2022 අගෝස්තු 07 වන ඉරිදා

රටේ පවුල් ලක්ෂයක් බඩගින්නේ

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 285

කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ කියා කතාවක් අපි අසා ඇත්තෙමු. එසේ පවසනුයේ කෑමවල රහගුණ පිළිබඳ කිසිදු වගවිභාගයකින් තොරව තිබෙන ඕනෑම දෙයක් ආහාරයට ගැනීම නිසායි. වර්තමානයේ මෙරට බහුතරයකගේ ඉරණමද ඒ හා සමානය. අප මේ වනවිට සිටින්නේ දරුණු ආහාර අර්බුදයක් අභියසය. සාගතයක දොරකඩය. 

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසූයේ වර්තමානයේ කර ඇති සමීක්ෂණ දත්තවලට අනුව මෙරට දිනකට ලක්ෂයක් බඩගින්නේ සිටින බවත් ඌණ පෝෂණ තත්ත්වය හේතුවෙන්  කුඩා දරුවන් 40000 කට නේවාසික රෝහල් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති බවත්ය. 

රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු ළමා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ පෝෂණ ගුණය ඉහළ නංවාලීමේ අරමුණින් ආහාර වේලට එක්කර තිබූ බිත්තරය ලබාදීමට නොහැකි තත්ත්වයකට පත්වීමම අපේ රටේ ආර්ථික පරිහානි තත්ත්වයේ මහත කියාපායි. ඒ වගේම එය ළමා ඌන පෝෂණයට සාක්ෂි සපයයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අපේ රටට ආධාර ලැබීම සීමාවිය. ඉන්පසු ඇතිවූ ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවේදී ඉතා දුක්ඛදායී ලෙස කොල්ලු, බජිරි කා  පණ රැකගැනීමට  මෙරට වැසියන්ට සිදුවිය. ඇතැම්හු නියරවල තිබූ බජිරි පවා කපාගෙන ආහාරයට ගන්නා තරමට අසීරුවට පත්වූහ.

කුසගින්න පිළිබඳ කතා කිරීමේදී එම්. මනිකනාදන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘කාක මුට්ටයි’ දමිළ සිනමා ගෙත්තම මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. දරිද්‍රතාවෙන් මිරිකී සිටින කුඩා දරු දෙදෙනකු සිරගත පියා නිදහස් කරගැනීමට මුදල් සොයාගන්නේ රේල් පාර අයිනේ වැටී  තිබෙන අඟුරු අහුලා විකිණීමෙනි. තුන් වේලටම හරිහැටි ආහාරයක් නොමැති මෙම දරුවන් දවසේ සිය බඩගින්න නිවාගන්නේ නගරයේ අතහැර දැමූ ගසක ඇති කපුටු කුඩුවක කපුටු බිත්තර කඩාගෙන බීමෙනි. මෙය කුසගින්නක තරම විදහා දක්වන්නකි.

බතුයි පළාකොළයි කන රටක ජනතාවට බඩගින්න ගැන අමුතුවෙන් කිවයුතු නැත. සුළු කොට තැකිය නොහැකි මෙම ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් සෙවිය යුතුමය. ගෙවෙන සෑම තත්පරයක්ම ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක ගනුදෙනුවකට හේතුවකි. ගෝලීය සාගිනි දර්ශකය (Global Hunger Index)  නමැති පර් යේෂණාත්මක ලේඛනයට අනුව ලෝකයේ රටවල් 116 අතරින් අප මේ වනවිට සිටින්නේ 65 වැනි ස්ථානයේය.  

අපේ රටේ පවතින අවදානම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා මෙසේ අදහස් දැක්වූයේය. 

''ලංකාවේ ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවෙන් පෙළෙන පවුල් ලක්ෂයක් පමණ සිටිනවා. ඒ අතරිනුත් එම අර්බුදය දරුණු ලෙස බලපා තිබෙන පවුල් 65,000ක් පමණ සිටිනවා. කොවිඩ් වසංගතය ආදී පසුගිය කාලයේදී ඇති වූ ගැටලු හේතුවෙන් එදිනෙදා උපයා ආදායමක් ලැබූ පවුල් විශාල ප්‍රමාණයකට මෙම ප්‍රශ්නය උද්ගත වී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහන සමග එකතු වී අපි මෙම පවුල් සඳහා මාසිකව රුපියල් 15000ක පමණ ආහාර ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවුරුදු 5ට අඩු පෙරපාසල් දරුවන් පන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ සිටිනවා. පර් යේෂණ වාර්තා අනුව ඉන් එක්ලක්ෂ හැත්තෑ දහසක් පමණ දරුවන් අඩු බර දරුවන්. මේ හේතුවෙන් මේ වනවිට සැලසුම් කර තිබෙනවා ලංකාවේ සෑම පෙරපාසල් දරුවකුටම මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 100ක් වෙන්කර බිත්තරයක් සමග ප්‍රෝටීන අඩංගු ආහාර වේලක් ලබාදෙන්න. මේ සඳහා  යුනිසෙෆ් සංවිධානයේ සහාය ලබාදෙනවා. මේ අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන 40,000 පමණ දරුවන් රෝහලට ඇතුළු කර ප්‍රෝටීන අවශ්‍යතාව එන්නත් මගින් මේ වනවිට සපුරනවා. සාමාන්‍යයෙන් බිත්තර ආහාරයට ගත්තත් ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට අපහසු තත්ත්වයේ පසුවන දරුවන්ට එම ප්‍රෝටීන ශරීරයට ඉක්මනින් උරාගැනීමට වෛද්‍ය අධීක්ෂණයෙන් සතියක පමණ කාලයක් රෝහල් නේවාසිකව එන්නත් වැඩසටහනක් සිදුකරනවා. ඉන්පසු නිසි අධීක්ෂණයකින් යුතුව ආහාර වට්ටෝරු මගින්  එම දරුවන්ගේ ශාරීරික නිරෝගීභාවය සුරක්ෂිත කිරීම සිදුවනුයේ ඒ ආකාරයටයි. හතරදෙනකුගෙන් පමණ යුතු පවුලකට ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගැනීමට අවශ්‍ය ආහාර සඳහා මාසිකව රුපියල් 15000ක් පමණ ප්‍රමාණවත්. ලෝක ආහාර සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට මේ සඳහා උදවු කරනවා. මුළු රටම මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩයනකල් මේ අසීරුතාවට පත් වී සිටින පවුල් රැකගැනීමේ අරමුණින් මෙම කාර්යය සිදුකරනවා.” 

මේ රටේ මිනිස්සුන්ට තව කොපමණ කලක් මේ විදිහට බඩගින්නේ දුක්විඳින්න වේවිද?  ආචාර්ය සුරේන් බටගොඩ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. 

අපි මේ සඳහා ඉදිරි වැඩසටහන් කිහිපයක් යෝජනා කර තිබෙනවා. පොහොර ප්‍රශ්නය විසඳාගෙන මේ මහකන්නය හැකි උපරිමයෙන් සාර්ථක කරගැනීමට අපි විශාල උත්සාහයක් දරනවා. මෙයින් රටේ ආහාර නිෂ්පාදනය යම් වර්ධනයක් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් යම් වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවා. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14000 ක් තිබෙනවා. ගමක ග්‍රාමසේවා කොට්ඨාසයක උපරිම පවුල් 800- 1000ක් පමණ සිටිනවා. එම කොට්ඨාසයෙන් කොට්ඨාසයට ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂි පර් යේෂණ නිලධාරී, සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරී ආදී රජයේ නිලධාරීන් 5 දෙනකු සිටිනවා. මෙම පස්දෙනාට අපි ඉලක්කගත වගකීමක් ලබාදෙනවා තමන්ගේ කොට්ඨාසයේ සිටින සියලු පවුල්වල ආර්ථිකය නිසි ආකාරයට සැලසුම් කළ යුතුයි. ඒ වගේම ප්‍රජා කුස්සිය (community kitchen) වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්වෙලා. අඩුආදායම් පවුල් සඳහා ආහාර ලබාදීම මෙහි අරමුණයි. ඒ වගේම ආහාර බැංකුව (Food Bank) වැඩසටහන යනු ගමේ පන්සල, ප්‍රජාශාලාව වැනි පොදු ස්ථානයක අතිරික්ත ආහාර ගබඩාවක් ලෙස තැබීමට හැකි වන අතර එයින් ආහාර අවශ්‍ය අයට එයට පැමිණ අවශ්‍යතා ලබාගැනීමට හැකිවෙයි. සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස 14000 ම ජනපතිගේ අධීක්ෂණයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහන සීත කාමරවල සිට මෙහෙයවීමෙන් බැහැරව ජනතාව අතරට ගොස් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම ක්‍රමවේද මගින් මේ වනවිට පත්ව තිබෙන ආර්ථික අර්බුදය අපට බොහෝ දුරට අවම කරගැනීමට හැකියාවක් ඇතැයි අපි විශ්වාස කරනවා.” යැයිද බටගොඩ මහතා පැවසුවේය.

දර කඩාගෙන එන්න කැලයට ගිය අම්මා ඉනට පලා නෙළාගෙන අතට වෙරළු ඇහිඳගෙන ආවේ ගෙදර බිත්ති හතර ඇතුළේ ඇවිළෙන පොඩි බඩගින්න නිවන්නටය. එහෙත් මේ වනවිට පොඩි බඩගින්න තබා ප්‍රධාන ආහාර වේල්වලින් එකක්වත් ලබාගැනීමට නොහැකි පවුල් දහස් ගණනක් මෙරට සිටීම බරපතළ ඛේදවාචකයකි. දැනට වසර කිහිපයකට පෙර මිල අධික යැයි කියා බාස්මතී කීරිසම්බා ආහාරයට නොගත් පෙරදිග ධාන්‍යාගාරයේ ජනතාවට මේ වනවිට එම මිලට කැකුළු, නාඩු සහල් මිලදී ගන්නට වෙලාය. 

වර්තමාන ඇස්තමේන්තුවලට අනුව මිලියන 690කට ආසන්න ජනතාවක් එනම් ලෝක ජනගහනයෙන් සියයට 8.9 ක් කුසගින්නෙන් පීඩා විඳිති. කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු ආර්ථිකය පොහොර ප්‍රශ්නය හමුවේ නැට්ටටම වැටුණේය. අපේ රටේ බොහෝ දෙනා ප්‍රෝටීන සහ විටමින් ඌණතාවෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසති. ලෝකයේ සෑම වර්ෂයකම මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර තුනෙන් එකක් නාස්ති වන බවත් මෙලෙස නාස්තිවන ආහාර බිලියන 3ක ජනතාවගේ කුසගින්න නිවීමට ප්‍රමාණවත් වන බවත් සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව කැඳවූ අවස්ථාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආර්ථික අර්බුදය හමුවේ කිසිවකු බඩගින්නේ නොතබන බවයි. එම නිර්භීත ප්‍රකාශය වචනයට පමණක් සීමා නොවූ යථාර්ථයක් බවට පත් කරවන තුරු අපි අපේක්ෂා දල්වා බලා සිටිමු. 

I සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00