2022 ජුලි 24 වන ඉරිදා

දරුවන් රැකගන්න සෙවණැල්ලක්සේ ළඟින් ඉන්න

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 41

සොබාදහම නටුවක් මුදුනත පොහොට්ටුවක් උපද්දවන්නෙ ඒ පොහොට්ටුව හෙට දවසක මලක් ලෙස පිපෙන දකින ප්‍රාර්ථනාවෙන්... මුදුන් මුලේ සිට නටු අග දක්වා ඒ පොහොට්ටුව පූදින තෙක් ඒ පොහොට්ටුව වෙනුවෙන් සොබාදහමේ අසිරිමත් වෑයම අප්‍රමාණයි. 

එනයින්ම මව් කුසයට සපැමිණි වග දැනගත් පළමු තත්පරයේ සිටම තිඹිරිගෙයි හුස්ම වැටෙන පළමු තත්පරය දක්වාත් එතැන් සිට මේ ජීවන සුවිසැරිය තුළ සරණ අවසන් තත්පරය දක්වාත් අම්මා කෙනෙකුගෙ තාත්තා කෙනෙකුගෙ ප්‍රාර්ථනාවත් තම දරුවන් මලක් ලෙසින් විකසිත වනු දැකීමයි. 

කවර හෝ හේතූන් මත මලක් ලෙස පිපෙන්නට පෙරාතුවම බලෙන් පෙති ඇහැරවා පුබුදන මල් පොහොට්ටු සේම අකාලයේ මේ මිහිමත මිහිදන් කරන මල් පොහොට්ටු ද එමටයි. එදිනෙදා වාර්තා වන පුවත් මේ සඳහා සාක්ෂි දරයි. 
අවැසි හැම තැනකදීම ආදරය, දයාව, කරුණාව, රැකවරණය සහ ආරක්ෂාවත් නිවැරදි මඟපෙන්වීමත් අම්මා කෙනෙකුගෙන් සහ තාත්තා කෙනෙකුගෙන් ලබන්නට වරම් නොලබන ඇතැම් දරුවන්ගේ ජීවිත ඉරණම අවසන් වෙන්නේ ඉතා අවාසනාවන්ත  ඛේදවාචකවලිනි. 

ශුද්ධ වූ බයිබලයට අනුව සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රේමයයි.... ප්‍රේමය වෙනුවෙන් යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන තැන සැනසිලිදායකය. සුරක්ෂිතය. දරුවන් කෙරෙහි ඇති ආදරය වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ යුතුකම්, දරුවකු වෙනුවෙන් ප්‍රදානය කළ යුතු රුකවරණය, ආරක්ෂාව, අධීක්ෂණය කවරාකාර විය යුතුද? එහෙත් ඒ කිසිවක් නොදී ඇතැම් දරුවන් තනි කරන්නෙ ඇයි? අද අපි ඒ ගැන කතා කරමු.

එවැනි ඛේදවාචකයක් පිළිබඳව තවත් කතාවක් අසන්නට ලැබුණේ කණ්ඩලම අත්තබිඳුණු වැවේ දී කිඹුලෙකුට බිලිවීමෙන් ජීවිතය අහිමි වූ හත් හැවිරිදි පුංචි දරුවකු පිළිබඳ කතාවයි. දරුවාගේ පියා පවසන පරිදි දරුවා වැවට නාන්නට රුගෙන ගියේ දරුවාගේ ආශාව ඉටු කිරීමේ අරමුණින්. එය අනුමත කළ නොහැකි කතාවක්. දරුවෙක්ගේ ආශාව කෙබඳු වුවත් දෙමාපියන් විසින් දරුවන්ගේ ආශාවන් ඉටු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ඉටුකළ හැකි ආශාවන් ඉටුකළ යුතුයි. ඉටුකළ නොහැකි ආශාවන් ඉටු නොකළ යුතුයි. එම වැවේ කිඹුලෙක් සිටින බව මිනිසුන් දැන සිටින තත්ත්වයක නාන්නට දරුවෙක් වැවට බස්සන්නට පෙර පියා සැලකිලිමත් වූවානම් එම වටිනා ජීවිතය, එම වටිනා අනාගතය බේරාගත හැකිව තිබුණි. 

අද කොයිතරම් හඬා වැලපුණත් ඒ අම්මගෙන් සහ තාත්තාගෙන් සහ එවන් දෙමාපියන්ගෙන් අහන්න පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වැවේ කිඹුලන් සිටින වග දැන දැනම හැන්ඳෑ වෙලාවක හරිහැටි දැනුමක් තේරුමක් නැති පුංචි දරුවෙක්ව ඇයි ඒ වැවට එක්ක ගියේ කියලා... එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ කියන එක උත්තරයක් නෙමෙයි... ඒ නොහිතුව තැනම තමයි ගැටලුව තියෙන්නෙත්... ඇස් මානයේ තියාගෙන පුංචි පැටවුන් රකින්න කියලා ලෝකෙට කියන්නෙත් ගමේ අම්මලා.... ඒත් ඒ කියපු විදියට ඇස් මානෙන් ඈතට නොගිය රුකවරණයක් ආරක්ෂාවක් ඒ පුංචි දරුවාට ලැබුණා නම් මේ මොහොතේත් ඒ දරුවා හුස්මක් වැටෙන මිනිස්සු අතරෙ නේද? 

මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි.... කියලා නළල බිම ඔබා අම්මට තාත්තට වඳින දරුවෙක් අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් ඉල්ලන්නෙ මොනවද? මේ ලෝකයේ හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම දරුවන්ගෙ හදවත් එවන් මානුෂික තලයක සිටි කියවිය හැකිනම් දරුවන්ගේ ජීවිත පිළිබඳව මෙවැනි අසුබවාදී කතන්දර අපට අහන්න ලැබෙන එකක් නෑ. 

ශාසනාවතරණයෙ මෙහෙම ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන්නෙ සිල් රුකිය යුතු ආකාරය පිළිබඳවයි. එහෙත් අද මා කතා කරන මේ මාතෘකාවට අදාළව වටිනා කරුණක් එම ගාථාව තුළ ගැබ්වෙලා තියෙනවා. එය ඉස්මතු කරන්නටයි එම ගාථාව උපුටා දැක්වූයේ. 

“කිකීව අණ්ඩං චමරීව වාලධිං - පියං ව පුත්තං නයනං ව ඒකකං.
තථෙව සීලං අනුරක්ඛමානා - සුපේසලා හෝථ සදා සගාරවා”

ඉහත ගාථාවෙන් දක්වා ඇති ආකාරයට පුද්ගලයෙක්  සෑම කල්හි ශීලය රක්නට උත්සාහ කළ යුතුය.

“ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රක්නා කිරල් දෙන මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රක්නා සෙමෙර මුවා මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් පුත්‍ර‍යා රක්නා එක් දරුවකු ඇති මව මෙන් ද, එකැසක් ඇති තැනැත්තකු ඇස රක්නාක් මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා වූ බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇත්තා වූ ප්‍රියශීලීහු වවු” යනු ගාථාවේ තේරුමයි.

මේ ගාථාවෙ තියෙනවා පාඨයක්. “පියං ව පුත්තං නයනං ව ඒකකං” යනුවෙන්. ජීවිත පරිත්‍යාගයෙන් පුත්‍ර‍යා රක්නාඑක් දරුවකු ඇති මව මෙන්  දෙමාපියන් කටයුතු කරන්නේ නම් අකාලයේ මිලින වන ළමා ජීවිත සුරක්ෂිත කරන්නට පුළුවන්. ළමයින් රකින්නට අවශ්‍යයි ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකින කිරල් දෙන මෙන්. ළමයින් දකින්නට අවශ්‍යයි ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රක්නා සෙමෙර මුවා මෙන්. ළමයින් දකින්නට අවශ්‍යයි එකැසක් ඇති තැනැත්තෙකු තම එක ඇස රකින්නාක් මෙන්. දෙමාපියන් එහෙම කටයුතු කරනවනම් කඳුළු පිරි දෙනෙතින්, ශෝකී බරව පසුතැවෙමින්, සුසුම් හෙළමින්, නොකා නොබී කල් ගත කරන්නට අවශ්‍ය වෙන්නෙ නැහැ. විපතක් සිදු වන්නට පෙර එය වළක්වා ගන්නට වගකීමෙන් යුක්තව කටයුතු කරන්නේ නම් අකාලයේ මිලින වන ජීවිත සුරකින්නට පුළුවන්. 

සමාජයේ නිතර අසන්නට දකින්නට ලැබෙන පුවත් තියෙනවා දරුවන් දූෂණය කිරීම් සම්බන්ධයෙන්. දූෂණය කොට මරා දැමීම් සම්බන්ධයෙන්, පැහැරගෙන යාම්, පහරදීම් සම්බන්ධයෙන්. මේ ලෝකයට දරුවෙක් දායාද කළ මවෙකු පියෙකු දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. දරුවන් ආරක්ෂා කළ යුතුයි. දරුවන් පිළිබඳ අධීක්ෂණය කළ යුතුයි. දරුවන් පිළිබඳ අවධානය සියල්ලටම වඩා වැදගත් බව සිහි තබා ගත යුතු කරුණක්. දරුවෙක් ක්‍රමානුකූලව නව යොවුන් වියට එළඹීමේදී පවා දෙමාපියන් දරුවන් පිළිබඳ මැනවින් සැලකිලිමත් විය යුතුයි. 

මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නෙ දරුවන් පිළිබඳ අධීක්ෂණයයි. දරුවන් පිළිබඳ අධීක්ෂණය වැදගත් වන්නේ ඇයි.? මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් අපි පැළයක් සිටුවා එම පැළයට තිබෙන ආදරයට එම පැළය බාල්දියක් වැනි යමකින් වසා තැබුවහොත් මොකද වෙන්නෙ? එම පැළය කහ පාට වෙලා වියැලිලා මැරී යනවා. මෙම උදාහරණය දරුවන්ටත් ආදේශ කරන්නට පුළුවන්. දරුවෙකුට ඇති ආදරය වැඩිකමට අධික ලෙස ආරක්ෂා කරන්ට ගියත් එය දරුවාගේ පෞරුෂයෙහි විකෘතිතාවලට බලපාන්නට පුළුවන්. එය දරුවාගේ විනාශයට බලපාන්නට පුළුවන්. ඒ නිසා මවක පියෙකු දරුවන් පිළිබඳ අධීක්ෂණය කිරීම වැදගත් වෙනවා. 

දරුවන්ට ඇති ආදරය නිසා දරුවන් අධික ලෙස ආරක්ෂා කරන්ට ගියත් එය දරුවාට මානසික වදයක් වෙනවා. මානසික පීඩනයක් වෙනවා. දරුවා යන්නෙ කොහේද? කරන්නෙ මොනවාද? ඇසුරු කරන යහළුවන් කවුද? ඒ යහළුවන්ගෙ දෙමාපියන් මොන වගේ අයද? යනාදී කාරණා පිළිබඳව දෙමාපියන්ගේ අධීක්ෂණය වැදගත්. එහි ප්‍රතිඵලය තමා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත වීම. දරුවන්ගේ අනාගතය සාර්ථක වීම. 

මෙහිදී යම් මවක පියෙකු විසින් ප්‍රශ්න කරන්නට පුළුවන් තමාගේ කාර්යබහුල ජීවිතය තුළ ළමයින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන්නෙ කොහොමද කියලා. යම් මවක් පියෙක් එවැනි ප්‍රශ්නයක් නැගීමෙන්ම පැහැදිලි වන්නේ එම මව පියා තම දරුවන් පිළිබඳව දක්වන නොසැලකිල්ලයි. තමා අතිශය කාර්යබහුල නම් තම දරුවා අධීක්ෂණය තාවකාලිකව තමාට විශ්වාසී වෙනත් අයෙකු වෙත පවරන්නට පුළුවන්. තමා දුර සිටියත් දරුවන් පිළිබඳ සොයා බැලිය හැකි තාක්ෂණික වශයෙන් දියුණු සමාජයක අප ජීවත් වන්නෙ. එසේ කටයුතු කරනවනම් දරුවන්ගේ වටිනා ජීවිත සුරක්ෂිත කරන්ට පුළුවන්.