
වී වගාවට යොදන යූරියා පොහොර රජය මගින් ගොවියාට ලබා දීමට මේ වනවිට පියවර ගෙන තිබේ. අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටයාර් එකක වපසරියෙකින් යුත් කුඹුරකට ලැබෙන පොහොර ප‍්‍රමාණය හොණ්ඩර දෙකකි. එනම් කිලෝ 100කි. වෙළෙඳපොළේ රුපියල් 40,000ක් ඉක්මවන මිලක් පවතින පොහොර හොණ්ඩරයක් ගොවියාට ලැබෙනුයේ රුපියල් 10,000ක් වැනි මිලකටය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයන්ට අනුව බැලුවද මේ ලැබෙන පොහොර ප‍්‍රමාණය වී වගාවට ප‍්‍රමාණවත් නොවුණද මෙමගින් ගොවියාට කිසියම් අස්වැසිල්ලක් ලැබෙන බව කියති. මේ දිනවල යූරියා පොහොර ගොවීන්ට ලබාදෙන පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවිබිම් වෙත ගිය ගමනේදී බොහෝ ගොවීන් ප‍්‍රකාශ කළේ වී ගොවිතැනට අවශ්‍ය පොහොර ඉදිරියටත් අඛණ්ඩව ලබාදුනහොත් අනාගතයේදී රටට බත සැපයෙන කාරිය වෙනුවෙන් පිටරටට අත පෑමට රජයට සිදු නොවනු ඇති බවය.
වී වගාවට අවැසි රසායනික පොහොර දෙන්නැයි ඉල්ලා පසුගිය කාලයේ රටපුරා ගොවීන් වීදි සටන්, උද්ඝෝෂණ පැවැත්වුවද ඒ ගොවි සටන් ජයග‍්‍රහණය කළේ නැත. පොහොර ප‍්‍රශ්නයෙන් පරාජයට පත්වී ගොවියා කුඹුරට බැස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතිවය. එමෙන්ම වෙනදා මෙන් කලට වේලාවට නොව බොහෝ සෙයින් ප‍්‍රමාද වීය. රසායනික පොහොර නොමැති කාරණය නිසා වෙනදා තිබූ උද්‍යෝගය, උනන්දුවද ගොවීන් තුළින් ඈත්ව ගොස් තිබූ බවද කියති. කෙසේ නමුත් පසුගිය මාස් කන්නයේ මෙන්ම මෙවර යල් කන්නයේද කුඹුරට රසායනික පොහොර නොලැබීමේ ප‍්‍රතිවිපාකය අත්විඳින්නට සිදුව ඇත්තේ තමන්ට බව ගොවීහු හැඬූ කඳුළින් යුතුව පවසති. ඒ අන් කිසිවක් නොව අස්වනු අඩුවීම නිසා අතමිට හිඟ වී පත්වන අසරණභාවය හා ණය තුරුස් පවා ගෙවාගැනීමට නොහැකිවීම නිසාය.
පසුගිය රජය ගොවියාට අවශ්‍ය රසායනික පොහොර ලබා නොදීම හේතුවෙන් වී වගාවට අත්වූ ඉරණම පිළිබඳව අප සමඟ මෙසේ අදහස් දැක්වූයේ පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතායි ‘‘&වී වගාවට අවශ්‍ය රසායනික පොහොර ලබා දීමට පසුගිය රජය කටයුතු නොකිරීම නිසා කෘෂිකර්මාන්තයේ අර්බුද රාශියක් ඇතිවුණා. ඇතැම් ගොවීන් මේ පොහොර ප‍්‍රශ්නය නිසා ගොවීන් වී වගාව අත්හැරීමට පවා තීරණය කළා. ඒකට හේතුව පොහොර නැතිව ගොවිතැන් කිරීම පාඩු ලබන රුකියාවක් නිසා. පසුගිය මාස් කන්නයේ රටේ වී අස්වැන්න සියයට පනහකින් පමණ අඩු වුණා. ඒක ගොවියාට මෙන්ම රටටම දැනුණු පාඩුවක්. මේ තරමට රටේ හාල් මිල ඉහළ යන්න ප‍්‍රධාන වශයෙන්ම බලපෑවේ වී නිෂ්පාදනය පහළ බැසීම. අපි ඒ තත්ත්වය ඇතිවෙන්න කලින් ආණ්ඩුවට කල්වේලා ඇතිවම කිව්වා.
අපේ රටේ වී වගා කරන ගොවියා කියලා කියන්නේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවීමේ ජාතික මෙහෙවරේ ප‍්‍රධාන පංගුකාරයෙක්. අපේ රටට අල, ලූනු, පරිප්පු වගේ ආහාර ද්‍රව්‍ය මෙතෙක් පිටරටින් ගෙන්නුවත් අපේ රට සහල්වලින් ස්වයංපෝෂිතව තිබුණු රටක්. ඒ තත්ත්වය නැති කළේ කලින් පැවැති ආණ්ඩුව. වී ගොවිතැන සම්බන්‍ධයෙන් නැති ප‍්‍රශ්න ඇති කළා. ගොවියාට ගොවිතැන අවශ්‍ය පොහොර ටික දුන්නේ නෑ. ඒ නිසා අද වී ගොවිතැන පඹගාලක පටලවලා තියෙන්නේ. ගොවීන්ට වී වගාවට සියයට සීයක් කාබනික පොහොර යොදන්න කියලා කිව්වා. ඒක ක‍්‍රම ක‍්‍රමයෙන් යා යුතුව තිබුණු ගමනක්. නමුත් කාබනික පොහොරවලින් පමණක් සාර්ථක ඉහළ අස්වැන්නක් ගන්න බැරි බව එදා මුළු රටේම ගොවීන් එක හඬින් කිව්වා. නමුත් එක රුයින් ඒ වැඩේ කරන්න ගිහිල්ලා මේ රටේ ගොවිතැන උඩු යටිකුරු වුණා. දැන් සෑම යායකටම ගියහම අපිට පේනවා වී වගාවේ තියෙන අසාර්ථකත්වය. ගොවියාට තමන්ගේ කුඹුර දිහා බැලුවම ලොකු කලකිරීමක් දුකක් ඇතිවෙනවා.
ගොවීන් වැඩි දෙනෙක් කියන්නේ උදේ හවා කුඹුරට ගිය එක දැන් යන්නත් එපා වෙලා තියෙන්නේ කියලා. ඒ තරමට කලකිරීමකින් ඉන්නේ. වෙනදා තිබුණු උද්‍යෝගය, උනන්දුව ගොවීන් තුළ නෑ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේකේ අවසාන ප‍්‍රතිඵලය ගොවියා ගොවිතැනින් ඈත්වීම. ඒ නිසා මේ ප‍්‍රශ්නයට නිසි විසඳුමක් අවශ්‍යයි කියන එකයි අපි හැමදාමත් කිව්වේ. එහෙම නැතුව රසායනික පොහොර නවත්වලා කාබනික පොහොර පමණක් යෙදීමෙන් සාර්ථක වී අස්වැන්නක් ගන්න බැරි බව අපි පෙන්වලා දුන්නා. කාබනික පොහොර පමණක් යෙදීම තුළ වෙනදා ගත්තු ප‍්‍රමාණයට වඩා අස්වැන්න සීයට පනහකින් විතර අඩුවෙනවා කියන එක පැහැලිවම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ඒවා තුට්ටුවකටවත් ගණන් ගත්තේ නෑ. අපි කියාපු දේවල් බීරි අලින්ට වීණා වාදනය කළා වගේ වුණා. ඒ අත්තනෝමතික රාජ්‍ය පිළිවෙත නිසා ගොවියාට අන්තිමේ ලැබුණු ප‍්‍රතිඵලය වුණේ ණය තුරුස් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත්වීම. අන්තිමේ ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. රජයේ පොහොර සහනාධාරය නැවත ක‍්‍රියාත්මක කිරීම තුළ මේ වෙනකොට ගොවීන්ට කිසියම් ප‍්‍රමාණයක් යූරියා පොහොර ලැබිලා තියෙනවා. සමහර ගොවීන් පොහොර මිලදී ගන්න මුදල් ගෙවලා තිබෙනවා. නමුත් පොහොර ලැබිලා නෑ. ඉදිරි දින කිහිපය ඇතුළත ඒ අයටත් ලැබෙයි කියලයි නිලධාරීන් කියන්නේ. කොහොම නමුත් මේ විදියට හරි පොහොර ටිකක් හරි ලැබුණු එක ලොකු දෙයක්. ඒක ගොවි ජනතාවට ලොකු අස්වැසිල්ලක්. නමුත් වී වගාවේදී යොදන අනෙකුත් පොහොර වර්ගත් ඒ එක්කම ලැබෙන්න ඕන. ඉදිරි කාලයේදී ඒ විදියට අඛණ්ඩව රසායනික පොහොර ගොවියාට ලැබුණොත් දැනට අඩාල වෙලා තිබෙන වී ගොවිතැන නැවත ගොඩනගන්න පුළුවන් වේවි. එහෙම වුණොත් රටේ වී හිඟයක්, හාල් හිඟයක් ඇතිවෙන එකක් නෑ. පිටරටින් හාල් ගෙන්වන්න සිද්ධවෙන එකක් නෑ.”
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඇතැම් ගොවීන්ට යූරියා පොහොර මෙතෙක් නොලැබුණු බවට සහ දැනට ලබාදී ඇති යූරියා ප‍්‍රමාණය වගාවට ප‍්‍රමාණවත් නොවන බව අපට අසන්නට ලැබුණු මැසිවිල්ලකි. ඒ පිළිබඳව පොළොන්නරුව දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ විමල් කුමාර කත‍්‍රිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ රජය මගින් මීට පෙර ලබාදී තිබෙන කාබනික පොහොරද සැලකිල්ලට ගෙන මෙවර ලබාදෙන යූරියා ප‍්‍රමාණය තීරණය කර තිබෙන බවය.
දැනට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ යූරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කරමින් ඒ මහතා මෙසේ පැවැසීය. ‘‘වී වගාවට රජයෙන් ලබාදෙන පොහොර සඳහා දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව කුඹුරු හෙක්ටයාර 60,000ක් නිර්දේශ කර තිබුණා. අනුව කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා පොහොර හොණ්ඩර දෙක බැගින් ලැබෙනවා. ඒ කුඹුරු ප‍්‍රමාණය සඳහා ලබාදිය යුතු පොහොර ප‍්‍රමාණය වන්නේ මෙට්‍රික් ටොන් 60,000ක්. මේ වනවිට දිස්ත‍්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර නිකුත් කිරීම සිදුකෙරෙනවා. මේ වනවිට ඒ පොහොර තොගයෙන් සියයට 60ක් පමණ නිකුත් කර අවසන්. ඉතිරි පොහොර ප‍්‍රමාණය ලබන සතිය පමණ වනවිට නිකුත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ලක් පොහොර සමාගම එක්ව අප මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනවා. පොහොර තොග කොළඹ සිට ප‍්‍රවාහනය කිරීමේදී යම්කිසි ප‍්‍රමාදයක් සිදුවී තිබෙන්නේ මේ දිනවල පවතින ඉන්ධන හිඟයයි. නමුත් ලබන සතිය අවසන්වීමට පෙර සියලුම පොහොර තොග බෙදාහැරීම අවසන් කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.”
මේ අතර ගොවීන්ට ලබාදෙන යූරියා පොහොර මලුවල කිලෝ 50ක ප‍්‍රමාණයක් අඩංගු නැති බවට ඇතැම් ප‍්‍රදේශවල ගොවීන් චෝදනා කරන බවක් අපට දැනගන්නට ලැබිණි. ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ ගෙවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මේ පොහොර තොග ගොවීන් වෙත බෙදාහැරීම පවරා ඇත්තේ දිස්ත‍්‍රික්කයේ එක් එක් ගොවි සංවිධාන වෙතය. මේ දිනවල එසේ පොහොර බෙදා දීම සිදු කරනු ලබන පොළොන්නරුව විජයබාහුපුර බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති සරත් ජයසිංහ සහ එහි භාණ්ඩාගාරික බර්ටි හුලංගමුව යන මහත්වරුන්ගෙන් අපි එම කාරණය පිළිබඳව විමසූ විට ඔවුන් කියා සිටියේ තම ගොවි සංවිධානයේ කිසිම සාමාජික ගොවි මහතකු වෙතින් එවැනි චෝදනාවක් නොනැගුණු බවය. අපේ ගොවි සංවිධානය මගින් ගොවීන්ට බෙදා දෙනු ලබන්නේ ලක් පොහොර සමාගමේ පොහොර පමණයි. ඒ පොහොර ඇසුරුම් සියල්ලම නියමිත බරින් යුතුව තිබුණා. ඇතැම් පොහොර මලු අපි කිරා බලන අවස්ථා තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක කිලෝ 50ට වඩා ග‍්‍රෑම් කිහිපයක්වත් බර අඩු පොහොර මලු හමුවෙලා නෑ. එම නිසා ඉතාමත් වගකීමකින් කියන්න පුළුවන් මේ පොහොර ඇසුරුම්වල පොහොර ප‍්‍රමාණය කිසිම අඩුවක් නෑ කියලා.”
මේ අතර ගොවි සංවිධානයේ සභාපති සරත් ජයසිංහ මහතා පැවැසුවේ මෙවර කන්නය ආරම්භයේ පටන් පැවැති ඩීසල් හිඟය නිසා ගොවීන් වගා කටයුතු ආරම්භ කිරීමට බොහෝ සෙයින් ප‍්‍රමාද වූ බවයි. ඒ ගොවින්ට තම වගාවට යූරියා පොහොර යෙදීමට දැන් කාලය බවද ඒ මහතා කීය. එහෙත් වගාවට දින 45ක් ඉක්මවා ඇති ගොවීන්ට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ යූරියා නොව එම්.ඕ.පී. හෙවත් බණ්ඩි පොහොර යැයිද ජයසිංහ මහතා කියා සිටියේය.
කෙසේ නමුත් කාබනික පොහොර යෙදීම තුළ අපේක්‍ෂිත අස්වනු නොලැබ හෙම්බත් වී සිටි ගොවි ජනයාට රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ සීමිත යූරියා පොහොර ප‍්‍රමාණයක් හෝ ලැබීම තරමක අස්වැසිල්ලක් බව ගොවිබිම් වෙත අප ගිය ගමනේදී අපට පසක් වූ කරුණකි.
■ කරුණාරත්න ගමගේ