රට වෙනුවට තම කුට්ටිය ගැන සිතන පාලකයන් රොත්තක් සිටින රටක ජනතාව මෙන්ම වනේ වනසීපාවන්ටත් අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. වේදිකාවල දෙසා බෑ පරිසර ප්‍රතිපත්ති ගැන මතකය අමතක වන්නටත් පෙර වනාන්තර සහ සතුන් මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතී. අලුත්ම තොරතුර රජරට කලාවැව වනෝද්‍යානයේ අණසක පතුරුවාගෙන සිටි නරඹන්නන් අතර ඉතා ප්‍රකට හස්තියෙක් වූ බරණගේ මරණයයි. අලංකාර ආභරණයක් වන් දළ යුගලක් හිමි නිසා සොබා රසිකයෝ හස්තියාට බරණ යන නම තබා තිබුණි. ඌ මරා දමා ඇත්තේ එම හස්තියාම ඉලක්ක කර ඇටවූ විදුලි රුහැනක පැටලීම නිසා බව පරිසරවේදීහු පවසති. පශ්චාත් මරණ පරීක්ෂණය කළ වනජීවි පශු වෛද්‍යවරුද ඒ් බව සනාථ කරති.
බරණ හස්තියා ජාතික නාමල් උයන රක්ෂිතයට අයත් ස්වර්ණ හංස වැව ආසන්නයේ මියගොස් සිටියදී ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට පසුගිය සතියේ හමුව තිබේ. මිය යනවිට උගේ වයස අවුරුදු 40ක් පණ විය. උගේ සිරුර නැරඹීම සඳහා ගැමියන් විශාල වශයෙන් එතැනට රොක් වන්නට වූ බවත් වාර්තා වේ. කෙසේ වුවත් තවමත් උගේ ඝාතනයට වගකිවයුත්තා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මේ ගැන පරිසරවේදී නයනක රන්වැල්ල දක්වන්නේ මෙවන් අදහසකි, බරණ කියන්නේ ඇත්තටම ලෝකයක් මවිත කරවපු ඇතෙක්. පසුගිය සතියේ රැයක තමයි බරණවම ඉලක්ක කරලා දාපු අනවසර විදුලි රුහැනක පැටලිලා ජීවිතයෙන් සමුඅරන් තියෙන්නේ. පසුගිය දිනවල බරණ නිතරම නාමල් උයන අවට ගල්කිරියාගම කැලෑවල සංචාරය කරමින් හිටියා. මොකද කොස් කන්න බරණ දැක්වූයේ පුදුම කැමැත්තක්. මේ අවට කොස් ගස් තිබෙනවා. බරණ ගමට එනවා කියලා මිනිස්සු වනජීවීයට කිව්වේ වරක් දෙවරක් නෙමෙයි. නමුත් තෙල් නැහැ කියමින් වනජීවීය ඒ ඉසව්වට ගියේ නැහැ කියලායි ඇතැම් අය කියන්නේ.
බරණ කියන්නේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඇතෙක්. එහෙත් බරණගේ සිරුරේ යටි පැත්තේ වෙඩි පාරක සලකුණකුත් යාන්තමට තියෙනවා වගේ. කොහොම නමුත් දිවත් නිල් වෙලා. ඒ කියන්නේ විදුලි සැර වැදීමේ ඉඩකඩ වැඩියි. මේ වගේම ඉරණමකට කලාවැව වනෝද්‍යානයේ රේවත ඇතාත් මුහුණ දුන්නා. නමුත් ඒ සැකකරුට එක දවසින් ඇප ලැබුණා. ඇත්තටම මේ රටේ ඉන්න එකත් දිනෙන් දිනම කළ කිරෙනවා මෙවැනි මරණ දකින කොට. මේවාට අවශ්‍ය වන්නේ ධරණිය විසඳුම්. නමුත් මේ පාලකයන්ට සහ නිලධාරීන්ට මේවා වගේ වගක් නැහැ වගේ.
බරණ ඇතා ඉතා හොඳින් වැඩුණු අලංකාර සතෙකි. මේ නිසා කලාවැව් ඉස්මත්තේ සැරිසරන මේ ඇතා දැකබලා ගැනීමටත් උගේ කෙලිලොල් ඉරියව් නිරීක්ෂණයටත් වනජීවී ලෝලීන් දැක්වූයේ විශාල කැමැත්තකි. කලාවැවේ සිට ආහාර සොයා කැකිරාව, ගල්කිරියාගම ආදී පෙදෙස්වලටත් ඌ පැමිණීම සිරිතක් විය. විටෙක ඌ කලාවැව ඇත් පන්තියේ චණ්ඩියෙකි. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඇතින්නක් බෙදා ගැනීමට ඇතිවූ ආරාවුලක් නිසා බරණ තවත් අලියෙක් සමඟ පොරයක් සිදු කළේය. මේ සටනින් තුවාල වූ බරණ කලාවැව වනෝද්‍යානය හැර ගොස් කැකිරාව මිරිස්වත්ත වනාන්තරවල සිටින බව වනජීවී නිලධාරින්ට නිරීක්ෂණය වී තිබේ. තුවාල සහිතව සිටි ඌට වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රතිකාර ලබාදී තිබේ. ඇතා සොයාගොස් නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදුකළේ ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ටික කලකින් සුවය ලැබූ බරණ යළිත් තම සුපුරුදු ජීවන රටාව අනුගමනය කරන්නට විය. පෙම්වතියන් හිමිකර ගන්නට ගොස් තම රැහේ උන්ගෙන් තුවාල ලැබූ බරණ රස කෑමකට ලොබින් ගම්මාන ආශ්‍රිතව සැරිසැරීම නිසා මිනිස් සතාගේ උගුලකින් මෙලොවින් සමුගත්තේය.
අනුරාධපුර කලාපයේ පසුගිය ජනවාරි මාසයේ සිට ජූලි දක්වා වන අලින් 33ක් විවිධ හේතුන් නිසා මිය ගොස් තිබේ. හොරොව්පතාන කහටගස්දිගිලිය ප්‍රදේශයේ අලි පැටවුන් පවා හක්කපටස් යොදලා මරලා දමා තිබේ.
කලාවැව වනෝද්‍යානය බැබල වූ ‘රේවත’ නමැති හස්තිරාජයාටද 2021 මාර්තු මාසයේදී දිවියෙන් සමුගැනීමට සිදුවූයේ මිනිසාගේ නොමිනිස් ක්‍රියාකාරකම් නිසාය. කලාබලලුවැව අලියාවැටුණුවැව ප්‍රදේශයේ ආහාර සොයමින් සරණ අතර බඩ ඉරිඟු හේනකට ඇද තිබුණු විදුලි කම්බියක ගෑවුණු රේවතට අකාලයේ මරු තුරුළට යන්නට සිදු විය. කලාවැව ඉස්මත්තේ වනාන්තරවල අලංකාර ඇත් පන්තියකට අභය බිමක් වී තිබේ. මේ වනවිට ඒ අතර සිටි බරණ මෙන්ම රේවතත් සමුගෙන ගොසිනි.
මේ අතර අනුරාධපුර කැබිතිගොල්ලෑවට නුදුරු නබඩවැව වනාන්තරයේ සිටි මහේශාක්‍ය නම් දළ ඇතා තවත් හස්තියකු වූ ධනුද්ධර සමඟ සිදුවූ සටනකින් බරපතළ තුවාල ලබා සිටියේ පොසොන් මාසයේය. අනුරාධපුර කලාපයේ වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් නබඩවැවට යන්නේ මහේශාක්‍ය දළ ඇතා පසුවන තත්ත්වය ගැන සොයාබලා ඇතාට ප්‍රතිකාර කිරීම සඳහාය. පශු වෛද්‍යවරයා මහේශාක්‍ය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කෙරිණි. ඌට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළේ පොසොන් දිනයේදීය.
පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඉන් අනතුරුව දිගින් දිගටම කිහිප වරක්ම ඇතාට ඖෂධ ලබාදීම සිදුකළේය. ජුලි පස්වැනිදා වනවිට දරුණු තුවාල නිසා ඇතා ක්‍රමයෙන් අඩපණ විය. මේ ඇතා සම්බන්ධයෙන් බුදුදහමේ තොටිල්ල ලෙස සැලකෙන අනුරාධපුරයෙන්ම අසන්නට ලැබෙන්නේ රටම කම්පා කරවන පුවතකි.
මේ අතර කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමල සේනානායක ඇතුළු කණ්ඩායමක්ද නබඩවැවට ගොස් මහේශාක්‍ය ඇතා ගැන සොයා බලන්නේ පොලිස් කණ්ඩායමක්ද සමඟය. රටම කම්පා කළ පුවත වාර්තා වන්නේ මේ අතරය. ඒ් තවත් දෙපා තිරිසනුන් පිරිසක් විසින් අඩපණව සිටින මහේශාක්‍ය දළ ඇතාගේ වම් දළය ඌ ජීවත්ව සිටියදීම පොරෝපහරක් එල්ල කර කපාගෙන යෑමයි. වම් දළයේ මුල පොරෝ පහරින් තුවාලවී තිබිණි. මේ සිද්ධිය වාර්තා වූ පසු කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක ඇතුළු කණ්ඩායමක් එහි ගොස් විමර්ශන ආරම්භ කළහ. බරපතළ තත්ත්වයේ පසු වූ මහේශාක්‍ය ඇතා ජුලි 06 වැනිදා ජීවිතක්ෂයට පත්විය. දළ ඇතාගෙන් කපාගෙන ගිය වම් දළයේ දිග අඩි 4ක් පමණ වන බවට සැක කරයි.
විශාල ජලාශයක් මුල්කර ගත් කලාවැව වනෝද්‍යානය තුළ ජීවත් වන අලි අතුන් ප්‍රමාණය 350ක් පමණ වේ. ගල්ගමුව පාළුකඩවල ජලාශය අවට වනාන්තරවල අලි 350කට ආසන්න ප්‍රමාණයක්ද ජීවත් වෙති. නාච්චදූව, තිරප්පනේ, මහකනදරාව, මිහින්තලේ ආදී රජරට පෙදෙස්වලද විශාල වන අලි ප්‍රමාණයක් දිවිගෙවති. කලාවැව ආශ්‍රිතව ජීවත්වන ඇත් පරපුරේ උරුමකරුවන්ගේ විශේෂතා කිහිපයක්ම දක්නට ලැබේ. සමහර ඇතුන්ගේ දළ යුගල දිගින් වැඩි අතර ඇතැමුන්ගේ දළ තරමක් දිගින් අඩුය. ඇතැම් ඇතුන්ට ඇත්තේ තනි දළක් පමණි. කලා වැව ආශ්‍රිතව දිවිගෙවන ඇත් පරපුරේ දිගින් වැඩිම දළ සහිත වන්නේ දීග දන්තු 01 නමැති ඇතාය. එමෙන්ම ඒ හා සමාන සිරුරක් සහ ඒ හා සමාන දළ යුගලකට හිමිකම් කියන්නාවූ අනෙක් ඇතා නම්කර ඇත්තේ දීග දන්තු 02 යනුවෙනි.
මීට කාලයකට ඉහතදී කලාවැව වනෝද්‍යානයේ සිටි ‘වළගම්බා’ ඇතාද තරමක් විශාල ශරීරයක් හා අලංකාර රූපයකට හිමිකම් කියූවෙකි. කලාවැව වනෝද්‍යානයේ මේ වනවිට ඇතුන් 21ක් දක්නට ඇති අතර ඔවුන් හැඳින්වීමට විවිධ නම් යොදාගෙන තිබේ. ඒ අනුව නීල ඇතා, හෝමෝ ඇතා, ඇසළ 01, ඇසළ 02, විජය, සුරනිමල, ධාතුසේන ආදී නම් ඔවුන් වෙනුවෙන් භාවිත කරන අතර මේ සියලු නාමයන් එකල පුරාණයේ රජරට සිය අණසක පතුරුවාගෙන සිටි රජවරුන්ගේ හා යෝධයින්ගේ නාමයන් වේ. කෙසේ වුවත් දසමහ යෝධයන්ගේ සහ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ නම් තබා තිබුණත් මේ සද්දන්තයන්ට මිනිස් සතාගෙන් නම් ගැලවීමක් නැති බවයි පේන්නේ.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරු: අන්තර්ජාලයෙනි