රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටය. පෞද්ගලික රථවාහනවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද වනවිට බොහෝ දෙනා තම සේවා ස්ථානය යාමට මෙන්ම තම අත්‍යවශ්‍ය රාජකාරි ඉටුකර ගැනීම සඳහා භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. ගමන් කිරීමට බස් රථ නොමැති වීමත්, බස් රථවලට සරිලන ඉන්ධන නොමැති වීමත් නිසා බොහෝ බස් රථ ධාවනය නොවීමෙන් අද වනවිට පොදු ප්‍රවාහන සේවය ද අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටී තිබේ.
මේ අතර ත්‍රීරෝද රථ රියැදුරන් කුලී රථ බොහොමයක් ධාවනය නොකිරීම හේතුවෙන් ජනතාව තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටිති. බොහෝ දෙනකු චෝදනා කරන්නේ ත්‍රීරෝද රථ රියැදුරන් වැඩි පිරිස තම වාහනයට එකතු කර ගන්නා ඉන්ධන ඉතා වැඩි මුදලකට අලෙවි කොට නැවත නැවතත් මෙම ඉන්ධන පෝලිම්වලට ඒකරාශී වන බවය. අද වනවිට මහ පාරේ ත්‍රීරෝද රථයක් සොයා ගැනීම පවා ඉතා අසීරු වන අතර, ධාවනය වන කුලී ත්‍රීරෝද රථයක ගමන් ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඇතැමුන් චෝදනා කරන්නේ ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථ රියැදුරන් කුලී ගමන් නොයා එම ඉන්ධන ඉතා වැඩි මුදලකට විකුණන බවය.
මේ වනවිට ත්‍රීරෝද රථ ලක්ෂ දොළහකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. එයින් යම් සංඛ්‍යාවක් වසරක් පාසා අලුත්වැඩියා කටයුතු, නඩත්තු කළ නොහැකි වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් වෙයි. මේ අනුව ලංකාවේ ආනයනය කොට ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථවලින් යම් සංඛ්‍යාවක් ඉවත් කර තිබේ. ඒ අනුව දළ වශයෙන් ලක්ෂ අටහමාරක පමණ ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් මේ වන විට ධාවනය වන බව එම දත්ත පෙන්වා දෙයි. එයින් ලක්ෂ පහක පමණ ත්‍රීරෝද රථ ධාවනය වන්නේ කුලී ත්‍රීරෝද රථ ලෙසිනි. මෙම එක් ත්‍රීරෝද රථයක් ගමන් වාර දහය බැගින් ක්‍රියාත්මක කළහොත් දෛනිකව මගීන් දස දෙනකු ගමන් කරයි නම් ලක්ෂ පනහක් පමණ මගීන් දිනකට ප්‍රවාහනය කරයි. ඒ අනුව කුලී ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් සිදුවන සේවාව පිළිබඳව අවතක්සේරු කළ නොහැකිය.
මීට අමතරව මෑත කාලයේදී දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි ආරම්භ වුණු මගී ප්‍රවාහන සේවාවලද ත්‍රීරෝද රථ බොහොමයක් ලියාපදිංචි වී ඇති අතර, එමගින් දිනකට ලක්ෂ පහක පමණ මගීන් ආවරණය වන බව එම සේවා දත්තවලින් පෙන්නුම් කෙරේ.
''මේ රටේ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සේවාව සම්බන්ධයෙන් ඇතැමුන්ට එතරම් වැටහීමක් නැහැ. සමහරු මේ රියැදුරන්ව හඳුන්වන්නේ %ත්‍රීවිල්කාරයා^ කියලයි. නමුත් මේ ත්‍රීරෝද රථ සේවාවෙන් ඍජුවම ලක්ෂ විසිපහක් පමණ පිරිසක් යැපෙනවා. ලක්ෂ පනහක් පමණ ජනතාව එහා මෙහා යන ලක්ෂ විසිපහක් පමණක් පිරිසක් යැපෙන මෙම වෘත්තිය හෑල්ලු කරන්න බැහැ. නමුත් අද මේ සේවාවට අත්ව ඇති ඉරණම සෝචනීයයි.'' යැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා දේශයට පැවසීය.
මේ වනවිට මෙම සේවාව පිළිබඳව මගීන් කලකිරීමට පත්වීමට ප්‍රබල ලෙස හේතු වූයේ ඉන්ධන ගැටලුවයි. 2015 ට පෙර බොහෝ දෙනකු කුලී රථය ලෙසින් තෝරාගනු ලැබුවේ ත්‍රීරෝද රථයයි. නමුත් මෑත කාලයේදී බොහෝ දෙනකු කුලී රථයක් ලෙසින් තෝරාගෙන තිබුණේ කුඩා කුලී කාර් රථයකි. ඉඩ පහසුකම මෙන්ම ගමන් පහසුව හේතුවෙන් සුළු මුදලක් හෝ වැඩියෙන් ගෙවා කුලී කාර් රථයකින් ගමන් බිමන් යාමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් පසුවූහ. 2015 සිට ත්‍රීරෝද රථ ආනයනය අඩපණ වූ අතර ඒ වෙනුවෙන් විශාල වශයෙන් කුඩා කාර් රථ මෙරටට ආනයනය කෙරිණි.
පවතින ඉන්ධන ගැටලු හේතුවෙන් පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සහ පෞද්ගලික පරිහරණය කරන ත්‍රීරෝද රථ වෙන් වෙන්ව හඳුනාගත නොහැකිවීම හේතුවෙන් මගීන් මෙන්ම ත්‍රීරෝද රථ රියැදුරෝ ද බරපතළ ගැටලුවකට මුහුණ පා සිටිති.
''ඉන්ධන ලබාදීමේදී බස් රථ සඳහා ඩීසල් ලබා දීමට වෙනම ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ රථවාහනවලට ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කළා. නමුත් මගී ප්‍රවාහනය ලබා දෙන ත්‍රීරෝද රථ සඳහා එවැනි සහනයක් හිමි වුණේ නැහැ. අලුතින් හඳුන්වා දෙනු ලබන ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ත්‍රීරෝද රථයකට හිමිවන රුපියල් දෙදහසකට ලීටර් පහක ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒකත් ලබා දෙන්නේ සතියකට දවස් දෙකයි. කැබ් ආයතනවල ලියාපදිංචි වී ඇති ත්‍රීවිල් දිනකට පැය දහයක් දොළහක් දෛනිකව කිලෝමීටර් දෙසීයකට අධික ප්‍රමාණයක් ධාවනය කරනවා. ඒ නිසා දෛනිකවම ඔවුන්ට ලීටර් දහයක් පමණ අවශ්‍ය වෙනවා.'' ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම වර්තමානයේදී ගෙන්වනු ලබන ඉන්ධනවල තත්ත්වය පෙර පැවැති ඉන්ධනවලට සාපේක්ෂව බාල වර්ගයේ ඉන්ධන බවට ඔවුහු චෝදනා කරති. ලීටර් විසිපහකින් ගමන් ගත් ගමනාන්තයට අද වන විට ගමන් කිරීමට ලීටර් විසිපහකට වැඩි ප්‍රමාණයක් වැය වේ. මේ වනවිට ප්‍රවාහන සේවාවක් ලෙසින් ද පවත්වාගෙන යන මෙම සේවාව නොසලකා හැරීමට ලක්ව ඇති බවට ඔවුහු චෝදනා කරති. ලක්ෂ විපිපහක පමණ ජීවිත සම්බන්ධයෙන් සාධාරණයක් සිදුව නොමැතිබව එම සංගමය පෙන්වා දෙයි.
අද පවතින දිගු ඉන්ධන පෝලිම්වල වැඩි වශයෙන් ඇත්තේ ත්‍රීරෝද රථයි. එලෙස ලබාගන්නා ඉන්ධනවලින් මගී ප්‍රවාහනය සිදු නොවන බවට මගීහු ත්‍රීරෝද රථ රියැදුරන්ට චෝදනා කරති. රුපියල් දෙදහස් පන්සීයකට ඉන්ධන ලබාගැනීමට තිබුණු අවස්ථාව මෙම ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමඟ රුපියල් දෙදහස දක්වා සීමා විය. එය ද සතියකට දින දෙකකි.
''පසුගිය කාලේ සබන්වල මිල ඉහළ යන ආරංචියත් එක්ක සල්ලි තියෙන උදවිය සබන් මිලදී ගත්තේ ට්‍රෙලි පුරවාගෙනයි. හාල් මිල ඉහළ යද්දිත් බොහෝ දෙනා හාල් ගෝනි ගෙවල්වල එක්රුස් කර ගත්තා. මුදල් හදල් තියෙන අය මේ බඩුවලින් ගෙවල් පුරවාගත්තා. හැබැයි ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් බහුතරයක් එදා දවසේ හයර් එකක් ගොස් එදා දවසට ඉන්ධන ලබාගන්න අයයි. බොහෝ ඉන්ධන පිරවුම්හල් ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබා දුන්නේ දවසකට ත්‍රීරෝද රථ දෙසිය හැත්තෑ පහකට වගේ ප්‍රමාණයකටයි. බහුතර ඉන්ධන පිරවුම්හල් එහෙම කළේ නැහැ. පැය ගණන් පෝලිම්වල හිටපු මේ ත්‍රීරෝද රථ රියැදුරන් බහුතරයකට රුපියල් දෙදහස නැති වෙලාවල් අනන්තවත් තිබුණා. සමහරු පෝලිම්වල පැය ගණන් ඉඳලා අතේ තිබුණු රුපියල් දාහෙන් තෙල් ලබාගත්තු අවස්ථා තිබුණා. මේ ත්‍රීරෝද රථ හිමියන්ට තෙල් රැස්කර ගන්න තරම් ආර්ථිකයක් තිබුණා නම් පාරේ යන අතරතුරේ වාහනය නවත්තලා තෙල් හිඟයක් නැති කාලයේදිත් ප්ලාස්ටික් බෝතලයක තියෙන තෙල් ටික ටැංකියට වත්කර ගන්නෙ නැහැ.'' යැයි ලලිත් සමරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
අද වනවිට දිගු ත්‍රීරෝද රථ පෝලිම් තිබුණත් එලෙස ලබාගත් ඉන්ධනවලට සරිලන පරිදි මගී ප්‍රවාහනය සිදු නොවන බවත්, ගමන් කරන ත්‍රීරෝද රථවල ගාස්තුව ඉතා අධික බවටත් මගීහු චෝදනා කරති. සංගමය පවසන්නේ මගීන් පවසන පරිදි ත්‍රීරෝද රථ රියැදුරන් ඉන්ධන හිඟයත්, පෝලිම් ක්‍රමයත් නිසාවෙන් කෝටිපතියන් නොවුණු අතර ඔවුන් කබලෙන් ලිපට වැටුණු බවය. දිගු පෝලිම්වල දවස් ගාණේ රුඳී සිටියද මෙම ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් බහුතරයකට ඉන්ධන ලැබෙන්නේ නැත. දවස් තුන හතර එකදිගට පෝලිම්වල රැඳී දුක් විඳිමින් සිටි පිරිස බහුතරයකි.
''දවස් ගාණක් ඉන්ධන පෝලිමේ ඉඳලා රුපියල් දෙදහස් පන්සීයකට තෙල් ටික ලබාගත්තු කෙනෙක් ඒ තෙල් ටික ටැංකියෙන් ඇදලා ආයෙත් ඒ පෝලිමට එක්වෙන්නෙ නැහැ. ඒක බොරු කතාවක්. මම දවසක් පැය හැට පහක් ඉඳලයි පෙට්‍රල් ලීටර් පහක් ගහගත්තෙ. මේ පැය හැට පහට කඩෙන් වේල් නවයක් කෑම ගත්තා. එයින් වේල් දෙකක් පිනට ලැබුණා. මට පැය හැට පහක් ඉඳලා කූපන් එකක් ලැබුණේ. ගෙදර ගිහින් දවස් තුනකට පස්සෙ මැසේජ් එකක් ආවා. ත්‍රීවිල් එකෙන් ගිහින් පැය හතරක් ආයෙත් කූපන් පෝලිමේ හිටියා. එහෙමයි දෙදහස් පන්සීයකට ඉන්ධන ටික ලබාගත්තෙ. එහෙම දුක් විඳලා වියදම් කරල ලබාගත්තු ඉන්ධනවලින් ඉන්ධනවලට යන වියදම ගැන හිතල මගී ප්‍රවාහන මුදල තීරණය කළොත් ඒක සාධාරණද? දවස් ගාණක් හිටිය කාලය, ඒ වෙනුවෙන් වැය වුණු අමතර මුදල මේ රියැදුරන් පියවා ගන්නේ කොහොමද? සමහරු දවස් හයක් පෝලිමේ එකදිගට ඉඳලා කෑමවලට වියදම් වුණු මුදලත් එක්ක ගණන් හදලා බලද්දි ලීටරයකට තුන්දහසට වැඩි මිලක් ගිහින් තියෙනවා. මේ දුක පෝලිමක හිටපු නැති කෙනෙක් දන්නෙ නැහැ. අද වෙද්දි බොහෝ ත්‍රීරෝද රථ තියෙන්නෙ ගෙවල්වලයි. ඒක ඇත්ත. සමහරු මේ පෝලිම්වල දුක් විඳින්න කැමති නැහැ. සමහරු රුපියල් දෙදාහකට තෙල් ගහගෙන තමන්ගේ නිවසේ එදිනෙදා ගමන් බිමන්වලට යනවා. මගී ප්‍රවාහනයට තරම් ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන්නෙ නැහැ.'' ධර්මසේකර මහතා සඳහන් කළේය.
දිශානි ජයමාලි කරුණාරත්න