2022 ජුලි 31 වන ඉරිදා

අරගලය අවසන්ද?

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 33

“පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකමයි හෙට, ඔබට එරෙහි වී නැගිටින්නේ" යැයි නන්දා මාලිනිය අපූරු පද පෙළක් වරක ලෝකෙටම ඇහෙන සේ ගායනා කළාය. එය යථාර්ථයකි. එය ලෝක ධර්මතාවයකි. අද අරගලය විඳින්නේද එම ලෝක ධර්මතාවයේ න්‍යාය බව අමුතුවෙන් කිව යුතු නැත. එදා අරගලය සම්බන්ධයෙන් ගුණ ගැයුවෝ, උදව් උපකාර කෙරුවෝ, කිසි දිනෙක තම තමන්ට කරගත නොහැකි දෑ ජනතාව විසින්ම සිදු කරන අයුරු දැක සතුටු වූවෝ, අද අරගලයට දෙස් දෙවොල් දෙන්නට පටන්ගෙන තිබේ. වඩාත් කනගාටුවට කරුණ නම් නම් අරගලය අස්සේ බලය අල්ලාගත් ඇත්තෝද අද අරගලයට එරෙහි වීමය. එහි පුදුමයක් නැත. ලෝකයේ හැටි එහෙමය. ලෝකයටත් වඩා ලංකාවේ ක්‍රමය එහෙමය.

අප ප්‍රථමයෙන් කතාව පටන්ගත යුත්තේ අරගලය බොහෝ දෙනා විවේචනය කරන්නේ කුමක් නිසාද? යන්න පිළිබඳවය. ඇත්තටම අරගලය සිදුවුයේ කාරණා දෙකක් මුල් කරගෙනය. පළමුවැන්න නම් නිසි කළමනාකරණයක් නැති අදූරදර්ශී රාජපක්ෂ පාලනයට එරෙහිවය. දෙවැන්න, මේ සියල්ල නිසා රට තුළ ඇතිවූ දරුණු ආර්ථික කඩා වැටීමය. මේ කාරණා දෙක ප්‍රමුඛ කොට අරගලය ඉතාම දරුණු ලෙස ඇදී ගියේය. අරගලය නිර්පාක්ෂික යැයි කීවත් ආරම්භයේ පටන් අරගලය නිර්පාක්ෂික නොවූ බව බව ලියුම්කරුගේ අදහසයි. එනම් සර්වපාක්ෂික අරගලයක නිර්පාක්ෂික අරමුණක් වෙනුවෙන් මෙම අරගලය සිදු කළ බව පැහැදිලිවම පෙනෙන දෙයකි. ඊට හොඳම උදාහරණය වන්නේ අරගල භූමිය නියෝජනය කළ එජාප පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් සැණින් අරගලයට ආයුබෝවන් කීමය. අවසානයේ අරගල භූමියේ ඉතිරි වුණේ ස්වාධීන මත දැරෑ කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමාජවාදී තරුණ සංගමයත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන අන්තරය සහ ඔවුන්ගේම තවත් කණ්ඩායම් කිහිපයක් පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන බවට කී ජූලි 13 වැනිදා අරගලකරුවන් පිරිසක් විසින් අගමැති කාර්යාලය, ජාතික රෑපවාහිනියට කඩා වැදීම සහ පාර්ලිමේන්තුව ආසන්නයේ සිදු කළ උද්ඝෝෂණය ආදිය බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. ඊටත් වඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් රාජකීය විද්‍යාලය වෙත පවරා දී තිබූ නිවෙස ගිනි තැබීම හරහා අරගලයේ ප්‍රචණ්ඩත්වය කෙරෙහි බහුතර ජනතාවක් වික්ෂිප්ත වූහ. සැබැවින්ම එම සිදුවීම් ගෝල්ෆේස් අරගල භූමියේ තීරණයක් නොවුණත් අවසානයේ අරගල භූමිය වෙත අත දිගුවන්නට විය. එහිදී තර්කය වුණේ රාජ්‍ය දේපළ අත්පත් කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කිරීම නීතිය පිළිගන්නා ජනතාව අනුමත කරන්නේද යන්නය. මේ නිසා අරගලය මධ්‍යම පාන්තික ජනතාවගෙන් සහ වෘත්තීකයන්ගෙන් යම් තරමකට හුදෙකලා වන්නට විය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරාපත් කර ගැනීමේ ඡන්දය ලබාදීමේදී පොහොට්ටු සාමාජිකයන් බහුතරයකගේ අදහස වුණේ මේ අරගලය හරහා සිදුවන සිදුවීම් නවතා දමන ලෙසය. ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙස ගිනි තැබීමේ සිදුවීම අරගලයට යම් පාරාවළල්ලක් වුණු බව ලියුම්කරුගේ මතයයි. එය ජනාධිපතිවරයා පවා රිදවන සිදුවීමක් වූ හෙයින් ද ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ නිවෙස් මැයි 9 වැනිදා විවිධ කණ්ඩායම් විසින් ගිනි තැබීම හේතුවෙන් ද පාර්ලිමේන්තුවේ බහුතර මතය වී තිබුණේ අරගලය හරහා ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීම නවතා දැමිය යුතු බවය. ඒ අනුව ජනාධිපතිවරයා තම ධුරයට පත්වූ සැණින් එයට විසඳුම් සෙවීමට කටයුතු කළේය. එයට අමතරව තවත් ප්‍රශ්නයක් විය. ඒ අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටීම හා එය නැවත ලබා නොදීමට කටයුතු කිරීමය. මේ සියල්ල මැද අවසානයේ එක රුයින් අරගලකරුවන් කැරලිකරුවන් වීමට වැඩි වෙලාවක් ගත නොවීය. ඒ අනුව ජනාධිපතිවරයා තම ධුරය භාරගත් සැණින් සියලුම ආරක්ෂක අංශ වෙත නියෝග කළේ ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට කටයුතු කරන ලෙසත් ජූලි 9 සහ 13 සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. මෙහිදී තමා ආරක්ෂක අංශවල කටයුතුවලට අත නොගසන බවත් රටේ නීතිය සහ අණ පනත් අනුව ආරක්ෂාව ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට නියෝගය කළේය.

එම නියෝගයත් සමඟ පසුගිය කාලය පුරාම ඉතාම ඉවසීමෙන් කටයුතු කළ ආරක්ෂක අංශ අතපය දිගහැර කටයුතු කරන්නට පටන් ගත්තේය. එහි පළමු ආරම්භය ජනාධිපති ලේකම් කාර්යාලය නැවතත් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීම විය. ජූලි 9 වැනිදා සිට අරගලකරුවන් යටතේ තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය කිහිප වතාවක්ම නැවතත් භාරදෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදීම නිසා අවසානයේ නියෝගය ලැබුණු සැණින් ආරක්ෂක අංශ ක්‍රියාත්මක විය. මේ නිසාම එදා ඒ අවට සිටි පිරිසටද පහර කෑමට සිදුවිය. එම ප්‍රහාරයේ යම් අමානුෂික බවක් තිබුණද පසුගිය මැයි 9 වැනිදා මෙන් ජනතාව පසු දින උදෑසන හෝ අරගල භූමිය වෙත පැමිණියේ නැත. අරගලය සිදු කරන අරගලකරුවන්ට එය අරගලය සම්බන්ධයෙන් ජනතා මතය පරීක්ෂා කර ගැනීමට වූ හොඳම පරීක්ෂණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට ප්‍රධාන හේතුව වූයේ අරගලය මුවාවෙන් ඇතැම් පිරිස් 13 වැනිදා සිදු කළ ක්‍රියාවන් සහ අරගලය සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා සිදුවූ විවේචනයි. අරගලයට ඍජුව ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ සම්බන්ධ බවත් ඔවුන් වෙනත් මාර්ගයකින් බලය තහවුරු කර ගැනීමට යන බවටත් වූ සමාජ මතය නිසා බොහෝ දෙනා නැවත එයට සහභාගි වීම අත හැර දැමූහ. විශේෂයෙන් ව්‍යවස්ථාවට පිටින් සිදු කරන්නට යන බලය අල්ලා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් සිදු කරන ප්‍රකාශ නිසා ජනතාව යම් ආකාරයක බියකින් පසුවූහ. මේ නිසා දැන් ජනතාව අරගල භූමිය අත්හරින තැනට පත්ව සිටිති.

ඒ බව දැන දැන අරගල භූමිය තවදුරටත් අල්ලාගෙන සිටීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැත. එය අත්හැර දමා ඊට වඩා පුළුල් ප්‍රවේශයකට අරගල භූමිය ප්‍රවිශ්ට විය යුතු යැයි අරගල භූමිය සම්බන්ධයෙන් අර්ථ දක්වන්නෝ කියති. ආරක්ෂක අංශ විසින් දැනටමත් පොදු දේපළ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බැවින් මේ මොහොතේ ජනතාව අරගලයක් සිදු කිරීමට නැවත පැමිණෙතැයි ලියුම්කරු අදහස් නොකරයි.

පුදුමය නම් අරගල භූමියේ ඇතැම් කණ්ඩායම් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සඳහන් කර සිටියේ අගෝස්තු 9 වැනිදා අවසන් සටනට කොළඹට පැමිණෙන ලෙසය. සැබැවින්ම එය අනුවණ ක්‍රියාවක් මෙන්ම අරගලය අවසන් වශයෙන් දියාරු කොට සුන්නද්දූලි වී යා හැකි මොහොතකි. එනම් එදිනට ජනතාව නොපැමිණියොත් මුළු ලෝකයටම යන පණිවිඩය වන්නේ අරගලය අවසන් වී ඇති බවයි. අරගලකරුවන්ට ඒ පණිවිඩය ලෝකයට දීමට අවශ්‍යද අනවශ්‍යද යන්න ලියුම්කරු නොදනියි. එහෙත් අරගලයක් අවසානයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු මතය රුගෙන යාම අරගලය විනාශ වූ බව සහතික කරන්නකි.

එබැවින් අරගලය දැන් අවසන් කළ යුතුය. ජනාධිපතිවරයාටත් කාලයක් ඉඩ දිය යුතුය. ඔහු සමඟ සාකච්ඡා මට්ටමින් අරගලයේ මූලික යෝජනා සම්මත කරගත යුතුය. ඒ නිසා දැන් අරගල භූමිය අවසන් කර සියලු දෙනා විසිර යා යුතු අතර තවත් අල්ලාගෙන සිටීම කරනු ලබන ලොකුම වරද බව කිව යුතුමය.

 ගයාන් ගාල්ලගේ