් අය කරන බැංකු ණය ගෙවූ පසු ව්‍යවසායකයාගේ භාණ්ඩ අලෙවියේදී නියම කළ යුතු මිලගැන වටහා ගත හැක. බැංකු පොලිය ගැන සැලකිල්ල යොමු කළ යුතු මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් එය විශාල උද්ධමන බුබුලක් නිර්මාණය කර ඇති බව වටහා ගත යුතුය. එය පාලනය කිරීම සඳහා රජයේ ණය ගැනීම අඩු කළ යුතු අතර එය කරන්නට නම් පිටතින් ලැබෙන ආදායම තර කරගැනීම සඳහා තව තවත් ව්‍යවසාය ඇති කළ යුතු වේ.

බැංකුවලින් ගනුදෙනුකරුවන්ට ගෙවන වැඩි පොලිය ගැන සතුටින් සිටින අප සියලුදෙනා එම පොලිය වක‍්‍රව ගෙවන්නේ සමස්ත පාරිභෝගිකයන් බව අමතක කළ යුතු නොවේ. ආණ්ඩුව කළ යුතු මෙම රාමුව වෙනස් කිරීමට බලපාන සාධක රාමුවක් සකස් කිරීමය. එය පහසු නැත. මුල්‍ය ප‍්‍රතිපත්ති සකස් කරන්නට සිදුවේ. බැංකු අතර තරඟකාරීත්වය දියුණු කළ යුතු අතර අධීක්ෂණය වැඩි කරන්නට සිදුවේ. 

රජයේ ණය ගැනීම පාලනය කරන අතර වාණිජ බැංකුවල එකතුවන ධනය ව්‍යවසාය නංවන්නට යෙදවනු පිණිස පුළුල් රාමුවක් ගොඩනැගීමද වැදගත්ය. ආර්ථිකය පුනර්ජීවයක් සඳහා අලුත් ආයෝජන කැඳවන අතර බැංකුවලින් අඩු පොලියකට ප‍්‍රාග්ධන ණය ගැනීමේ පහසුව ඇති කළ හොත් ව්‍යවසාය නංවන කාර්යය සාක්ෂාත් වනු ඇත. දැනට රට තුළ කර්මාන්තයක්, ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඇති අවහිර විශේෂයෙන් සලකා බැලිය යුතු අතර එම අවහිර අවසානයේදී රටේ ආර්ථිකය අසමත් කරන පාරිභෝගිකයාට මහත් හිරිහැරදායක උද්ධමනයකට ගොදුරුවන්නට සිදුවන බව අමතක කළ යුතු නැත.

 නැවත නැවතත් පැරණි අත්හදා බැලීම්

උද්ධමනය වැඩිවන විට ජනතාවට සහන යෝජනා කරන ආණ්ඩුව වෘත්තීය සමිතිවල බලකිරීම මත වැටුප් වැඩි කෙරේ. ධනය උත්පාදනය නොකර එවැනි සහන සපයන විට ඒවාට වන්දි ගෙවන්නේද මැති ඇමැතිවරු හෝ නිලධාරීහු නොවේ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුය. රජයේ සේවකයන් උපරිම ප‍්‍රමාණයක් බඳවාගෙන ඔවුන්ට වැඩිම වැටුප් ගෙවන තීරණය රජයේ එකකි. එය පිටුපස දේශපාලන අභිමතාර්ථ තිබේ. දැන් එහි විපාක දැනේ. රජයේ ආදායමෙන් සියයට අසූ දෙකක් වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන්නට වැයකළ යුතුව ඇත. 

මෙම විශාල වැටුප් පිරිවැයට අමතරව රජයට අයත් ව්‍යවසාය හාරසිය ගණනක් අති විශාල පාඩුවක් සහිතව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන කරන අකාර්යක්ෂම පාලනය ජනතාව පීඩනයකට ලක් කරන අංශයකි. රජයේ ආයතනවල පැවැත්ම ගැන අලුත් ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය. මේවා කල්පැන ගිය තාක්ෂණයෙන්, දැක්මක් රහිත නිලධාරීන්ගෙන් සහ අලුත් ආයෝජනයක් කළ නොහැකි තත්ත්වයෙන් පවතින්නේ නම් රටට බරකි. ආණ්ඩුවට දරන්නට සිදුවන බර ගෙවන්නේ මහජනතාවගෙන් අයකරන බදුවලින් වන අතර එය දැනට පවතින උද්ධමනය තුළ එක කොටසකි. රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය මෙම ව්‍යුහය ගැන වඩාත් සුපරීක්ෂාකාරීව ක‍්‍රියාකරනු ඇති බව සැකයක් නැත. 

මහජනතාව කළ යුත්තේ බොරු බිල්ලන් මවන, ජාතික සම්පත් ගැන පුරාජේරු කතා කියන පටු අදහස්වලින් යුතු දේශපාලනඥයන්ගෙන් ගැලවීම බව අවධාරණය කළ යුතුය. මෑත ඉතිහාසය තුළ අවස්ථා ගණනාවක දී අප අත් හදාබැලීම් කර ඇත. දේශපාලන හිතවතුන් පමණක් නොව වියතුන්ද පත්කර ආයතන ගොඩනගන්නට උත්සාහ කර තිබේ. ඒවා නිරර්ථක වී ඇති අතර ජනතාවගේ ධනය විනාශ කර තිබේ. නිති සම්පත් රකින පරපුරකින් රටට සිදුවන අවාසි තේරුම්ගත යුතු අතර පාරිභෝගිකයා ආරක්ෂා කරන සමාජ ක්‍රමයක් ගොඩනැගිය යුතුව තිබේ. දැනට ඉහවහා ගොස් ඇති උද්ධමන දර්ශක වහාම හඳුනාගෙන තීරණ ගැනීම එහිලා ඉතාම වැදගත්ය. 

 සාරා කන්දෙගොඩ