2022 අගෝස්තු 07 වන ඉරිදා

පැරණිම රස්සාවට ඉල්ලුම වැඩිවෙලා

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 733

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින ශ්‍රී ලාංකික කාන්තාවෝ දැඩි ලෙස මානසික පීඩනයට මුහුණ දී සිටිති. එවැනි පසුබිමක් තුළ පසුගිය මාසයේදී පමණක් මෙරට ගණිකා වෘත්තියේ 30% ක පමණ වැඩිවීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නමුත් මෙම වාර්තාවට අනුව එම ප්‍රතිශතය ලබාගත් ක්‍රමවේදයක් හෝ දත්ත පිළිබඳව විස්තර දක්වා නැත. මෙම පුවත් සේවය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ තාවකාලික ගණිකා මඩම් ද වැඩි වී ඇති බවය.

මොවුන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිශත වර්ධනය කෙසේ වුවද ලෝකයේ පැරණිම රුකියාව බව කියන ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවෝ මෙන්ම පිරිමි පාර්ශ්වය ද මෙය සංවිධානාත්මකව පවත්වාගෙන යති.

මෙම වෘත්තියට යම් බාධාවක් ලෙස පසුගිය කාලයේ රටපුරා පැවැති කොවිඩ් වසංගතය හැඳින්විය හැකිය. මේ කාලයේ දී දුරස්ථ සම්බන්ධය පිළිබඳව නීති පැනවීමත් සමඟ බොහෝ පුද්ගලයෝ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ඇසුරු කිරීමට යම් බියක් දැක්වූහ. ඒ හේතුවෙන් මෙම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට සිදු වූයේ අකමැත්තෙන් වුවද වෙනත් රැකියාවල නිරත වීමටය. ඇතැමුන් ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියාවලට නිරත වූ අතර තවත් පිරිස් වෙනත් රැකියාවල පිහිට පැතූහ. කොවිඩ් හේතුවෙන් රටපුරා බොහෝ කර්මාන්තශාලා ඇතුළු ආයතන වසා දැමීමත් සමඟ මෙම රැකියාවල නිරත වූ නවක සේවිකාවන්ට රැකියා සොයා ගැනීම එතරම් පහසු නොවීය. මේ නිසාම ඇතැම් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවෝ කලබෙන් ලිපට වැටුණාක් මෙන් ජීවිත අර්බුදයකට මුහුණ දුන්හ.

"මේක රස්සාවක් තමයි. හිතේ ආසාවට කරන රස්සාවක් නෙමෙයි. ජීවත් වෙන්න කරන රස්සාවක්. ගෙදර දරුවෝ බඩගින්නේ ඉඳිද්දි උන්ගේ බඩ පුරවාගන්න අපිට කවුරුත් නිකම් කෑම බීම දෙන්නෙ නැහැ. කරන්න දෙයක් නැති නිසයි ඇඟ විකුණල හරි උන්ගේ බඩ පුරවන්නේ. මේක දුකක්. විවිධ මානසික ලෙඩ්ඩු පවා අපි ළඟට එනවා. සමහරු තිරිසනුන්ට අනන්තයි. මොනව කරන්නද? රස්සාවක් නැතිකමට ඒ හැම දුකක්ම ඉවසාගෙන ඉන්න වෙලා තියෙනවා. කොරෝනා කාලෙදි අපි කාපු බීපු හැටි දන්නෙ අපේ බඩ විතරයි. දරුවන්ට තුන්වේලට දෙවේලක් දීලා කහට බීල පිරිමින්ව සනසපු වෙලාවල් තිබුණා." යැයි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් තම අදහස එසේ පැවසුවාය.

රටපුරා පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මෑත කාලයේ බොහෝ ජීවිත කබලෙන් ලිපට වැටුණා වැනිය. විශේෂයෙන් කාන්තාවන්ට මේ දුෂ්කරතා දැඩිව දැනුණි. කාලයක සිට කාන්තාවෝ පෝලිම්වල දුක් වින්ඳාහ. ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම් පමණක් නොව සහල් පෝලිම්වල ද සිටීමට සිදුවිය. බඩු මිල අහස උසට නැග්ගේය. විශේෂයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ඊට හේතු විය. මුදල් ඇති මිනිසුන් ඉහළ යන භාණ්ඩවල අවසන් භාණ්ඩ තොග ලෙසින් එක්රැස් කරද්දී එදා වේල උපයා ගත් ජනතාවට සිදු වූයේ ඉතා වැඩි මුදලකට එකක් හෝ දෙකක් ගෙන නිවෙසට යාමටය. එයට හොඳම උදාහරණය නම් සබන් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පැවති ඉල්ලුමයි.

මේ අතර බොහෝ දෙනකුගේ රැකියා අහිමි විය. ආයතනවල බොහෝ සේවකයන්ට වැටුප් නොලබාම ගෙදර යාමට සිදු වු අතර ඇතැම් ආයතන සම්පූර්ණයෙන් වසා දැමිණි. මේ හේතුවෙන් ද ජීවිතය ගැටගසා ගැනීමට, දරුවන්ගේ කුසගින්න නිවා දැමීමට ගණිකා වෘත්තියට සම්බන්ධ වූ කාන්තාවෝ ද වූහ.

ඇතැම් කාන්තාවන් ගණිකා වෘත්තියට සම්බන්ධ වූයේ නොදැනුවත්කම හේතුවෙනි. විශේෂයෙන් ඇතැම් තරුණියෝ ආටෝප උගුල්වලට හසුවූහ. සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යන ස්ථාන බොහොමයක් මේ වනවිට රටපුරා ව්‍යාප්ත වී තිබේ. පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ රැකියාවක් අපේක්ෂාවෙන් ගමෙන් සිදාදියට එන ඇතැම් තරුණියන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වෙත එකතු වන්නේ ඒවායෙන් ලබා දෙන සැලකිය යුතු වැටුප් හේතුවෙනි. පිටතින් සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයක් වුවද ඇතුළත සිදු වන්නේ කාන්තාවන් සූරා කෑමකි. දිනක් දෙකක් සාමාන්‍ය සුපුරුදු රැකියාවේ නිරත වුවද ඉතා කෙටි කලක් තුළ ඔවුන්ට සිදු වන්නේ තම සේවා ස්ථානයට පැමිණෙන සේවාදායකයන්ගේ ආසාවන් තම සිරුරට යට කිරීමටය. එතැන් සිට ඇගේ ජීවිතයට 'ගණිකාව' නම් ලේබලය සමාජය විසින් සලකුණු කෙරේ.

වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ගණිකා වෘත්තියට සම්බන්ධ වන කාන්තාවන්ගේ යම් වැඩිවීමක් සිදුවෙමින් පවතී. මෙතෙක් කරගෙන ආ රැකියාව අහිමි වෙද්දී, ජීවත් වන්නට වෙනත් ආදායමක් නොමැති වෙද්දී, භාණ්ඩවල මිල ඉතා ඉහළ යද්දී, ආර්ථික අපහසුතා දරුණු ලෙසින් දැනෙද්දී ජීවිතය හැර යාම වෙනුවට මෙම වෘත්තියට එක්වුණු කාන්තාවෝ සිටිති.

"කරන්නම දෙයක් නැහැ. දරුවන් දෙන්නා නිසා මැරෙන්නත් බැහැ. ඒ නිසා මේ කියාව තෝරාගත්තා. මගේ දරුවෝ දන්නෙ නැහැ එයාලගේ අම්මා කරන්නේ මේ රස්සාව කියලා. එහෙම දැනගත්තොත් උන් දෙන්නා මැරේවි. ඒත් මේක ආසාවෙන් කරන රස්සාවක් නෙමෙයි. ඉගෙන ගන්න දරුවෝ දෙන්නගේ හෙට දවස ලස්සන කරන්නයි මට ඕන වුණේ. දවසක කිසිම කෙනකුට අත නොපා පොළොවේ පය ගහලා ජීවත්වෙන දරුවෝ දෙන්නෙක් හදන්න උන්ගේ අම්මා විඳින දුක කිසිම දවසක ඒ දරුවන්ට නම් විඳින්න ලැබෙන්න එපා." ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවාය.

ගණිකා මධ්‍යස්ථානවල සේවය කරන ගණිකාවන් මෙන්ම වීදි ගණිකාවන්ගේ ද යම් වැඩිවීමක් සිදුවෙමින් තිබේ. සවස් කාලයේ ද වීදි ගණිකාවන්ගේ යම් වැඩිවීමක් සිදුවෙමින් පවතී. සවස් කාලයේ සිට අලුයම් කාලය දක්වාම මුහුදුබඩ වෙරළ මාර්ගයේ තැනින් තැන සිටින ගණිකාවන්ගේ යම් වැඩිවීමක් පවතී. මේ අතර පිටකොටුවේ තැනින් තැන සිට කොළඹ නගරයට පැමිණෙන පිරිමින්ට ඉඟි බිඟි දමමින් තම වසඟයට හසුකර ගන්නා මොවුහු අවසානයේදී තම සිරුර විකුණා යම් මුදලක් තම අතමිට මොළවා ගනිති.

පවතින ආර්ථික අර්බුද මැද ජීවිතය ගැටගසා ගන්නා මෙවැනි කාන්තාවන්ගේ ජීවිතවල ඇත්තේ සුන්දර රසමුසු තැන් නොවේ. ජීවත් වෙන්නට ආත්මය විකුණා මුදල් උපයන මොවුන්ගේ හෙට දවස ඉතා අවිනිශ්චිතය.

දිශානි ජයමාලි කරුණාරත්න