2022 ජුලි 31 වන ඉරිදා

වැඩවර්ජන වෙනුවට වැඩ කරවන අරගල

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 14

වැඩ කරන රටක් හදන්නට පොරොන්දු වී බලයට පත් කරගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ධුරයේ නැත. ඔහුට ජනතා විරෝධය මැද ඉල්ලා අස්වෙන්නට සිදුවිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව පාර්ලිමේන්තුව ඊළඟට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගය ගෙන තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරගෙන ඇති අතර දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති තනතුරට පත් කරගෙන කැබිනට් මණ්ඩලයක් ද පත් කරගෙන සිටියි. ශ‍්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික දුෂ්කරතාවයෙන් ගැලවෙන්නට මාර්ගයක් සොයා ගත යුතුය. වැඩ කිරීම, නිෂ්පාදනය, නිපදවන දේ අපනයනය කර විනිමය උපයා ගැනීම හැර අනෙක් මාර්ගයක් නැත.

වැඩ කරන ජනතාව වැඩ වර්ජනය කරන්නට සූදානමක සිටින බව පෙනේ. එතැනින් මෙතැනින් එන නැගිටීම් තාවකාලිකව යටපත්ව ඇත. අලුත් ආණ්ඩුවක් පත් වූ පසු තමන්ගේ අයිතිවාසිකම් සඳහා සටන් කරන්නට වෘත්තීය සමිති පෙළ ගැසෙයි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය බලය පෙන්වීමයි. ඉහළ සිට පහළටම තමන්ගේ බලය, තමන්ගේ ශක්තිය පෙන්වා තම වපරිසය පුළුල් කර ගන්නා බලවන්තයන් අතර සාමාන්‍ය ජනතාව නිතිපතා පීඩනයට ගොදුරු වෙති. වර්ජන තාවකාලිකව නතර කළ යුතුය. ඉල්ලීම් දිනා ගැනීමට වෙනම පියවර ගත යුතු අතර දැන් මුහුණ පා ඇති සංකීර්ණ වහුහය ගැන අවධානය යොමු කිරීම විශාල අවශ්‍යතාවයකි.

වැඩවර්ජනවලින් දිනාගත් ආර්ථිකය

වැඩවර්ජන ගැන හොඳ නරක දෙපැත්තටම කතා කළ හැකි ඉතිහාසයක් රටට ඇත. හොඳම පාඩම අසූවේ ජූලි වැඩවර්ජනයයි. හයෙන් පහක බලයක් සහිතව බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව ඉදිරියේ දැවැන්ත වර්ජනයක් පැන නැගිණ. එතුමා උත්තර දුන් ආකාරය වෙනස්ය. සේවයට නොපැමිණෙන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කළ අතර රුකියා අහිමි වූ පිරිස හතළිස් දහසකි. වර්ජනය වෙනුවෙන් පෙරට ආ සේවක සේවිකාවෝ අතරින් රුකියා අහිමි වූ පිරිස රජයේ දරදඬු තීරණය ඉදිරියේ අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දුන්හ. ඔවුන්ගේ අනාගතය අඳුරු විය. වර්ජනය මෙහෙයවන ලද වෘත්තීය සමිති ගණන 1024 ක් බව දැක්වේ. මෙම සමිති ප‍්‍රමාණය දිය විය. ඔවුන් සාමාජිකයන් ගැන සොයා බැලුවේ නැත. දුෂ්කරතා මැද ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි වූ ඇතැම් පිරිස් දිවි නසාගත් බව පසුව ලැබුණු ආරංචිවලින් කියැවිණ. වර්ජකයන්ට නැවත වෙනත් රස්සාවක් පවා සොයා ගැනීම අපහසු වූ අතර කරදරකාර පිරිසක් සේ සලකන්නට හාම්පුතුන් නිගමනය කිරීම අවාසනාවන්ත සිද්ධියක් වූ බව මතක් කළ යුතුය.

එක වෘත්තීය සමිතියකට සොයා බැලිය යුතුව තිබුණේ පවුල් හාර දහසකි. එයින් ද කොටසක් වෙන් කරගෙන ඉතාම පීඩාවට පත් පිරිස ආරක්ෂා කර ගන්නට තිබුණි. එහෙත් අහිංසක වැඩ කරන ජනතාව පොළඹවා ඉදිරියට යැවූ නායකයෝ ‘අන්තිම සටනට සැරසියව්’ යනුවෙන් මුර ගා කෑ ගසා වැඩ කරන ජනතාව අතරමං කළහ.

එම සිද්ධියේ සිට අද දක්වා ආපසු හැරී බලන සෑම අවස්ථාවකම රට තුළ පැන නැගුණු දැවැන්ත වැඩවර්ජන ගැන කරුණු දැක්විය හැක. බස්, දුම්රිය, විදුලිය, වතු, ඛනිජ තෙල් බෙදාහැරීම, වරාය, හෙද, වෛද්‍ය ආදී වශයෙන් රජයට අයත් සෑම අංශයකම ඇති වෘත්තීය සමිති වර්ජන ව්‍යාපාර මෙහෙයවා තිබේ. වර්ජනයක් එන විට දිනන්නේ වෘත්තීය සමිති සහ ඒවායේ සාමාජිකයන් වන අතර අසරණ වෙන්නේ සාමාන්‍ය ජනතාව බව මතක කළ යුතුව ඇත. අවසානයේ දී එහි අවාසිය රටටය. ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි තැනට පත් වෙයි. 

ජීවන වියදම සහ වෘත්තීය සටන්

කොවිඩ් වසංගතය අවසන් වූ අවස්ථාවේ පමණක් නොව පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැති පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පළවා හරින ලෙස බල කරමින් වෘත්තීය සටන් අවුළුවන ලද ආකාරය අපට අද මතක නැත. දස දහස් ගණනින් ජනයා පාරට බැස අරගල කරන අතරවාරයේ එයින් සිදුවූ වාසි අවාසි අපට දැනෙන්නට අවශ්‍යය.

එක දවසක් මහ පාර අවහිර වුවහොත් පාසල් දරුවාගේ සිට කොළඹ වරායෙන් පිට කළ යුතු කන්ටේනර්වල ඇති අපනයන ද්‍රව්‍ය දක්වා පරාසයක අවහිරවීමක් සිදුවෙයි. වෘත්තීය සමිති සටන් කරන්නේ සේවා ස්ථානයේ අහිංසක ලෙස නොවේ. තෝරාගන්නේ ජනතාවට වැඩිම බලපෑමක් ඇති කරන ආකාරයටය. පාර අවහිර කරන විට, ගමනාගමනය අත්හිටුවන විට, රෝගීන්ට ප‍්‍රතිකාර නොකරන විට ජනතාව ප‍්‍රාණ ඇපකරුවෝ බවට පත් වෙති. ජනතාව ආරක්ෂා කළ යුතු ආණ්ඩුව අසරණ වන අතර වහාම වෘත්තීය සමිති ඉල්ලීම්වලට එකඟ වෙයි. 

ඉතාම මෑතක පැවැති ගුරු විදුහල්පති වැඩවර්ජනය තුළ නොපෙනුණු පැති ගැන නිරීක්ෂණය කළහොත් කොවිඩ් හේතුවෙන් රට වසා දමා පාසල් අවහිර වී තිබුණු අතර එය නිරකරණය වූ වහා ගුරු විදුහල්පති වැටුප් ප‍්‍රශ්නයට වර්ජන ඇවිලවීය. දශක ගණනක් වැටුප් ප්‍රශ්න නොවිසඳී තිබුණු බව පිළිගත හැක. වහාම උත්තරයක් දෙන්නට නොහැකි බවත් ඇත්තකි. එහෙත් එම දෙපැත්තම නොසලකා හරින ලද වෘත්තීය සමිති ගුරුවරු ඉගැන්වීමෙන් බැහැර වී දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දැමූහ. ආණ්ඩුවට එකවර උත්තර දී ඉල්ලීම් සැපයිය හැකිව තිබියදී එය ප‍්‍රමාද කර සියලුම ඉල්ලීම් සැපයීම මත වෘත්තීය සමිති ජයග‍්‍රහණය කළ අතර පරාජය වූයේ ආණ්ඩුව හා අධ්‍යාපනය ලැබූ දරුවන්ය. අන්තිමේදී ආණ්ඩුව ලැබූ පරාජයක් නැත. වැටුප් වැඩි කරන්නට මුදල් නැතිවූ පසු ඒවා සපයා ගත්තේ මහා භාණ්ඩාගාරය ණයට ගත් මුදල් වලිනි. එම ණය අද ආපසු ගෙවමින් සිටීයි. නැවත නැවතත් මුදල් අච්චු ගසන අතර රට තුළ උද්ධමනය 60% දක්වා ඉහළ ගොස් තිබේ. අද අප මුහුණ දෙන සංකීර්ණ ආර්ථික ගැටලුවලට නායකයන්ගේ තීරණ පමණක් නොව එම තීරණ ගැනීමට තල්ලු කරන ලද දේශපාලනය ද වගකිව යුතුය.

7% ක ඍණ ආර්ථියක්

අලුත් වාර්තා දක්වන පරිදි ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉතිහාසයේ නොතිබුණු බැස්මකට හසු වී ඇත. ඍණ 7% ක් විය හැකි යැයි සැලකේ. අරගලය, බලශක්ති හිඟය, නිෂ්පාදනය අඩාල වීම, ආයෝජන හිඟය පමණක් නොව සංචාරකයන් පවා නොපැමිණීම ආර්ථිකයෙහි තරම දක්වන කරුණු අතර වෙයි.

අඩුම තරමින් 10% ක ආර්ථික වර්ධනයක් කරා යා යුතු රටක් ඍණ 7% ක තැනකට පත්වීම ඇඟට දැනෙන තත්ත්වයකි. උද්ධමනය තවත් වැඩි විය හැක. ලැබෙන වැටුප ජීවත් වීමට ප‍්‍රමාණවත් නොවන්නට ඉඩ තිබේ. ලෝකයේ අනෙක් රටවල් එවැනි දුෂ්කර යුග පසුකර ඇත. ආර්ථිකයක් ඍණ අගයකට පත්වන විට පළමු ප‍්‍රහාරය වැදෙන්නේ වැඩ කරන ජනතාවටය. මෙම තීරණාත්මක අවස්ථාවේදී වැඩ කරන ජනතාව වටහා ගත යුතු ප‍්‍රධාන කාරණාවක් ඇත. ධනය හිඟ, නිෂ්පාදනය අඩාල තැනකින් අයිතිවාසිකම් තවත් ඉල්ලන්නට ගියහොත් ඒවායේ වන්දිය නැවත වතාවක් ගෙවන්නට වෙන්නේ වැඩ කරන අප සියලු දෙනාටය. 

වෘත්තීය අරගල වෙනුවට වැඩ කරන අරගලයක් ආරම්භ කළ යුතුව ඇත. වෘත්තීය සමිති සිය ස්ථාවරය එළිපිට ප‍්‍රකාශ කළ යුතුය. රට තුළ උත්පාදනයක් සිදුවුවහොත් තමන්ගේ කොටස ඉල්ලා සටන් කළ හැක. ආර්ථිකය බිංදුවට වැටී ඇති රටක ඉල්ලන්නට දෙයක් තිබේද?

ශ‍්‍රී ලංකාව නැවත නැගී සිටිය යුතුය. ඉන්දියාවේ, චීනයේ හෝ ඇමෙරිකාවේ ණය වලින් නොවේ. සුනාමි විපත අවස්ථාවේදී ඉන්දියාව ණය ප‍්‍රතික්ෂේප කළේය. බ‍්‍රසීලය ආර්ථික දුබලතාවයක සිටියදී පවා ණය නොගන්නට පරෙස්සම් විය. එයින් හැදුණේ එම රටවල්වල ආර්ථිකය බව මතක තබාගත යුතු කරුණකි. අපට ද වර්ජනය පැත්තක තබා වැඩ කරන්නට සූදානමක් අවශ්‍යය. රට තුළ ප‍්‍රබෝධය ඇතිකළ යුතු වැඩ කරන්නට හැර තමන්ගේ කොටස සඳහා සටන් කරන්නට නොවේ.

 සාරා කන්දෙගොඩ