2022 ජුලි 31 වන ඉරිදා

ඇප් ඇත : තෙල් නැත.

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 95

ඉන්ධන අර්බුදය මුළුරටම අකර්මණ්‍ය කර තිබේ. ප්‍රවාහනය අඩපණය. පාසල් දින පහේම ක්‍රියාත්මක නොවේ. රාජ්‍ය සේවය අඩපණය. ආහාර බෙදාහැරීමට නොහැකිය. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉන්ධන පෝලිම්වල බැවින් රෝගීන්ට බෙහෙත් නැත. ඉන්ධන ලබාගැනීමට සැතපුම් ගණනින් දිගු පෝලිම්ය. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබේ. ඉන්ධනහල් අසල නිරන්තරයෙන් ගැටුම් හා කළහකාරී තත්ත්වයන් පිළිබඳව අසන්නට ලැබෙයි. එමෙන්ම මරණද වාර්තා වෙමින් ඇත. මේ වනවිට එය 20 දක්වා ඉහළ ගොස් තිබේ. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට දින ගණන් ඉන්ධන ලැබෙන්නේ නැත. මේ වනවිට ජනජීවිතය උඩු යටිකුරු වී තිබේ. ඉන්ධන අර්බුදය නිසා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරද ජනතාවගේ දෝෂදර්ශනයට ලක් විය. මෙම අර්බුදයට තව කොපමණ කාලයක් මුහුණ දෙන්නට සිදුවේදැයි කිසිවකු නොදනී.

ඉන්ධන ලබාදීම සීමා කිරීමට සිදුව ඇත්තේ අපේ විදේශ සම්පත් විශාල ලෙස පහත වැටීම හේතුවෙනි. ඒවා ආනයනය කිරීමට ඩොලර් නොමැත. දැනට පවතින ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා මසකට ඩොලර් මිලියන 600ක් පමණ අවශ්‍ය වේ. එහෙත් ඉන්ධන ආනයනය සඳහා මහ බැංකුවට ලබාදිය හැක්කේ මසක ඩොලර් මිලියන 150ත් 200ත් අතර ප්‍රමාණයකි. ඉතිරි මුදල සොයා ගැනීම අසීරු කරුණක් වී තිබේ. කලින් මෙවැනි තත්ත්වයක් ඇති නොවූයේ ඉන්ධන නෞකාවක් සඳහා මුදල් ගෙවිය යුතු වූයේ එය ලැබී දින 180කට පසු වූ බැවිනි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණයට ඉන්ධන ලබාදීමට සැපයුම්කරුවන් අකැමැතිය. එහෙයින් ඉන්ධන ඇණවුම් සඳහා මාසයකට පමණ කලින් සම්පූර්ණ මුදල ගෙවීමට සිදුවී තිබේ. පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉදිරි මාස 12 කාලය තුළද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවී ඇතැයි බලශක්ති අමාත්‍යවරයා පවසයි. 

ඉන්ධන පෝලිම් අවම කර ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගිය කාලය පුරා විවිධ ක්‍රම අත්හදා බලන්නට උත්සාහ කළේය. එහෙත් ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොමැති හෙයින් තෙල් පෝලිම්වල අඩුවක් නොමැත. මේ වන විට බොහෝ කර්මාන්ත වැසී ගොසිනි. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසකට කළුගල් සපයන ප්‍රකට ආයතනයක් වන ඒ.කේ.ජේ මෙටල් ක්‍රෂර්ස් ආයතනයේ ප්‍රධානියකු දේශයට ප්‍රකාශ කළේ තම නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට  ඉන්ධන නොමැතිකමින්  පසුගිය මාර්තු මාසයේ සිට කළුගල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවටය. එම ප්‍රකාශකයාට අනුව එම ආයතනය සතුව රෝද දහයේ ලොරිරථ 25ක් පමණ තිබේ. එක් ලොරියක සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලීටර් 210කි. එහෙත් එක් ලොරියක් සඳහා වරකට ලැබෙන්නේ ලීටර් 15කි.

''ව්‍යාපාර සඳහා තෙල් සපයන ඒජන්තවරුන් මාර්ගයෙන් ඩීසල් ලීටර් 13,200 අඩංගු බවුසර් 5ක් සෑම මසකම අප ආයතනය ලබාගත්තා. ඛනිජතෙල් සංස්ථාව දැන් ඔවුන්ට තෙල් ලබාදීම නවතා දමා ඇති බැවින් පසුගිය අප්‍රේල් මාසයේ සිට අපට තෙල් නැහැ. ඒනිසා අපේ ලොරි නිකම් ගාල්කර තිබෙනවා. අප ආයතනයේ සිට ඉන්ධන පිරවුම්හලට කිලෝමීටර් 7ක් දුරයි. අපේ ලොරියක් ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ  කිලෝමීටර් 2ක් පමණයි. ආයතනයේ සිට ඉන්ධන පිරවුම්හලට යෑමට සහ ඒමට ලීටර් 7ක් පමණ වැය වෙනවා. අපට ප්‍රවාහන කටයුතු සඳහා සතියකට ඉතිරි වන්නේ ලීටර් 8යි. එම ලීටර් 8 යළි ඉන්ධන පිරවුම්හලට යෑමට පමණක් ප්‍රමාණවත්. මෙම කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසක් සිටිනවා. වෙඩි බෙහෙත් සහ ඉන්ධන නොමැතිකමින්. අද විශාල පිරිසකගේ රුකියා අහිමිවෙලා. කලින් කඩපු කළුගල් තොගයක් අප සතුව තිබෙනවා. අපට ඉන්ධන අවශ්‍ය ඒවා බෙදාහැරීම සඳහායි. මේ තත්ත්වය මත අපිට දිනපතාම පෝලිමේ සිටිනවා විනා කර්මාන්තය කර ගෙන යෑමේ හැකියාවක් නැහැ. එක් ලොරියකට ලීටර් 200ක් ගැහුවම අපිට එය ප්‍රමාණවත් වූයේ දින තුනක් වැනි කාලයකට පමණයි. ඉතින් සතියකට ලීටර් 15කින් මොනව කරන්නද?  මෙම ආයතනයේ සේවකයන් 150කට අධික පිරිසක් සිටිනවා. ව්‍යාපාරය නවතා දැමුවත් තවමත් සේවකයන්ට අර්ධ වැටුපක් හෝ ගෙවනවා.'' යනුවෙන් එම ප්‍රධානියා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ දැනට තිබෙන ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගනිමින් ජනතාවට ලබාදීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවටය.  පසුගිය දිනවල රථයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය අනුව ඉන්ධන බෙදා හැරීමට පියවර ගත්තේ ඒ අනුවය.. අවසන් අංකය 0,1,2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදාත්, 3,4,5 සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලත්, 6,7,8,9, සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයනුත් වෙන් කෙරිණි. මෙම ක්‍රමය යටතේද පෝලිම් අඩු නොවූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය තරම් ඉන්ධන නොලැබීම මත එදිනට නියමිත අංකය සහිත වාහන සඳහාද ඉන්ධන ලැබුණේ නැත. එබැවින් ඔවුනට ඊළඟ සතියේ තම අංකයට හිමි දිනය එනතෙක් බලා සිටින්නට සිදු විය. මෙය ඉන්ධන හල් අසල ගැටුම් නිර්මාණයටද බලපෑවේය. පැය ගණන් පෝලිමේ සිට ඉන්ධන ලබාගත නොහැකි පිරිස් පසුදින තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීම සඳහා පොලිසියටද මැදිහත් වන්නට සිදු විය. ඉන්ධන ලබා දුන්නේ යතුරුපැදියකට රුපියල් 1500ක්ද ත්‍රිරෝද රථයකට රුපියල් 2000ක්ද, මෝටර් රථ, ලොරි රථ ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක්ද වශයෙනි. ඇතැම් පුද්ගලයන් එම ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාදෙන ලෙස කලහ කිරීම හේතුවෙන්ද අර්බුද නිර්මාණය විය.

මෙරට ඉන්ධන පිරවුම්හල් 1200ක් පමණ තිබේ. සාමාන්‍යයෙන් ලීටර් 6600ක බවුසරයක් ඉන්ධනහලකට ලබාදුන් විට සීමා කිරීම් යටතේ වුවද ලබාදිය හැක්කේ වාහන සුළු ප්‍රමාණයකට පමණි. එහෙත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දහසකට අධික වාහන පෝලිම් දැකිය හැකිය.

වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා දීම ජුලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන අතර අගෝස්තු 1 දා සිට දිවයින පුරා  ඉන්ධන ලබා දෙන්නේ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමයට පමණක් බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.. ඒ අනුව QR කේත ක්‍රමයට අනුගතව ඇති පිරවුම් හල් සඳහා පමණක් ඉන්ධන ලබා දීමට පියවර ගන්නා අතර එම ක්‍රමයට අනුගත වන ලෙසට IOC  සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා තිබේ. මේ වන විට QR කේත පරික්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණ දැනුම ඉන්ධන පිරවුම්හල්වලින් 60%ක පමණ ප්‍රමාණයකට ලබා දී ඇතැයිද, දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් මෙම කේත ක්‍රමය හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.  

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු පිරවුම්හලකට දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවද, අසීමිත ලෙස ඉන්ධන සංචිත පැවතියද දිනපතා බෙදාහැරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. නව කේත ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සතියේ ඕනෑම දිනයක සතියට නියමිත ඉන්ධන කෝටාව කොටස් වශයෙන් හෝ එකවර ලබාගත හැකිය. මාස කිහිපයක් ගතවන තෙක් දිවයින පුරා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක්  (ලීටර් 6600 බවුසර් 536ක්) සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක්ද ලබා දීමට කටයුතු කෙරේ. එම ඩීසල් ප්‍රමාණය පිරවුම්හල්, පොදු ප්‍රවාහනය, ධිවර කටයුතු සහ කර්මාන්ත වැනි අවශ්‍යතා අතර බෙදී යයි.

යෝජිත QR කේත ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ  සුබවාදි ආකල්පයකි. එවැනි කේත ක්‍රමයක් තිබේනම් ඉන්ධන ලබා ගැනීමේදි සිදුවන වංචා අවම වන බව ඔවුන්ගේ අදහසය. දැනට එක් වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද මඳක් වැඩි කළ යුතු බවද, අවම වශයෙන් ඉන්ධන බවුසර් දෙකක්වත් දිනකට එක් පිරවුම්හලකට ලැබිය යුතු බවද ඔවුන්ගේ අදහසය...

පසුගිය කාලයේ ජනතාව වැඩි වශයෙන්ම චෝදනා කළේ ත්‍රිරෝද රථ රියදුරන් ඉන්ධන මාෆියාවක් ක්‍රියාත්මක කර ඇති බවටය. ඔවුන් දිනපතා ඉන්ධන පෝලිම්වල ඳී සිටිමින් ඉන්ධන මිලට ගෙන ඒවා වැඩි මිලට විකුණන බවට ඔවුහු චෝදනා කළහ. ත්‍රිරෝද රථ පූර්ණ කාලීන, අර්ධකාලීන හා නිවෙස්වල භාවිතයට පමණක් යොදාගන්නා  රථ වශයෙන් වර්ග තුනකි.. මේවා වෙන්කර හඳුනා ගැනීමට පියවර ගැනීමට ඉදිරි කාලයේ කටයුතු කරන බවත් ඒ අනුව ඔවුන්ට ලබා දිය යුතු ඉන්ධන කෝටාව ලබා දීමට පියවර ගන්නා බවත් බලශක්ති අමාත්‍යවරයා පවසයි. ඉන්ධන මාෆියාව වැළැක්වීම සඳහා ත්‍රිරෝද රථ අදාළ බල ප්‍රදේශය තුළ එක් ඉන්ධනහලක ලියාපදිංචි කොට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පොලිසියට හා ප්‍රාදේශීය ලේකම්වරයාට මේ වන විට අවසර ලබා දී තිබේ. එමෙන්ම මගී ප්‍රවාහන බස්රථ සඳහා අවශ්‍ය ඉන්ධන ඩිපෝ මගින් හා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් මගින් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට බලය ලබා දී තිබේ. 

ඇතැම් ඉන්ධනහල්වලට මැර බලයෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන පිරිසක්ද සිටිති. ඔවුන් බොහෝ විට කිසියම් දේශපාලනඥයකුගේ හිතවතුන්ය. තවත් පිරිසක් තමන්ගේ ගමේ අයට ඉන්ධන ලබා දිය යුතු බව පවසමින් වෙනම පෝලිම් සාදා ගනිති. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන්ද තම හිතවතුන්ට පෝලිම්වල නොසිට ඉන්ධන ලබා දෙන හෙයින් තමන්ට ඉන්ධන නොලැබෙන බවට ජනතාව චෝදනා කරයි.. නව කේත ක්‍රමය මගින් මෙවැනි ක්‍රියා අවමකර ගත හැකිය යන්න අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පෙන්වා දෙන පරිදි ජුලි මස 25දා  වන විට මිලියන හතරකට ආසන්න වාහන සංඛ්‍යාවක් කේත ක්‍රමය සඳහා ලියාපදිංචි වී තිබේ. ඉදිරියේදී රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික වාහන සඳහා අවශ්‍ය පරිදි  විවිධ කාණ්ඩ ඔස්සේ ඉන්ධන කෝටාව ලබා දීමට පියවර ගන්නා බවද එම ආයතනය පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන ආයතනයකි. ජනතාව ප්‍රශ්න කරන්නේ තමන් ඉන්ධන ලබා ගන්නේ නොමිලයේ නොවන බවත් ඉන්ධන මිල වැඩි වූ සෑම අවස්ථාවකම එම මිලට ඉන්ධන ලබාගත් හෙයින්  එම ආයතනය  පාඩු ලබන්නේ කෙසේදැයි කියාය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා පැවැති රජයන් වගකිව යුතු බවටය. ඔවුන් ඉන්ධන අලෙවි කළේ ඒවා ආනයනය කළ මිලට වඩා 30%ක් 40% ක් අඩුවෙන් බැවින් මෙම අර්බුදය පසුකාලීනව නිර්මාණය වූ බවත් ඒ බව ජනතාව නොදන්නා බවත්ය.. එමෙන්ම ඩොලරයේ අගය ඉහළ යෑමද එම තත්ත්වයට බලපා තිබේ. ඩොලරයේ ඉහළ යෑම හේතුවෙන් ඇණවුම් කරන විට තිබූ අගයට වඩා දින 180 කට පසු ගෙවන විට වැඩි මුදලක් ගෙවීමට සිදු විය. එවිට එම වැඩි වූ පරතරය පියවීමට සිදුවූයේ මහ භාණ්ඩාගාරයෙන් හෝ ඛනිජ තෙල් සංස්ථාවේ මුදලිනි. ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනය අනුව ඉදිරි කාලයේ සෑම මසකම 1 දා සහ 15 වැනිදා මිල සූත්‍රයකට අනුව මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට තීරණය වී තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා