2022 ජුලි 31 වන ඉරිදා

ලයිට් බිලෙන් වදින ෂොක් එක

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 167

ජීවන බරෙන් මිරිකී ඔළුව උස්සගන්න බැරිව සිටින ජනතාවට විදුලි බිලත් අකුණක් වී හමාරය. එය ඒ තරමට පීඩාකාරී බරකි. ජනතාව මේ වනවිට දරුණු ආර්ථික කම්පන රුසකට මුහුණ දී සිටිති. විදුලි බිලටත් වූයේ එයමය. හෙට සිට විදුලි බිල සංශෝධනයක් සිදුවීම එයට හේතුවයි. එය හැමෝටම තේරෙන සිංහලෙන් පවසනවා නම් ලයිට් බිල වැඩිවීමක් සිදුවීමෙනි.

1881 දී කොළඹ වරායට සේන්දු වූ හේලෝස් නැවේ ලයිට් බලන්න වැල නොකැඩී බක්කි කරත්තවලින් කොළඹට පැමිණි අපේ රටේ මිනිස්සු මේ මහා අරුම පුදුම ආලෝකය සියැසින් දැක මෙය මිහිබට දිව්‍ය ලෝකයක් බවට උද්දාමයට පත්වූහ. අපේ රටේ පළමු විදුලි අත්දැකීම එයයි. එතැන් පටන් කොටුව බ්‍රිස්ටල් ගොඩනැගිල්ලෙන් ඇරඹුණු විදුලිය මේ වනවිට ජනතාවට නැතුවම බැරි දෙයක් වී හමාරය. 

හිතෙන හිතෙන වෙලාවට ලයිට් බිල නගින හැටි හැමෝටම ප්‍රශ්නයකි. ජීවත් වීමත් අරගලයක් වූ මෙවන් කාලයක විදුලි බිල වැඩි කරන්නේ ඇයි? යන්න මුලින්ම මතුවන ප්‍රශ්නයයි. එයට කරුණු පැහැදිලි කරමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ විදුලිබල මණ්ඩලය රැකගැනීමටත්, එයට ඉන්ධන ලබාගැනීමත්, සුළු පරිමාණ ජල විදුලි බලාගාරවලට වසරකින් පමණ බිලියන 40 ක මුදලක් ගෙවීමට තිබීමත් හේතුවෙන් විදුලි බිල සංශෝධනය කිරීමට සිදුවන බවයි.   එලෙසම විදුලි ඒකක 30ට වඩා සහ 60ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට විදුලිබල මණ්ඩලය 835% ක වැනි අතිවිශාල විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර තිබුණත් මහජනතාවගේ අසීරුතාව සලකා බලා ඒකක 30-60-90 අතර සිටින පාරිභෝගිකයන්ගේ මිල විශාල වශයෙන් වැඩි නොකර සහනයක් සැලසීමට තමන් රජයට නිර්දේශ කළ බවද ජනක රත්නායක මහතා පැවසීය. 

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනුයේ මෙවන් කතාවකි. 

“විදුලිබල මණ්ඩලය මගෙනුත් අමාත්‍යංශයෙනුත් ඉල්ලීමක් කළා මෑතක 300% කින් විදුලි බිල වැඩි කරන්න කියලා. විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි. අපිට ලැබෙන්නේ බිලියන 250යි. අපිට මේ තියෙන හිඟයට අමතරව අපිට වැඩිපුරම මුදලක් යන්නේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීම සඳහා යන මුදලත්, නිලධාරීන්ගේ වැටුප්වලට යන වියදමත් සඳහා සෑම අවුරුදු 3කට සැරයක්ම නිලධාරීන්ගේ වැටුප 25% කින් වැඩි වෙනවා. වැඩිවෙන වැටුප්වලට ගෙවන්න ඕනෑ බිල් ගෙවන ජනතාවද? මම කිසිසේත් එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නෑ. මණ්ඩලයේ නිලධාරීන් කළ යුතු වන්නේ උත්පාදන වියදම අඩුකර ගැනීමට කටයුතු කිරීම.” යැයි අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා එසේ කීවද හෙට සිට විදුලි බිල කෙසේ හෝ වැඩි වීමට ඉඩ තිබේ. එසේ නම් විදුලි බිල වැඩිවන්නේ කොහොමද? යන්න මීළඟට මතුවන ප්‍රශ්නයයි. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ එම වෙබ් අඩවියෙන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ අනුව දැනට පවතින නිවෙසක විදුලි බිල ඒකක 1-30 ත් අතර රුපියල් 30ක් පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150 ක් දක්වා ඉහළ නැංවීමට නිර්දේශ කර තිබේ. එලෙසම දැනට ඒකක 1-30 අතර රුපියල් 2.50 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 8 කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව එලෙසින්ම  නිර්දේශ කර තිබේ.

ඒකක 31-60 අතර කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 60 සිට රුපියල් 300 දක්වා ඉහළ නංවා තිබේ. දැනට ඒකක 31-60 අතර රුපියල් 4.85 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 10 දක්වා ඉහළ නැංවීමට නිර්දේශ කර තිබේ. ඒකක 61-90 අතර කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 90 සිට රුපියල් 450 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර ඒකක 91-120 අතර කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 1200 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. ඒකක 121-180 අතර කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 1500 දක්වාත් රුපියල් 540 ක්ව පැවති ඒකක 180 කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1800 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. 

මෙම ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාචික සහ ලිඛිත ක්‍රමවලට විවෘත මහජන අදහස් විමසීමක්ද සිදු කළ අතර එහිදී ලැබුණු මත සලකා බලා මෙම ගාස්තු සංශෝධනය සිදු කරන බව කොමිසම සඳහන් කළේය.

මෙවැනි අසීරු කාලයක විදුලි බිල වැඩි කිරීම හිතට එකඟව සාධාරණද? විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිත ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න මහතා මෙසේ පැවසීය. 

“මේක එක කාසියක දෙපැත්තක් වගේ. අප සිටින්නේ කිසිම විකල්පයක් නොමැති මොහොතකයි. අපිත් කැමැති නෑ අනික් දේවල් වගේ මේ වෙලාවේ විදුලි බිල වැඩිවෙනවාට. මේ වෙලාවෙ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. හැමදේම ගණන් යද්දී විදුලි බිල පමණක් මේ මට්ටමේ තියෙද්දී පාඩුව දරන්න වෙන්නේ ආයතනයටයි. විදුලි බල පනතට අනුව විදුලිබල මණ්ඩලය පිහිටවලා තියෙන්නේ ලාභ ලබන ආයතනයක් විදිහට නොවෙයි. ඒ කියන්නේ නීතියේ හැටියටම ලාභ ලැබිය නොහැකියි. අවම බස් ගාස්තුව රුපියල් 38යි. විදුලි බිලේ ස්ථාවර ගාස්තුව රුපියල් 30යි. එහෙම වෙන්න බෑ. එතැන ප්‍රශ්නයක් තිබෙනවා. අපේ ආදායම බිලියන 250යි. වියදම බිලියන 850යි. ඒ කියන්නේ ලංකාවේ බදු ආදායමටත් වඩා වැඩි ගණනක්. ආයතනය පාඩු පිට දුවන්නේ. සෝලා සවි කර තිබෙන ගෙවල්වලට මාස ගාණකින් මුදල් ගෙවා නෑ. එය මේ සඳහා ණය ලබා දී තිබෙන බැංකුවලටත් බලපානවා. බිල්ඩින් කුලිය පමණක් මේ වෙද්දී ගෙවාගෙන යනවා. වාහන කුලියට දී තිබෙන අයටත් කුලී මුදල් ලබා දෙන්න බැරිවෙලා තියෙනවා. ණයට තෙල් අරන් ඛනිජ තෙල් එකට ගෙවන්න තියෙනවා බිලියන 30 ක් විතර. මේ විදිහට අපි තුන්වැනි පාර්ශ්වයට ගෙවීමට බිලියන 550ක් වගේ මුදලක් තිබෙනවා මේ වනවිට ගෙවාගැනීමට බැරිව. විවිධ ව්‍යාපෘතිවලට ලබාගත් දේශීය විදේශීය ණය ගෙවාගන්න බැරිවෙලා. මේ හිඟ ණය පමණයි. ආයතනය දැනටමත් කඩා වැටිලා. අපි අකැමැත්තෙන් වුණත් විදුලි බිල වැඩි කිරීම කියන්නේ මේ තත්ත්වයෙන් මණ්ඩලය ගොඩගැනීමට එක් විසඳුමක් පමණයි. අනෙක් විසඳුම වන්නේ මහා භාණ්ඩාගාරයෙන් මදි පාඩුවන මුදල ආයතනයට ගෙවීම. පනතේ තිබුණත් ඒක භාණ්ඩාගාරයෙන් කවදාවත් වෙන්නේ නෑ. රජය ප්‍රතිපත්තියක් විදිහට මිල තීරණය කරද්දී විදුලිය විකුණද්දී සිදුවන පාඩුව පියවීමට රජයට වගකීමක් තිබෙනවා. රජයේ පැත්තෙන් ඒ විසඳුම නැත්නම් විදුලි බිල වැඩි නොකර වෙන විසඳුමක් නෑ. අවසානයට විදුලි බිල වැඩිවූයේ 2012 වසරේදී. එය 2014 දී විදුලි බිල 25% කින් අඩුවුණා. එදා සිට මේ දක්වා අපේ රටේ ජීවන වියදම කෙතරම් වැඩි වුණාද? බස් ගාස්තුව, අත්‍යවශ්‍ය ආහාර කොපමණ ප්‍රමාණයකින් වැඩි වුණත් විදුලි බිල එතැනමයි. එසේ වීමට බැහැ. ගැටලුව ඇත්තේ එතැනයි. කාලයක සිට පැමිණි පාඩුව එකතු වී මේ වනවිට දරාගැනීමට නොහැකි විදිහට නහයටත් උඩින් වතුර ගිහින් තිබෙනවා.  

මේ ආකාරයට විදුලි බිල වැඩිවීම ආර්ථික විද්‍යාවට අනුව ආර්ථික කම්පන (Praise shock) තත්ත්වයක්. මෙය ගෑස්වලටත් වුණා. තෙල්වලටත් වුණා. රුපියල් 5කින් 10කින් වැඩිවෙනවා නම් එය මිනිසුන්ට දරාගැනීමට පුළුවන්. හැබැයි අද 200 වෙච්ච දේ හෙට උදේ වෙද්දී 400 වුණොත් එය දරාගැනීමට අපහසුයි. මේ ආකාරයට විදුලි බිල වැඩිවීමත් ආර්ථික කම්පනයක්. උදාහරණයක් විදිහට රුපියල් 3000 ක් ගිය බිලට ලබන මාසේ රුපියල් 10000 ක් ආවොත් මනුස්සයෙක් කොහොමද ඒක දරාගන්නේ. 

මේ ප්‍රශ්නයට හේතුව වෙන්නේ ක්‍රමවත්ව මිල සූත්‍රයකට අනුව විදුලි බිල වාර්ෂිකව හෝ මාස 6 කට සැරයක් හෝ වැඩි කළා නම් ජනතාවට මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පත් වූ හැම ආණ්ඩුවක්ම ඡන්දය බලාගෙන ලයිට් බිලට අත තැබුවේ නෑ. ඒකෙන් මේ ආයතනය බංකොලොත් වුණා. එයට ඉඩ හැර අවසාන මොහොතේ බිල වැඩි කරන්න යනවා. එතකොට මහජනතාවට අනෙක් පැත්තෙන් වන පීඩනය දෙගුණ තෙගුණ වෙලා එන්නේ. මේක ප්‍රතිපත්තිවල වැරුද්දක්.” යැයි කස්තුරිරත්න මහතා පැවසුවේය. 

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් සොයා බැලීමට මෑතක කැඳවූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වූයේ මනු කියැවීමට අමතරව නිවැරුදිව මනු කියැවීමටත් අදාළ සේවකයන්ට වෙනම දීමනා ලබා දී ඇති බවයි. අප ජීවත් වන්නේ එවන් රටකය. එසේම සේවා චක්‍රලේඛවලට පටහැණිව සේවකයන්ට දීමනා ලබා දී ඇතැයිද කමිටුවේදී අනාවරණය විය. විෂය භාර අමාත්‍යවරයාම එම කරුණ ස්ථිර කරයි. 

දවසෙන් පැය 12ක් හිරු එළිය ලැබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. එවන් රටක හිඳිමින් කළුවරේ අතපත ගාන්නට අපට සිදුවී තිබේ. රටට උත්තර දීමට බලධාරීන් නිසි ක්‍රමවේදයක් සැකසීම වෙනුවට එයට ජනතාව බිලි දීම වැරුදිය. එසේම ලාභ නොලබන ආයතනයක හිඳිමින් නිලධාරීන් ඇතුළු සේවකයන් ලාභ ලබනවා නම් එයින්ද යම් දිනක වන්දි ගෙවන්නට වන්නේ සමස්ත මහජනතාවටමය.

 සසංක චලන ගිම්හාන