2022 ජුලි 31 වන ඉරිදා

හිටු කියලා නගින බැංකු ‌‌පොලිය

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 26

මේ වනවිට රටේ අධි උද්ධමනකාරී තත්ත්වයක් උද්ගත වීම පිළිබඳ අද බොහෝ දෙනෙක් කතා කරති. කොවිඩ් වසංගතයට පෙර තනි ඉලක්කමකින් පැවැති උද්ධමනය මේ වනවිට 58.6% දක්වා ඉහළ ගොස් ඇත. ආහාර උද්ධමන ප්‍රතිශතය 84%ක්ව ඇති අතර ඒ හේතුවෙන් දිනකට වේල් දෙකක් පමණක් ආහාර ගන්නා ජන ප්‍රමාණය මුළු ජනගහණයෙන් 30% ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දිනක එක්තරා රෑපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සංවාදයකදී පැවසුවේ තමා අධිපති ධුරය බාරගත් වහාම බැංකු පොලී අනුපාත 7.5% කින් වෙනස් කළේ වැඩිවන උද්ධමනය පාලනය කිරීමට බවය. මේ හේතුවෙන් ණය පොලී අනුපාත ඉහළ යාමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බිඳවැටීම සිදුවනවා නොවේදැයි විමසූ විට ඔහු පැවසුවේ තමාට අවශ්‍ය එය සිදුවීම බවය. එයට හේතුව උද්ධමනය අඩු කිරීමට නම් රටේ ව්‍යාපාර ප්‍රසාරණය වීම වැළැක්විය යුතු බව යැයි ඔහු කීවේය. ආර්ථික කටයුතු වර්ධනය වුවහොත් ඒ හේතුවෙන් ගනුදෙනු වැඩි වී භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ ගොස් මිල මට්ටම වැඩි වීම වැළැක්විය නොහැකි බව ඔහු කීවේය.

කෙටි කාලයකට හෝ මෙයින් සිදුවන හිරිහැර දරාගත යුතු අතර එසේ සිදු නොවුණහොත් මුදලේ වටිනාකම පහළ ගොස් සිම්බාබ්වේ මෙන් රට අධි උද්ධමනකාරී තත්ත්වයකට අවතීර්ණ වී ආර්ථිකය කඩා වැටිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. කෙටි කාලයකට හෝ මෙම තත්ත්වයට මුහුණ දෙනවාද නොඑසේ නම් රට අනතුරේ හෙලනවාද යන්න තෝරාගත යුතු යැයි හෙතෙම පැවසුවේය.

කෙසේ වුවද ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් හා ව්‍යවසායකයන් පවසන්නේ කෙටි කාලයක් තුළ වුවද මෙම තත්ත්වය තිබුණහොත් එයින් සිදුවන යහපතට වඩා අයහපත පුළුල් විය හැකි බවකි. මේ පිළිබඳ ව්‍යාපාරික සංවිධාන සහ ආර්ථික විශ්ලේෂකයන් සමඟ දේශයේ අපි කරුණු සාකච්ඡා කළෙමු.

ප්‍රඥාගෝචර පියවරක්

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක මංජුල ද සිල්වා

අභිනව මහ බැංකු අධිපතිවරයා විසින් පොලී අනුපාත වෙනස් කිරීමට ගන්නා ලද තීරණය අද රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ප්‍රඥාගෝචර පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා කියයි. ඔහු පවසන්නේ ආර්ථික අර්බුදවලට පාත්‍ර වූ ලොව බොහෝ රටවල් පොලී අනුපාත වෙනස් කිරීමෙන් ගොඩවිත් තිබෙන බවය.

''උද්ධමනය විශාල ලෙස ඉහළ නගිමින් පවතින නිසා එය අඩු කිරීමට නම් වැය කිරීම් අඩු කළ යුතු වෙනවා. වියදම වැඩිවන තරමටයි ඉල්ලුම වැඩිවෙලා උද්ධමනය ඉහළ යන්නේ. ඒ බව තේරුම් ගත යුතුයි. රාජ්‍ය සේවය මෙන්ම පෞද්ගලික අංශය ද ප්‍රසාරණය වීම වැළැක්විය යුතුයි. මුල් අවධියේදී ණය පොලී අඩුවීම නිසා ව්‍යාපාරිකයන්ට බැංකු මගින් අඩු පොලියට ණය ගැනීමට හැකි වුණා තම ව්‍යාපාර දියුණු කර ගන්නට. එහෙත් අද භාණ්ඩ හා සේවා මිල වැඩි වී තියෙන නිසා එයට අනුරෑපීව පොලී මට්ටම වැඩි කළ යුතුයි.

ඉස්සර තිබුණු නිදහස අද නැති නිසා ව්‍යාපාරිකයන්ට රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න වෙනවා. එය ඔවුන් තේරුම් ගත යුතුයි. අදද අපේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී වැඩි දෙනකුගේ අදහස වූයේ මේ අවස්ථාවේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ එන්න රජයට සහාය දිය යුතු බවයි.'' 

මෙලෙස කැප කිරීම කොතරම් කාලයක් කරනවාදයි ඇසූ විට ඔහු පැවසුවේ ලංකා වාණිජ මණ්ඩලය මාස හයක කාලයක් සඳහා මෙම කැප කිරීම කරන අතර පසු විපරම් කර එහි ප්‍රගතිය ගැන ද අවබෝධයෙන් සිටින බවයි.

''අයි.සී.යූ. එකේ සිටින රෝගියා අමාරුවෙන් හරි ප්‍රතිකාර කරලා බේරාගත යුතු වෙනවා. පොලී අනුපාත වැඩි වූ විට ණය පොලී වැඩිවෙලා ණය ඉල්ලුම්කරුවන් අඩුවීමෙන් බැංකු පද්ධතිය බිඳවැටෙනවා යැයි සමහරුන් කියන කතා පිළිගත නොහැකියි. දැන් බැංකු උත්සාහ කළ යුතු වන්නේ දී ඇති ණය හා නියමිත පොලිය අයකර ගැනීමයි. එම පොලිය අයකර ගන්න පුළුවන් නම් බැංකු ශක්තිමත් වෙනවා මිස බිඳවැටෙන්නේ නැහැ. ණය ගෙවන්නට පුළුවන් ව්‍යාපාරිකයන් ස්වල්පයකට හෝ ණය දීම පැහැර හරින්නන් වැඩි දෙනකුට ණය දෙනවාට වඩා සුදුසුයි.''

මෙම බැංකු පොලී වෙනස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවක් ද යන්න විමසූ විට ඔහු පැවසුවේ එය ඔවුන්ගේ උපදෙසක් විය හැකි බවයි. එසේ නොවුණද, අද පවතින තත්ත්වය අනුව අපට මෙය කරන්න සිදුවන බව ඔහු පවසයි.

හොඳයි නරකයි දෙකම තියෙනවා

තිලක් ගොඩමාන්න

ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති තිලක් ගොඩමාන්න පවසන්නේ බැංකු පොලී අනුපාතිකයට අතගැසීමේ හොඳ මෙන්ම නරකද ඇති බවයි. ඒ නිසා මෙහි ප්‍රතිඵල යහපත් බවට පත් කර ගැනීමට උත්සුක විය යුතු බව ඔහු කියයි.

දැනට වසර දෙකකට පෙර තනි ඉලක්කමක්ව තිබූ උද්ධමනය අද වනවිට 60% ට ආසන්න තත්ත්වයට පත්ව තිබෙනවා. මෙවැනි අධි උද්ධමනකාරී තත්ත්වයක් දුර්වල ආර්ථිකයක් ඇති අපේ රටට දරාගන්න බැහැ. මේ නිසා හැකි ඉක්මනින් පිළියම් යෙදිය යුතුව තිබෙනවා. උද්ධමනය වැඩිවීම අපේ රටට පමණක් නොව අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වන තත්ත්වයට පත්ව තිබෙනවා. අද අමෙරිකාවේ උද්ධමනය 9.1% ක්. මෙය බැලූ බැල්මට තනි ඉලක්කමක් වුණාට අධික උද්ධමනයක්. මොකද ඒ රටේ සාමාන්‍ය උද්ධමනය 0.5% පමණයි. එය මෙතරම් ඉහළ යාම ගැටලුවක්.

පිටරටවල බඩු මිල තීරණය වෙන්නේ ඒ රටවල පවතින උද්ධමනය මතයි. අපි විදේශවලින් භාණ්ඩ ආනයනය කරන විට භාණ්ඩ සමඟ උද්ධමනය ද මෙහාට ගෙනෙනවා. ඒ උද්ධමනයත් අපේ උද්ධමනයත් එකතු වූ විට භාණ්ඩවල මිල තවත් ඉහළ යනවා. යළිත් උද්ධමනය තවත් වැඩි වෙනවා. මෙම අධික උද්ධමනය ව්‍යාපාරවලට අහිතකරයි. වියදම වැඩිවෙලා මිල ඉහළ යනවා. මිල වැඩි වුණාට වැඩිපුර භාණ්ඩ ඉල්ලන්නේ නැහැ. එය එක් අතකට ව්‍යාපාර ක්ෂේත්‍රයට අහිතකරයි. ව්‍යාපාර වැසෙන්නට පටන් ගන්නවා. ක්‍රෙඩිට් කාඩ්වල පොලිය 36% දක්වා ඉහළ දැම්මේ ඉල්ලුම අඩු කරන්නයි. ඒවා පාවිච්චි කරන අය අඩු වේවි.

මෙම තත්ත්වය පාලනය කිරීමට තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතිකය ඉහළ නැංවූයේ. එය ව්‍යාපාරවල ප්‍රසාරණයට බලපෑමක් වුවත් රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේදී කළ යුතු දෙයක්. ජනතාවගේ අධි පරිභෝජනය අඩු කළ යුතුයි. ව්‍යාපාරවල ආදායම අඩුවන නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. අවශ්‍ය මුදල් බැංකුවලින් ගන්න සිදුවෙනවා. එහෙත් පොලිය වැඩි නිසා හිතූ හැටියට ගන්න බැහැ. මෙම තත්ත්වය ව්‍යාපාරිකයාට වගේම පාරිභෝගිකයාට ද අහිතකරව බලපානවා. අනිත් අතට අමුද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් නැති නිසා නිෂ්පාදනය පහළ බහිනවා. පිටරටින් ආනයනය කරන්නත් අපහසුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහනයක් ලබාගැනීමටද මෙම අධි උද්ධමන තත්ත්වය අහිතකරව බලපානවා. අපේ ණය ගැනීම්වලට මුල්‍ය අරමුදල ඇපවෙන්නේ නැහැ. එවිට ණය ගන්න අපහසුයි. අද පවතින මෙම උද්ධමනය වැඩිවීම ඉතා ඉක්මනින් විසදා නොගතහොත් රට විශාල අමාරුවක වැටෙනවා.''

 

කෙටි කාලයකට නම් කමක් නැහැ 

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක

''රටේ බැංකු පොලී අනුපාතය වෙනස් කරලා මේක දිගටම කරන්න බැහැ. එය කෙටිකාලීන විසඳුමක් පමණයි. රටේ උද්ධමනය අඩු කරන්න බැංකු පොලිය ඉස්සිල්ලෙන් පමණක් කරන්න බැහැ. එයට දිගුකාලීන විසඳුමක් අවශ්‍ය වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන්නේ බැංකුවලින් මුදල් එළියට යාම නැවැත්වීමටයි. එහෙත් එයින් බැංකුවලට මෙන්ම රටේ ආර්ථිකයට ලැබෙන ධනාත්මක ප්‍රතිඵලවලට වැඩිය ඍණාත්මක ප්‍රතිඵල වැඩිය කියලයි මට කියන්න සිද්ධවෙලා තියෙන්නෙ. පාරිභෝගිකයන්ද තවත් අමාරුවේ වැටෙනවා.

බැංකුවල ණය පොලිය වැඩි වූ විට ජනතාව ණය ඉල්ලන්නේ නැහැ. එවිට බැංකුවලට ණය පොලී ආදායම අඩු වෙනවා. ඒ අතර තැන්පතු පොලී වැඩිවීම නිසා ඒවාට වෙනදාට වැඩි පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම ගෙවන්න වෙන්නේ වෙන ආදායම් මගින්. මෙය දිගටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අනිත් අතට දැනට ගෙවා ඇති බොහෝ ණයවලට අය කරන්නේ ස්ථාවර පොලී ප්‍රතිශතයක්. ණය පොලිය වැඩි කළා කියලා එහෙම ගිවිසුම්ගත වූ පාරිභෝගිකයන්ගෙන් අලුත් පොලිය අය කරන්න බැහැ. විචල්‍ය පොලී අනුපාත ඇත්තේ සුළු පිරිසකට පමණයි. ව්‍යාපාරවලට දුන් විශාල ණය වුවත් පොලිය අයවෙන්නේ ගිවිසුම්ගත වාරික මත පමණයි. ඒ නිසා මහ බැංකුව බලාපොරොත්තු වන තරමේ ආදායමක් බැංකුවලට ලැබෙන්නේ නැහැ.
මුදල් සංසරණය අඩුකර උද්ධමනය පහළ දමන්න නම් රටේ ඇති මුදල් ආයෝජනවලට දැමිය යුතුයි. ඒ සඳහා ආයෝජකයන් කැඳවාගත යුතුයි. එහෙත් අද පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය හා රටේ පවතින විදුලිය, ගෑස් මිල මට්ටම ඉහළ යාම, ඉන්ධන ආදී දැවෙන ප්‍රශ්න නිසා දේශීය හෝ විදේශීය ආයෝජකයන් ආයෝජනවලට එන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පරිසරය ප්‍රථමයෙන් සකස් කළ යුතුයි. රාජ්‍ය ප්‍රතිපත්ති පැහැදිලි කළ යුතුයි. පොලී අනුපාත වෙනස් කිරීම දිගටම කරන්න බැහැ. ඒ නිසා අවම වශයෙන් මාස හයක් තුළ මෙහි වෙනසක් අවශ්‍යයයි.''

ලෙඩා මළත් බඩ සුද්ධ වන න්‍යායෙන් බැහැර විය යුතුයි

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙලෙස රටේ පොලී අනුපාතික වැඩි කිරීම තුළින් ආයෝජකයන් සහ දේශීය ව්‍යාපාර ප්‍රජාව මන්දෝත්සාහී කිරීම නිසා රටේ ආර්ථිකය ඉදිරියේදී තවත් භයානක ප්‍රපාතයකට වැටීමට ඉඩ ඇති බවය. ණය පොලී වැඩිවීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ස්වකීය ආයතන වසා දැමීමට සිදුව ඇති අතර අලුතින් රටේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන් ඒවා අතහැර දැමීමට කටයුතු කරන බවය. එසේම රටේ සිටින විදේශ ආයෝජකයන් ස්වකීය ව්‍යාපාර අතහැර දමන අතර අලුතින් ආයෝජන සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ආයෝජකයන් වෙනත් රටවලට ඇදී යාමේ ප්‍රවණතාව වැඩිවන බවද හෙතෙම පෙන්වා දෙයි.

''මෙය කෙටි කාලයකට කරන බව මහ බැංකු අධිපති ප්‍රකාශ කළද එයින් සිදුවන අයහපත් ප්‍රතිඵල කෙටි වෙන්නේ නැහැ. මෙම තීරණය නිසා උද්ධමනය අඩුවේ යැයි සිතනවා නම් එයින් ලැබෙන ප්‍රතිවිපාක උද්ධමනය වැඩි වෙනවාට වඩා අයහපත් වෙනවා. අද ආහාර උද්ධමනය 84% වන අතර සාමාන්‍ය උද්ධමන අනුපාතිකය 58.6% ක්. අද අපි ලෝක උද්ධමන ලේඛනයේ තුන්වැනියාට පත්ව තිබෙනවා. අධි උද්ධමනයක් තවම අපේ රටේ නැතත් මේ වනවිට අපි ඉන්නේ අධි උද්ධමනයේ ආරම්භක අවස්ථාවේ බව සිතිය යුතුයි.

වෙළෙඳපොළ යාන්ත්‍රණය බිඳවැටී වෙළෙඳපොළ කඩා වැටීම, තෙල් පෝලිම් ඇතිවීම, අත්‍යවශ්‍ය ආහාර පෝලිම් ඇතිවීම, ඩොලර් අලෙවිය කළු කඩයට යාම මේ ලක්ෂණවලින් කිහිපයක්. අද පෙට්‍රල් ෂෙඩ්වල නැතිවුණාට පෙට්රල් ලීටරය රුපියල් 2500 – 3000 ට ගන්න කළු කඩයේ තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රජයේ පාලනයෙන් ගිලිහී ගොස් කළු කඩයටම ගිහිල්ලා. බැංකුවල ඩොලර් නැතිවුණත් පිට කළු කඩයෙන් අවශ්‍ය තරම් ගන්න පුළුවන්. වෙළෙඳපොළ ගැන විශ්වාසය පළුදුව ඇති නිසා බොහෝ අය බලන්නේ කෙටිකාලීනව ලාභ ගන්නයි. රටේ මිල මට්ටම් ඉහළ යන විට ආර්ථිකය හැකිලෙනවා. රටේ ආර්ථිකය නරක්වෙන තරමට භාණ්ඩවල ඉල්ලුම පහළ යනවා. එවිට නිෂ්පාදකයා ඒවා තනන්නේ නැහැ. මෙම කැළඹීමේදී ආර්ථිකය (Stagnation) එක තැන පල්වීමට පටන් ගන්නවා. ආර්ථික න්‍යාය බලපාන්නේ නැහැ. අපේ මහ බැංකුව අද කටයුතු කරන්නේ පොතේ හැටියට පැරණි ආර්ථික න්‍යාය අනුවයි. එය එදාට සුදුසු වෙන්න ඇති. එහෙත් අදට ගැලපෙන්නේ නැහැ. අවස්ථානුකූලව සැලසුම් සකස් කළ යුතුයි. ඉල්ලුම වැඩි වීමෙන් උද්ධමනය ඇතිවුණාට එය පසුව අඩු වෙනවා. ඉල්ලුමෙන් ඈදුණු උද්ධමනයකදී ඉල්ලුම අඩු විය යුතුයි. මෙහිදී පොලී අනුපාත වෙනස් කිරීමෙන් උද්ධමනය අඩු කිරීම පොතේ හැටියට හරි වුවද ප්‍රායෝගිකව නිවැරදි නැහැ.

අද අපේ රටේ උද්ධමනයට හේතුව ඉල්ලුම වැඩිවීමම නොවෙයි. අප ආනයන මත යැපෙන රටක්. ඉන්ධන ඇතුළු විශාල අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් පිටරටින් ගෙනෙනවා. විදේශ සංචිත 0 ට බැසීම, රුපියල දරුණු ලෙස පරිහානියට පත්වීම තවත් හේතුයි. මේ හේතු නිසා ආනයන භාණ්ඩ මිල වැඩි වූ විට මිල වැඩිවෙලා උද්ධමනය ඉහළ යනවා. එයට බැංකු පොලිය බලපාන්නේ නැහැ. මහ බැංකු අධිපති එදා එකවර පොලී අනුපාත 7.5%ට වැඩි කරන්නේ නැතුව 20% කින් පමණ වැඩි කළා නම් ඒ කාලයේ ආර්ථික පරිසරය අනුව මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුණා. දැන් නම් 50% කළත් වැඩක් නෑ.

පොලී අනුපාත වැඩි කිරීමෙන් ව්‍යාපාර වැසී ගොස් ජනතාවට රුකියා අහිමි වෙනවා. ශ්‍රී ලාංකික සාර්ථක ව්‍යාපාරිකයන් රට හැර යාමේ අවදානමක් තියෙනවා. දම්රෝ ආයතනය එක් උදාහරණයක්. බදු සහන දීලා අපේ රටට ව්‍යාපාරිකයන් ඇදගැනිල්ල හොඳද? නැතිනම් ඉවත් වෙන්න පහසුකම් සැලසීම හොඳද? කියලා කල්පනා කර බැලිය යුතුයි. රසායනික පොහොර ආනයනය නවත්වලා කර ගත්තෙත් එයයි.

ආර්ථික න්‍යායන් 90% ක්ම උපකල්පන මතයි පිහිටලා ඇත්තේ. ඒවා අමු අමුවේ ක්‍රියාත්මක නොකර අපේ රටට ගැලපෙන ලෙස ගලපා ගත යුතුයි. දැනුම තිබුණට ප්‍රායෝගික දැනුම තිබිය යුතුයි. රටක් දුවවනවා මිස හකුළුවන්න නරකයි. දැන් තිබෙන කර්මාන්ත ස්වල්පයත් වැටුණොත් ලැබෙන ඩොලරුත් අඩුවෙයි. දැන් ඇති අයහපත් තත්ත්වය ස්වභාවිකව ඇතිවූවක් නොව මිනිසා විසින්ම නිර්මාණය කළ Man made crisis එකක්. මෙයට මුහුණ දිය යුත්තේ ස්වභාවික ආපදාවකදී වගේ නොවෙයි. ලෙඩා මළත් බඩ සුද්දවෙන න්‍යායෙන් වහාම ඉවත් විය යුතුයි.''

 යසවර්ධන රුද්රිගූ