2022 ජුලි 31 වන ඉරිදා

උසාවිය ඉදිරියේ වෙඩි කෑ ගම්පහ ’’පස් පොඩ්ඩා’’

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 157

ගම්පහ වැඩියෙන්ම ප්‍රසිද්ධ වොලිබෝල්වලටය. අනතුරුව දේශපාලනයටය. ඊටත් පසුව පාතාලයටය. සියනෑ පාතාලය රටේ අනෙකුත් පාතාල මෙන් අතීතයේ සිට පැවත එන්නකි. ගෝනවල සුනිල්, වන්ෂොට්, ෆේරෝස්, මිනුවන්ගොඩ අසිත, පස් ගාමිණී, ජීවන්, දේවක, සමරේ වැන්නෝ මිනුවන්ගොඩ පාතාලය හොල්ලාගෙන සිටි අය වෙති. අද ඔවුන් සියල්ලෝම එලොවය. ඒ වෙන කිසිවක් නිසා නොව පාතාලයේ "ලෙයට ලෙය" දරන සුපුරුදු න්‍යාය හේතුවෙනි. කෙසේ වෙතත් මේ ආරම්භය නම් පසුගියදා ගම්පහ සිදුවූ තවත් පාතාල ගැටුමක් ගැනය. එම ගැටුම නිසා ගම්පහ පාතාලයේ තවත් චරිතයක් වූ සමන් රෝහිත පෙරේරා නොහොත් "පස් පොඩ්ඩා" මිය ගියේය. එම ඝාතනය ඇතුළු පස් පොඩ්ඩා ඝාතන සිදුවීම ගැන අපි මෙසේ හෙළිදරව් කරමු.

ගම්පහ පාතාලය වැඩි වශයෙන් ගොඩනැගී ඇත්තේ පස් ජාවාරම මූලිකවය. එදා සිට අද දක්වාම ඒ ජාවාරම පාතාලයත් දේශපාලනයත් එක්ව සමව කරගෙන යන තැනට පත්ව තිබේ. මෙකී ගම්පහ පස් ජාවාරමේ මුල්ම චරිතය වූයේ පස් ගාමිණීය. පස් ජාවාරම නිසාම යහමින් මුදල් ඉපැයූ නිසා ගාමිණී තරමක බල සම්පන්න තැනක පසුවිය. එහෙත් ගාමිණීට එරෙහිව තවත් පස් ජාවාරම්කරුවෙක් පෙරට පැමිණියේය. ඒ ගම්පහ මිනුවන්ගොඩ පාතාලයේ චරිතයක් වූ "මිනුවන්ගොඩ අසිතය". මේ දෙදෙනා අතර ඇතිවූ මෙම ගැටුම නිසා එකිනෙකාගේ කල්ලි කණ්ඩායම් අතර නිතර වෙඩි තබා ගැනීම් සිදුවිය. අවසානයේ මේ ගැටුම අවසන් වූයේ පස් ගාමිණී හෙවත් කළු ගාමිණීව වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය.

අනතුරුව ගාමිණී ඝාතනය අවසානයේ අසිතත් ඔහුගේ ගෝලයා වූ දේවකත් බන්ධනාගාර ගත වූහ. අසිත පස් නොකැපුවත් පස් ජාවාරමෙන් කප්පම් ගත් අයෙක් විය. ඒ නිසාම කළු ගාමිණීගේ මරණයෙන් පසුව පස් ජාවාරම අතට ගත්තේ ගාමිණීගේ ගෝලයෙක් වූ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩාය. පස් පොඩ්ඩා තමන්ගේ ව්‍යාපාර සූක්ෂමව සිදු කරගෙන ගිය අතර අසිත කප්පම් ගනිමින් බන්ධනාගාරයේ ගත කළේය. මේ අතර දිනක් අසිත කප්පම් සිදුවීමක් නිසා සීදුවේ ජයේ සමඟ ගැටුමක් ඇතිකර ගත්තේය. ඒ ගැටුමේ ප්‍රතිඵලය ලෙස එවකට පාතාලයේ නම් දරා සිටි අසිතගේ කල්ලිය ජයේගේ ගෝලයන් එකා දෙන්නා මරමින් ජයේ වෙත කොකා ගැස්සීමට මාන බලා සිටියේය. එහෙත් ජයේ පෙරමුණ ගත්තේය. ජයේ පස් පොඩ්ඩා සමඟ අසිත එරෙහිව සැලසුම් සකස් කරන්නට විය.

දිනක් අසිත බන්ධනාගාරයේ සිට උසාවියට පැමිණ නැවත මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර ගම්පහ පැරණි මිනුවගොඩ පාර කළු පාලම අසලදී වැලි ලොරි හරස් කර බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් එල්ල කෙරිණි. එය ලංකා ඉතිහාසයේ බන්ධනාගාර බස් රථයකට එල්ල කරන ලද පළමු වෙඩි පහර විය. මේ වෙඩි තැබීමෙන් බන්ධනාගාර නිලධාරියකු සහ සැකකරුවකු මිය ගිය ද අසිත සහ දේවකගේ ජීවිත අනූ නවයෙන් බේරුණි.

එහෙත් ජයේ සහ පස් පොඩ්ඩා සටන අත්හැරියේ නැත. නැවත මීගමුවේ කකුල් කොටා හෙවත් ෆේරෝස්ට ඔවුහු කොන්ත්‍රාතුව බාර දුන්හ. ඒ මීගමුව බන්ධනාගාරයේදී වෙඩි තැබීමටය. ලංකාවේ පළමු බන්ධනාගාර වෙඩි තැබීම වාර්තා වූයේ 1989 දීය. ඒ කොළඹ පාතාලයේ අමරසිංහ පරම්පරාවේ නිහාල් අමරසිංහ විසින් නොයෙල් අමරසිංහ (මේ දෙදෙනාම පසු කලෙක පාතාලයේ අලුගෝසුවන් වූ ධම්මික සහ චින්තක අමරසිංහගේ මාමාවරුය) වෙඩි තබා ඝාතනය කිරීමටය. ඉන් වසර විස්සකට පසුව දෙවැනි ඝාතනය මීගමුව බන්ධනාගාරය තුළදී සිදුවිය. ඒ ෆේරෝස්ගේ ගෝලයකු වූ බුලට් විසින් මිනුවන්ගොඩ අසිතව බන්ධනාගාරය තුළ වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය. එම ඝාතනයත් සමඟ අසිතගේ කතාව අවසන් විය.

ඉන් පසුව අසිතගේ ගෝලයා වූ මිනුවන්ගොඩ ජීවන් පාතාලයේ ඉහළට පැමිණියද පස් පොඩ්ඩා තරමට බලවත් වීමට නොහැකි විය. එයට හේතුව පොඩ්ඩාට තිබූ දේශපාලන බලය ජීවන්ට නොතිබීමය. අවසානයේ ජීවන් ද වෙඩි කා මිය ගියේය. ඒ පොලිස් වෙඩි පහරිනි. මේ අතර පස් පොඩ්ඩාට අපූරු යාළුවෙක් මුණගැසුණේය. ඒ ගම්පහ පාතාලයේ කෙරුමෙක් වූ මාකිලංගමුවේ සංජීවය. මේ දෙදෙනාගේ මිතුරුකම පස් ජාවාරම දෙසට ඇදී ගියේය. ඒ අනුව දෙදෙනා එක්ව බටපොත ප්‍රදේශයේ පස් කන්දක් කැපීමට ද කටයුතු කළහ.

මේ අතර පස් පොඩ්ඩා සහ සංජීව එක්ව ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනයට උත්සාහ කළහ. ඒ සංජීවගේ මිතුරකු වූ අජා හරහාය. අජාගේ සැලසුම ව්‍යවර්ථ වූ අතර කුරුමානම වැරදී ගොස් අවසානයේ ඔහුට බන්ධනාගාර ගත වීමට සිදු විය. එහෙත් එම කොන්ත්‍රාත්තුව අනුව අජා දිගටම සංජීවට ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලා සිටියේය. එහෙත් ඔස්මන්ගේ ඉලක්කය වැරදිම හේතුවෙන් සංජීව මුදල් දුන්නේ නැත. මේ තරහ දුරදිග යාමෙන් අජා බටපොත පස් කන්ද වෙත දෙදෙනකු යවා අදාළ පස් ලොරිවලින් කප්පම් ඉල්ලා තිබුණි. මෙය පස් පොඩ්ඩාටත් පස් පොඩ්ඩාගෙන් සංජීවගේ කනටත් ගියේය. සංජීව වහාම අජාට දැනුම් දුන්නේ එය තමන්ගේ තැනක් නිසා කප්පම් ඉල්ලා නොසිටින ලෙසය. අජා එය තඹයකට මායිම් කළේ නැත. ඔහු දෙදෙනකු යොදවා පස් කන්ද භාරව සිටි සුරේෂ්ට වෙඩි තැබුවේය.

මෙය සංජීව කළඹන සිදුවීමක් විය. අජා උත්සාහය අතහැරියේ නැත. ඔහු නැවතත් දෙදෙනකු යොදවා සංජීවගේ පස් මිලදී ගන්නා පස් චමීට වෙඩි තැබුවේය. එය සංජීව තව තවත් කෝප ගන්වන සිදුවීමක් විය. සංජීව ප්‍රති ප්‍රහාරය සූදානම් කළේය. එහෙත් අජා සිරගෙදරය. ගෝලයන් සොයා ගන්නට නැත. කෙසේ වෙතත් සුරේෂ්ට වෙඩි තැබීම සඳහා යතුරුපැදිය ලබා දුන් අයෙක් සිටියේය. ඒ ව්‍යාපාරිකයෙක් වූ පද්මසිරිය. පද්මසිරි ව්‍යාපාරිකයකු වුවත් පද්මසිරිගේ කැරුට්ටුව හොඳ නැත. ඔහුද පාතාලයේ සබඳතා පවතින, පාතාලයට ඍජුව සම්බන්ධ අයෙකි. පද්මසිරිගේ පියා නෙවිල් පෙරේරාය. නෙවිල් ද ව්‍යාපාරිකයෙකි. අවසානයේ පස් පොඩ්ඩා, සංජීව ඇතුළු පිරිස සිය ගෝලයන් ලවා නෙවිල්ට නිවෙසේදීම වෙඩි තැබූහ. මෙය පද්මසිරිගේ හිතේ කැකෑරෙන සිදුවීමක් විය.  

මේ අතර කාලයේ සංජීව සිටියේ හිරගෙදරය. පස් පොඩ්ඩා දේශපාලනඥයන් සමඟ එක්වෙමින් දේශපාලනය කරගෙන ගියේය. මිනුවන්ගොඩ ප්‍රදේශයම හොල්ලමින් ජනතාව අතර පොරක් වීමට හෙතෙම උත්සාහ දරමින් සිටියේය. මේ අතර 2018 වසරේදී පස් පොඩ්ඩා ආයුධ සමඟ පොලීසියට කොටුවිය. කෙසේ වෙතත් පොලීසියේ ඇතැම් ලොක්කන් පස් පොඩ්ඩාගේ මිතුරන් බව කිව යුතුමය.  

කාලයත් සමඟ සංජීව එළියට පැමිණියේය. පස් පොඩ්ඩා නිදහසේ කාලය ගත කළේය. පද්මසිරි ඩුබායි ගියේය. එහෙත් පද්මසිරි අවස්ථාව එන තෙක් වාඩුව ගන්නට මාන බලමින් සිටියේය. මේ අතර පසුගිය බදාදා පස් පොඩ්ඩාට නඩු දිනයකි. ඒ මිනුවන්ගොඩ අසිත ඝාතන සිද්ධිය හේතුවෙනි. එම නඩුව අවසන්ව තම වෑන් රථයට නැගීමට එන අවස්ථාවේ අධිකරණය ඉදිරියේ නවතා තිබූ මෝටර් රථයකින් ටී-56 වෙඩි වැස්සක් ඔහුට එල්ල විය. සිව්දෙනාම මහ මග ඇද වැටිණි. අධිකරණ භූමියම ගැස්සී ගියේය. පසුව ඔවුන් රෝහල් ගත කළ අතර පස් පොඩ්ඩා මිය ගියේය. කෙසේ වෙතත් මේ ඝාතනය ප්‍රශ්නාර්ථයක් මතු කළේය. පසුව පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදී හෙළිවුණේ එය දැනට ඩුබායි රාජ්‍යයට පැන සිටින පද්මසිගේ කොන්ත්‍රාත්තුවක් බවය. ඒ තම පියා ඝාතනය කිරීමේ වාඩුව ගැනීමය. පොලීසිය ඒ සියල්ල සොයාගෙන අවසන්ය. අවසානයේ මෙම ඝාතනය ද සුපුරුදු පණිවිඩය සමාජයට ලබා දෙයි. ඒ අවි ගත්තෝ අවියෙන්ම නසී යන්නය.

 ගයාන් ගාල්ලගේ