2022 ජුලි 24 වන ඉරිදා

මව්කිරිවලට ණය ගෙව්වේ මෝල්ගස් පහරින්!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 207

අසන්නට ලැබෙන හා වාර්තා වන අපරාධ අතර බහුතරයක් මිනීමැරුම්ය. එවැනි සිදුවීම් ඉහළ යමින් ඇති බව දකින්නට ලැබේ. එවැනි ඝාතනවලට සිය පවුලේ මව, පියා, බිරිය, සැමියා හෝ දරුවන් ගොදුරුවීම බරපතළ ගැටලුවකි. මෙවැනි ඝාතනයකට තම පවුලේ සාමාජිකයකු ගොදුරුව ඇති බොහෝ අවස්ථාවලදී ඝාතකයා අසාමාන්‍ය මානසික රෝගී තත්ත්වයක සිටි බවට වාර්තා වී තිබේ.

කිසියම් හේතුවක් අරභයා වෙනත් ඝාතකයක් සිදුකළ මොහොතක අදාළ වරදකරුවන් බොහෝවිට ශාරීරික හා මානසික වශයෙන් සාමාන්‍ය පුද්ගලයන් බව දකින්නට ලැබේ. ආනන්තරීය පාප කර්මයකට මග පාදමින් සිය මව ඝාතනය කල දියණියක පිළිබඳ වාර්තා වූයේ කොළඹ බොරුල්ල ප්‍රදේශයෙනි. අන්‍ය ආගමික පවුලක් තුළ වූ ඛේදවාචකයෙන් පසුව සැකකාර දියණිය මානසික රෝගී තත්ත්වයක පසුවන්නියක බවට වාර්තා වී තිබේ.

පැවසෙන ආකාරයට මියගිය අය මොහොමඩ් ජැස්මින් නැමැති කාන්තාවකි. 65 හැවිරිදි වියේ පසුවූ ඇය නාගරික දිවිපෙවෙතකට හුරු වී සිටියාය. බොරුල්ල වනාතමුල්ල ප්‍රදේශයට නුදුරුව ඇති සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ &A* ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි නිවසක ඇය පදිංචිව සිටියාය. දැරියන් දෙදෙනකු ඇතුළු දරුවන් පිරිසකගේ මවක වූ ඇය සමග වැඩිමහල් දියණියගේ දරුවා කල් ගෙවූවාය. එම දරුවා වයස අවුරුදු 5ක දැරියකි. ඇතැම් දිනක ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල දියණියගේ 19 හැවිරිදි පුත්‍රයා මිත්තණියගේ නිවසේ කාලය ගෙවා තිබුණි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ වැඩිමහල් දියණිය 38 හැවිරිදිය. ඇය නිරතුරුවම මව සමඟ නිවසේ නොසිටියාය. වසර හය හතකට පෙර විවාහ වූ ඇයට දාව අවුරුදු පහක දියණියක් සිටියද ඇගේ පියා මව හැරගොස් තිබුණේ කාලයකට පෙර සිට බව කියැවේ. එම නිසා ඇය යම් මානසික පීඩනයකින් පසුවී ඇතැයි කියන අතර නිරතුරුවම මිනිපිරිය හදා වඩාගෙන තිබුණේ මිත්තණිය විසින් බව කියැවේ. කුඩා දැරියගේ මව දවස පුරා නිවසේ නොසිටින අතර බොහෝ අවස්ථාවල ඇගේ නැගණියගේ පුත්‍රයා මිත්තණියගේ නිවසට පැමිණවීමට පුරුදුව සිට ඇත. සැමියාගේ රුකවරණයක් හෝ සහායක් නැති මේ කාන්තාව සිය දියණිය පිළිබඳව කොතෙකුත් සොයාබැලුවද ඇය නිරතුරුවම යම් සැකයකින් පසුවී ඇත. ඒ අනුව දැරියගේ මිත්තණිය හා ඥාති සොහොයුරා එක්ව සිය දියණියට ලිංගික අතවර හා අපයෝජනයට ලක්කරන බවට නිරන්තරයෙන් සිතා ඇත. එවැනි සිදුවීමක් නොවුණත් ඇය බරපතළ ලෙසින් එම කාරණාව පිළිබඳව සිතමින් සිට ඇතැයි කියති.

කෙසේ වෙතත් වාර්තා වන අයුරින් මෙම සැකකාර කාන්තාව දින කිහිපයක් නිවසේ සිට නැත. ඇය මව හා දියණිය වෙසෙන සිංහපුර මහල් නිවසට පැමිණ තිබුණේ ඉකුත් 17 වැනිදාට ආසන්න දිනයකදීය. එම කාන්තාව වෙසෙන බොහෝ අවස්ථාවලදී මව හා ගැටුම් ඇතිකර ගන්නා බවද පැවසේ.

මේ අයුරින් ඉකුත් 17 වැනිදා අළුයම මොහොතකි. දොරගුළු දමා තිබූ නිවසේ ඇතුළත මහා කලබැගෑනියකි. දෝෂාරෝපණය බැණ වැදීම කෑගැසීම එකම කාලගෝට්ටියකි. එක් අවස්ථාවක තත්ත්වය උත්සන්න වීම නිසා අසල්වැසි නිවසේ හිමිකරු බලහත්කාරයෙන් අදාළ නිවසේ වසා තිබූ දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇත. ඒ අවස්ථාවේදී සැකකාර කාන්තාව තම මවගේ හිස බදාගෙන ඇගේ සිරුරට තද කරගෙන සිටින බව දුටු බවත් මොහොතකින් ඇය සිහිසුන්ව බිම ඇදවැටුණු බවද දැක ඇත. ඒ අතර අඩි තුනක් පමණ දිග මෝල් ගසක් එම ස්ථානයේ බිම වැටී තිබෙනු දැක ඇත. අසල්වැසියන්ගේ සහාය ලබාගෙන ඇයව රෝහල්ගත කිරීමට පිරිස පියවර ගෙන තිබුණි. ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. අනතුරුව ඝාතනය පිළිබඳ විමර්ශනය සඳහා (Soco) අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ විමර්ශන සිදුකර තිබුණි. අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබිණ.

සැකකාර කාන්තාව සිය මවට අඩි තුනක තරම් දිග මෝල් ගසකින් හිසට පහරදුන් බවද කියා ඇත. එසේ සිදුකළ කාන්තාව යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි බවත් ඊට ප්‍රතිකාර ලබමින් සිට දින කිහිපයකට පෙර නිවසට පැමිණ තිබෙන බව කියැවේ. කෙසේ වෙතත් සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඝාතනය මෝල්ගසකින් සිදුකළ පහරදීමකින් නොව හුස්ම සිරකිරීම හේතුවෙන් සිදුව තිබෙන බවය. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඇයගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර ඇත.

බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න, උප පොලිස් පරීක්ෂක ලක්මාල්, පොලිස් සැරයන් 14704 හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන 49091 නිරෝෂන්, 72025 කුමාර 76670 බුද්ධික සමග කාන්තා පොලිස් කොස්තාපල් 12134 ලක්මාලි හා 12017 ප්‍රාර්ථනා යන අය විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05