2022 ජුලි 31 වන ඉරිදා

ඩෙංගු කොරෝනා මැද වඳුරු උණත් එන හැඩ!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 29

විසාලා මහනුවර සිදුවූවා යැයි කියනවාක් මෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද තුන් බියක් පැතිර යමින් පවතී. ඒ නැවත හිස ඔසවා ඇති බව කියන කොරෝනා, ඩෙංගු උණ සමඟ මේ වනවිටද ලෝකයේ රටවල් ගණනාවක පැතිර ඇති වඳුරු උණ රෝගය හේතුවෙනි.

දැනටමත් ලංකාව තුළ කොරෝනා නැවතත් ඉහළ යමින් තිබේ. වාර්තාවලට අනුව ලෝකයේ අනෙකුත් රටවල වේගයෙන් පැතිර යන BA.5 ප්‍රභේදය‌ මෙරටින්ද වාර්තා වී ඇති අතර මේ වනවිට නැවත දෛනිකව රෝගීන් 60ත් 70ත් අතර දක්නට හැකිය. මේ වනවිට තහවුරු කළ ආසාදිතයන් ගණන 664975 කි. මෙය නැවත ශීඝ්‍රව ඉහළ යමින් පවතී. 

ඩෙංගු රෝගයද බරපතළ මට්ටමට පැමිණ ඇත. මේ වසරේ දැනට ආසාදිතයන් 32404ක් වාර්තා වී ඇති අතර කොළඹින් 7146ක් වාර්තා වී තිබේ.

එලෙස බරපතළ මට්ටමක ඇති ඩෙංගු සහ කොරෝනා පිළිබඳව මෙන්ම වඳුරු උණ සම්බන්ධයෙන්ද සමාජයේ මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ. වඳුරු උණහෙවත් මන්කිපොක්ස් රෝගයේ පුළුල් පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇත. අප්‍රිකානු රටවලින් මේ වනවිට මරණ 5ක් වාර්තා වී තිබේ. යුරෝපය ප්‍රමුඛව ලොව රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. රෝගය සම්බන්ධව ඉතිහාසගත වාර්තා වීම් නොතිබූ අමෙරිකාවේ රෝගීන් 2890 ක්ද, එංගලන්තයෙන් 2208 ක්ද වාර්තා වී හමාරය. ඒ අන්දමට ඉතිහාසගත වාර්තා නැති රටවල් 70කින් මේ වනවිට ආසාදිතයන්  18,861 ක් හමුව ඇති අතර සමස්ත ගෝලීය ආසාදිත ගණන 20,000ට ආසන්නය.

දැන් අසල්වැසි ඉන්දියාවෙන් 04 ක්, සිංගප්පූරුවෙන් 10 ක් මෙන්ම තායිලන්තයෙන් 01 බැගින් මේ වනවිට වඳුරු උණ ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මේ නිසා වඳුරු උණ මෙරටට ඇතුළු වීමේ අවදානම ඉහළ බවට වෛද්‍ය අංශ තදින්ම අනතුරු අඟවා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ තහවුරු නොකරන ලද රෝගීන් මෙරට සිටීදැයි තමන් තවමත් නොදන්නා බවය.

මේ වනතුරු තහවුරු කළ රෝගීන් හමුව නැති නමුත් තහවුරු නොකළ රෝගීන් සිටිය හැකි බව ඔහු කියයි. ඉන්දියාවෙන් මේ වන විටත් එවැනි රෝගීන් අල්ප ප්‍රමාණයක් හමුවී ඇති නමුදු ඒ අයට එය ආසාදනය වූ ආකාරය තහවුරු වී නැති බවද මහාචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියි.

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයට සාපේක්ෂව පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට මෙය  ආසාදනය වීමට ඇති හැකියාව අඩු මට්ටමක ඇති නමුත් රෝග ලක්ෂණ රහිත කෙනකුගෙන් බෝවීමට හැකි වුවද ඒ හැකියාව ඉතා අඩු බව පෙන්වා දුන් මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ වඳුරු උණ ආසාදනය වීම සඳහා ඍජු සහ තීව්‍ර සම්බන්ධතාවක් තීබීම අත්‍යවශ්‍ය බවය.

වඳුරු උණ 1958 දීද වඳුරන් අතර හඳුනාගෙන තිබුණි. ඒ අනුව එය මන්කිපොක්ස් ලෙස නම් කර තිබේ. පළමු රෝගීයා 1970 දී කොංගෝවෙන් හඳුනාගෙන තිබුණි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි වඳුරු උණ ඩී.එන්.ඒ. මූලික කරගත් වෛරසයකි. එය සතුන් අතර පැතිරෙන වෛරසයකි. අප්‍රිකානු රටවල් ආශ්‍රිතව සතුන් ආශ්‍රිතව ගැවසෙන ලද පුද්ගලයන් ඇසුරින් මෙය මූලික වශයෙන් මිනිසුන්ට ආසාදනය වී තිබේ.
රෝගීන් ළඟින් ඇසුරු කිරීමේදී මිනිසුන්, මිනිසුන් අතර රෝගය පැතිර යා හැකිය. පුද්ගලයන්ගේ සම ආශ්‍රිතව හටගන්නා බිබිලි නිසා සෘජුව රෝගය පැතිර යා හැකිය. ස්ලේශ්මල පටල ආශ්‍රිතව ද රෝගය පැතිර යා හැකි අතර, වාතය හරහා බෝවීමක් නැතත්, බිඳිති හරහා සෞඛ්‍ය සේවකයන්ට රෝගය පැතිරෙන්නට හැකිය. රෝගී පුද්ගලයකු භාවිත කළ ඇඳ ඇතිරිලි, ඇඳුම් ආශ්‍රිතව සමීප සබඳතා තිබීමෙන් සහ ඍජු ලිංගික සබඳතා තුළින් බෝවීමට හැකි බව තහවුරුව තිබේ.

රෝග ලක්ෂණ ලෙස ඕනෑම වෛරස් රෝගයක් ආරම්භයේ දී මෙන් මෙහිදීද උණ හටගනියි. උණ, ඇඟපත වේදනාව. හිසරදය, මහන්සිය සමඟ මෙය වෙනත් රෝගවලින් වෙන්කර හඳුනාගත හැකි විශේෂිත රෝග ලක්ෂණයක් ලෙස වසා ගැටිති හෙවත් කුද්දටි ඉදිමීම දක්නට හැකිය. ප්‍රධාන වශයෙන් බෙල්ල ආශ්‍රිතව වසා ගැටිති ඉදිමීම සිදුවේ. ඊට අමතරව දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සම මතුපිට පළු දැමීමක්, බිබිලි දැමීමක් සිදුවීමය. එය මුලින් රතු පැල්ලමක් විදිහට ඇරුඹී පසුව වතුර බුබුළක් බවට පත් වෙයි. ඉන් පසු සැරව බුබුළක් බවට පත් වී පසුව සුව වී කබොල්ලක් ලෙස ගැලවී යයි.  

මේ හැර නව රෝග ලක්ෂණ මතුවෙනවාද නැද්ද යන්න ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයනය කරමින් සිටියි. මේ වනතුරු එබඳු නව රෝග ලක්ෂණ සොයා ගැනීමක් සිදුව නැත.  

වර්ෂ 1980ට කලින් වසූරිය සඳහා එන්නත් ලබාදී ඇති අතර එම වසූරිය එන්නත මගින් මන්කිපොක්ස්වලට 85% ක් පමණ ආරක්ෂාව ලැබෙන බව වාර්තා වී ඇත. මේ නිසා 1980ට පෙර උපන් සහ වසූරිය එන්නත ලබාගත් අයට මෙයින් කිසියම් ආරක්ෂාවක් සැලසෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. කුඩා දරුවන්ට සහ නිදන්ගත රෝග නිසා ප්‍රතිශක්තිය හීන වූ අයට දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්නට හැකි බවද වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

දරුවන්ගේ ඇස් නොපෙනී යාම, සම මත දරුණු ආසාදන ඇතිවීමට හැකි අතර, නිව්මෝනියා වැනි දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්නට හැකි බවද සඳහන්ය.    

ලෝකයේ දැනට පැතිරෙන වඳුරු උණ ප්‍රධාන ප්‍රභේද 02 ක් පවතින බවත් ඒ කෙසේ වුවද රෝගය ආසාදිතව මිය යෑමේ හැකියාව 10% ට අඩු බවත් වාර්තා වේ.  

වඳුරු උණ සඳහා ද එන්නත්කරණය හොඳම පිළිතුරය. අමෙරිකාවේ දැනටමත් එන්නත්කරණය ආරම්භ කර ඇත. මුණගැසීමෙන් දින 04ක් තුළ එන්නත ලබාදුනහොත් රෝගය වැළඳීම වළක්වා ගන්නට හැකිය. දින 14ක් ඇතුළත එන්නත ලබා දීමෙන් රෝග තීව්‍රතාවය අඩු කර ගන්නට හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.‍ 

දැනට ශ්‍රී ලංකාවේ රෝගීන් නොමැතිවීම හේතුවෙන් දැනට මෙරට සතුව එන්නත් නොමැත. නමුත් රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය පී.සී.ආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණු කාර්ය මණ්ඩලය දැන් සීරුවෙනි.

■ සුගත් පී. කුලතුංගආරච්චි