2022 ජුලි 31 වන ඉරිදා

නීතිය අතට ගත් මහමග මරුවෝ

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 90

නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රැල්ලට තාමත් එකා දෙන්නා ගොදුරු කර ගනිමින් තිබේ. ඉකුත් සතියේ ස්ථාන හතරකදී සිදු කළ වෙඩි තැබීම් නිසා පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා විය. නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රැල්ල සමාජය භීතියට පත් කර තිබියදී පොලීසිය ඒ පිළිබඳව අවධානයෙන් පසුවෙයි. ගෙවුණු මැයි 30 වැනිදා සිට ජූලි 28 වැනිදා දක්වා කාලය තුළ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීමේ රැල්ලට පුද්ගලයන් 26 දෙනකු ගොදුරුව ඇතැයි පොලිස් වාර්තා අනාවරණය කරයි.

එක පෙළට වාර්තා වූ ඝාතන සිදුවීම් සියල්ල පසුපස ඩුබායි හා ඉන්දියාව වැනි රටවල වෙසෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ. ඔවුන් හරහා ක්‍රියාත්මක මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන්ගේ පෞද්ගලික ගැටුම්, ඔත්තුකරුවන්ගේ ආරවුල්, පොලිසියේ තොරතුරුකරුවන්ට එරෙහිව පවතින වෛරය ඇතුළු භේද ගණනාවක් මත මෙකී ඝාතන සිදු කර තිබෙන බවද හෙළි වී තිබේ.

මෙවැනි පසුබිමක ඉකුත් 26, 27, 28 යන දින තුනේදී අම්බලන්ගොඩ, රත්මලාන හා ගම්පහ ප්‍රදේශවලදී සිදු කළ වෙඩි තැබීම් නිසා පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් එහිදී තවත් පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා සිටි බවත් පොලීසිය වාර්තා කරයි.

දින කිහිපයක නිහැඬියාවක සිටි නාඳුනන තුවක්කුකරුවන් නැවත වැඩ අල්ලා තිබුණේ පසුගිය 26 වැනිදා දහවලේදීය. මුරුක්කුවාදුර වසන්ත ද සොයිසා අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගමේ නොසිටි ඔහු කාලයක් මහ උළුගෙදර කල්දේරම් බත් රස බලමින් සිට තිබුණේ කලකට පෙර පුද්ගලයකුට වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. මීට වසර දෙකකට ඉහතදී එම වෙඩි තැබීම සිදු කර තිබුණේ අම්බලන්ගොඩ ඌරවත්ත පැරට් හන්දිය ප්‍රදේශයේදීය. ඊට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වසන්ත ද සොයිසා ඇප ලබා පැමිණ නිදහසේ සැරිසරමින් සිටි බව කියති. 

යතුරුපැදියක නැගී තමාට ඇවැසි තැන්වල යමින් සිටි ඔහු දෙස ඇස ගසා සිටි තවත් පිරිසකි. ඒ බවක් නොදත් වසන්ත යතුරුපැදියට නැගී අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේ යමින් සිටියදී ඔහු පසුපසින් පැමිණි තවත් යතුරුපැදියකි. එම යතුරුපැදියේ දෙදෙනකු පැමිණි අතර එහි පසුපැදිකරු අත වූ ගිනිඅවියකින් වසන්ත ද සොයිසා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබුණි. තුවාලකරු බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර තිබූ අතර එහිදී ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කළේය.

එම සිදුවීමෙන් පසුදා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල නිවෙසකි. නිවෙස හා ආශ්‍රිත ප්‍රදේශයේ ඥාතීන් හිතවතුන් රුසක් සිටියදී වේගයෙන් පැමිණි යතුරුපැදියකි. ඉන් බැසගත් අයෙක් මළගෙදර මිදුලේ සිටි අයකු වෙත වෙඩි වරුසාවක් එල්ල කළේය. ඒ ඉදිරිපිටට ආ නිවෙස් හිමියා ද නිකරුණේ වෙඩි ප්‍රහාරයට ලක් විය. සැණෙකින් පලා ගිය වෙඩික්කරුවන් ආ ගිය මගක් හෝ සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. ප්‍රහාරයට ලක්වූ අයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් තැනැත්තා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි කියති. වෙඩි තැබීමෙන් නිවෙස් හිමියා හා මළගෙදරට පැමිණි පිටස්තර අයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබීය. 

මෙම වෙඩි තැබීම සඳහා ටී-56 ගිනිඅවියක් භාවිත කර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන පරිදි පෙර දින සිදු කළ වෙඩි තැබීම හා මෙම ප්‍රහාරය අතර සබඳතාවක් පවතී. ඒ අනුව වාර්තා වන්නේ 26 වැනිදා සිදු කළ වෙඩි තැබීමට අදාළ සැකකරු වන සුජිත් නැමැත්තාගේ සහෝදරයකු මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්වූ බවකි. මේ අනුව පොලීසිය සැක කරන්නේ පෙර දින ඝාතනයට ලක්වූ වසන්ත ද සිල්වා පාර්ශ්වයෙන් මෙකී ඝාතනය සිදු කර ඇති බවය.

පසුගිය 27 වැනිදා තවත් නාඳුනන තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමක් වාර්තා වූයේ රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයේ නිවෙසකිනි. අදාළ නිවෙසේ පදිංචිව සිට ඇත්තේ මරණයට පත්වූ චරිත් උමයංග සිල්වා හා ඔහුගේ බිරියයි. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ත්‍රීරෝද රථ රියැදුරකු ලෙසත් පෞද්ගලික ආයතනයක ආහාර පාර්සල යතුරුපැදියකින් බෙදාහරින්නකු වශයෙන් කටයුතු කරන බවත් පැවසේ. මොහු පසුගිය 27 වැනිදා රාත්‍රියේ සේවය නිමවා පැමිණ නිවෙසට ඇතුළු වනවාත් සමඟම කෙනකු එම නිවෙස් දොරට තට්ටු කරනු ඇසී තිබුණි. ඒ සමඟම යළිත් දොර විවෘත කර තිබූ උමයංග ඉදිරිපිටට ආ අයකු අත වූ ගිනිඅවියකින් උමයංගට වෙඩි තබා පලා ගොස් ඇතැයි කියති. වෙඩික්කරුවන් දෙදෙනකු යතුරුපැදියක පැමිණ තිබූ බවට තොරතුරු වාර්තා වී ඇත. වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි උමයංග සිල්වා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. 

මේ අතර ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි සමන් රෝහිත නොහොත් පස් පොඩ්ඩා නැමැත්තා ජීවිතක්ෂයට පත්විය.

මේ ආකාරයේ වෙඩි තැබීම් රුසක් කොළොන්නාව, පෑලියගොඩ, කටුබැද්ද, පට්ටිය හන්දිය, මෝදර ඇළකන්ද, තංගල්ල, අහංගම, අලුත්ගම, පානදුර, පිටකොටුව යන ප්‍රදේශවලින් ඉකුත් මැයි 30 වැනිදායින් පසුව වාර්තා වී තිබේ. දකුණ හා බස්නාහිර පළාත ආශ්‍රිතව සිදුවන මෙකී නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රුල්ල සමාන අයුරකින් සිදුවන බව පොලීසිය නිරීක්ෂණය කර තිබුණි. ඒ අනුව බොහෝ ඝාතන කුලී ඝාතනයක් හෝ හිතවත් ඇසුරක් මත සිදු කර තිබෙන බවට අනාවරණය කරගෙන තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර