2022 ජුලි 24 වන ඉරිදා

තෙල් අර්බුදය මැද මැණික් මුදලාලිලා යාල වනසති

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 21

පාලකයන් පලවා හැරීමට ජනතාව අරගල කරන අතර රටේ තැන් තැන්වලින් පරිසරය වනසා මුදල් කිරීමට තැත්දරන දේශපාලන හෙංචයියන් ගැනත් අසන්නට ලැබේ. සති තුනකට පෙර යාල වනයට යාබද කැබිලිත්ත වනයේ සිදුවන මහා පරිමාණ වන සංහාරයක් ගැන අපි ලිව්වෙමු. පසුගිය සතියේ ආරංචි වුණේ යාල වනයේ ඇතුළත සිදුවන පරිසර හානියකි. 

යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවැනි විශාලතම ජාතික උද්‍යානයයි.   උද්‍යානය කොළඹ සිට එනම් කිලෝමීටර් 300 පමණ දුරින් පිහිටා තිබෙන අතර ඌව සහ දකුණු පළාත් දෙකට අයත් වේ. මෙම උද්‍යානය ලංකාවේ සොබා රසිකයන් අතර ජනප්‍රියතම වන උයනයි. උද්‍යානය කලාප පහකට බෙදා ඇති අතර 1 සහ 2 වැනි කලාප  පමණක් සංචාරකයන්ට විවෘතය. අනෙක් කලාපවලට සාමන්‍ය ජනතාවට අනවසරයෙන් පැමිණීම තහනම්ය. මෙම වනෝද්‍යානය විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 979ක් වන අතර මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141ක භූමි පෙදෙසකි. අනෙක් කොටස් වන සතුන් සඳහාම වෙන්ව පවතී.

අනවසරයෙන් මහා පරිමාණ මැණික් ගැරීමක් වාර්තා වන්නේ කලාප අංක 4ට අයත් කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේය. එම කලාපය පැතිර තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේය. එම වන කලාපයේ විශාලත්වය හෙක්ටයාර් 26418කි.
කලාප අංක එක 1938දී ප්‍රකාශයට පත්කළ අතර විශාලත්වය හෙක්ටයාර් 14101කි. එය හම්බන්තොට දිසත්‍රික්කයට අයත්ය. කලාප අංක 2 ප්‍රකාශ කළේ 1954දී වන අතර විශාලත්වය හෙක්ටයාර් 9931කි. එයත් හම්බන්තොට දිසත්‍රික්කයට අයත්ය. කලාප අංක 3 විශාලත්වයෙන් හෙක්ටයාර් 40775ක් වන අතර මොණරාගල දිස්ත්‍රිකයට අයත් වේ. මොණරාගල දිස්ත්‍රික්කයේම පිහිටි කලාප අංක 5 විශාලත්වයෙන් හෙක්ටයාර් 6556කි. මෙම කොටස් 5ට අමතරව යාල දැඩි ස්වභාවික රක්ෂිතය හෙක්ටයාර 28905 කින් සමන්විත වේ.

කලින් කලට යාලට බැල්ම හෙලන බහිරවයන් ගැන පුවත් වාර්තා වේ. හරියටම අවුරැද්දකට පෙර අවසරයකින් තොරව බාහිර පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ ආකාශ චෛත්‍ය පිහිටි ස්ථානය වෙත ඇතුළු වීම ගැන විශාල කතාබහක් ඇතිවිය. වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර එම සිද්ධියේදී කියා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් නීති විරෝධීව එම ස්ථානයට ඇතුළු වී ඇති බවට චෝදනා එල්ල වූ බවයි. සිතුල්පව්ව විහාරස්ථානයේ සිට ආකාශ චෛත්‍යය හෙවත් %අලිගල^ වෙත පාරක් කැපීමේ උත්සාහයක් පවතින බවද පැවැසුණි. කෙසේ වුවත් එම උත්සාහය ක්‍රියාත්මක වුණේ නැත.

දැන් කොළඹ ඇතුළු මුළුරටම දේශපාලන අර්බුදයකින් කැකෑරෙන අතර මැණික් මුදලාලිලා ගේමට බැස තිබේ. ඔක්කම්පිටිය ආසන්න වනමැද කායිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් ගැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ එලෙසිනි. ඔක්කම්පිටියේ වනබද පෙදෙස්වල හා කුඹුරැවල පවා දශක කිහිපයකට එපිට පටන් මැණික් ගැරීම සිදුවිය. ඒ අතර මැණික් ගඟ අසල යාල වන සීමාවේ වනාන්තරවල වාඩි පිහිටුවා මැණික් ගරන ආකාරය ලියුම්කරැ කලකට පෙර හබැස්ස නටබුන් බුද්ධ ප්‍රතිමාව නැරඹීමට වනය හරහා පා ගමනින් ගිය අවස්ථාවකදී දැකගැනීමට ලැබුණි. දැන් යාල වනමැදට පවා මැණික් මුදලාලිලා පැමිණ තිබේ. එම මැණික් ගැරීමට ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මුදල් යොදා ඇති අතර සේවකයන් 300ක් පමණ එම කටයුතුවල නිරතව සිටිති. ඔවුන් වාඩිවල උයාගෙන කමින් නැවතී සිට මැණික් ගරති.     ජාතික වනෝද්‍යානයේ අක්කර සියයක් පමණ මේ නිසා විනාශ වී යමින් පවතී. සාමාන්‍ය ජනතාවට අනවසරයෙන් ඇතුළුවීමට පවා නොහැකි මෙහි බැකෝ යන්ත්‍ර හා යාන්ත්‍රික මැණික් ඉල්ලම් සේදුම් යන්ත්‍ර භාවිත කර ගජරාමෙට මෙම ජාවාරම ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ වනජීවී නිලධාරීන්ද දැනුවත්ව බව කිවයුතු නොවේ. 

මේ ගැන වැඩි තොරතුරැ දැන ගැනීමට අප කතා කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාරමිකරටය.

&මැණික් ඉල්ලම් සෝදන්නේ කුඹුක්කන් ඔයෙන්. ඉල්ලම් සේදීමේදී එක්වන අධික රොන්මඩ හේතුවෙන් එහි ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමට හේතු වෙනවා. මෙම නීතී විරෝධී ක්‍රියා හින්දා  අලි - ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළම රුකවරණය අහිමි වී ගිහින්. එම සතුන් අවට ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් අලි - මිනිස් ගැටුම් අලුතින් නිර්මාණය වෙන්න පුළුවන්. මේක තනිකරම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මෙම පනතේ 2 වැනි වගන්තියට අනුව තමයි 1969 ඔක්තොබර් මස 9 වැනි දින අංක 14875 දරන ගැසට් නිවේදනයට යටතේ හෙක්ටයාර 26418 ක් වන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ප්‍රකාශයට පත්කර ඇත්තේ. මෙම පනතේ 5 වැනි වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම පවා නීති විරෝධී වෙනවා. ජාතික වනෝද්‍යානයක ඕනෑම නීති විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි.

ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටීම නිසා වාහනවලට ඩීසල් නොමැති වීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ. නමුත්  ජාවාරම්කරැවන්ට නම් ජෙනරේටර්, වතුර මෝටර් වැඩ, ගැරැම් යන්ත්‍ර වැඩ කරන්න තෙල් අඩුවක් නැතිව තිබෙනවා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ පිරවුම්හල්වලින් තෙල් ලබාගන්නා බවයි අහන්න ලැබෙන්නේ.

ඉතා විශාල වනසතුන් සංඛ්‍යාවට වාසස්ථාන සපයන මෙරට සුවිශේෂීම ජාතික වනෝද්‍යානයට අත්ව ඇති ඉරණම ඛේදවාචකයකි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට හැකියාව නොමැති වීම තවත් ඛේදවාචයකි. සංවිධානාත්මකව මැණික් මුදලාලිලා තම ධනය තවත් වැඩිකර ගැනීමට සිදුකරන මෙම ජාවාරම මැඩ පැවැත්වීම සඳහා වනජීවී මෙන්ම ආරක්ෂක අංශවල අංශවල මැදිහත්වීමත් අවශ්‍ය වේ.

 කුසුම්සිරි විජයවර්ධන‍
සේයා රූ: ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය