2022 ජුලි 24 වන ඉරිදා

වැඩ කරමින් සිනාසෙන්න නැත්තම් දඩ!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 188

වැඩ කරමින් සිනාසෙන්න යැයි කියමනක් තිබේ. එයින් කියන්නේ හිතේ ගතේ සියලු දෝෂ සමනයට සහ ජීවන වටපිටාව වෙනස් කිරීමේ යහගූණයක් සිනහව සතුය කියාය. කලකට පෙර අපේ රටේ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු සහ ලේඛකයකු වූ ගුණදාස ලියනගේ මහතා “වැඩ කරමින් සිනාසෙන්න” යනුවෙන් &රීඩර්ස් ඩයිටස්ට්” සඟරාවේ පළවූ කරුණු ගණනාවක් ඇතුළත් විස්තර පත්‍රිකාවක් ද මුද්‍රණය කර බෙදා හැරියේය. එයින් නොනැවතී සිය සංස්කරණයෙන් පළ වූ ‘කල්පනා’ සඟරාවේද මේ වැදගත්  මනෝ විද්‍යාත්මක සාධකය යොදා ගත යුතු ආකාරය ගැන වූ ඒ විස්තරය පළ කළේය. දැන් පිලිපීනයේ නගරයක නගරාධිපතිවරයෙක් ද මේ කරුණම සිය නිලධාරීන්ට කියා තිබේ. හැබැයි ඒ මඳක් වෙනස් ආකාරයකටය. “සිනාසිසී වැඩ කරන්න - නැතිනම් දඩ කන්න” කියාය.‍

“සිනාවෙන් යුතුව වැඩ කරන්න” යැයි කියන මනෝ විද්‍යාත්මක ප්‍රකාශය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් ද කලකට පෙර කියා හොඳ ප්‍රසිද්ධියක් ලැබුවේය. ලෝක ප්‍රකට කෝටිපති ජැක්මා, අනෙක් හාම්පුතුන්ට කීවේ “ඔබේ සේවකයන්ට නිතරම සිනහවකින් යුතුව වැඩට එන්නට ඉඩ දෙන්න” කියාය. ලෝ පතළ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් කීයා ඇත්තේද "ඔබ සිනාසුණොත් සියලු දේවල් සාර්ථක වනු ඇත." යනුවෙනි. දැන් පිලිපීනයේ ක්‍යූසෝන් පළාතේ මුලානේ නගරයේ නගරාධිපතිවරයා සිය සේවකයන්ට කියා ඇත්තේද සිනහමුසුව වැඩ කරන්න කියාය. ඒ තැනින් නොනැවතී ඔහු "සිනහව ප්‍රතිපත්තියක්" ලෙස පනවමින් විධායක නියෝගයක් අත්සන් කිරීමට ද කටයුතු කර ඇත.

මෙම ප්‍රතිපත්තිය පරිපාලනයේ ප්‍රමුඛතම වැඩසටහනක් වනු ඇති අතර, “සන්සුන් බවක් සහ මිත්‍රශීලී වාතාවරණයක් පෙන්වීමෙන් සිය සේවයට අවංකභාවයක් එක්වනු ඇත” යනුවෙන් නියෝගයේ සඳහන් වේ. මහජනතාවට සේවය කරන අතරතුර “සියලු දෙපාර්තමේන්තු, කාර්යාල, ඒකක සහ අංශ” අතර සිනහ ප්‍රතිපත්තියට “දැඩි අනුකූලතාවක්” තිබිය යුතු බවත්, ඒ සම්බන්ධව කාර්ය මණ්ඩලය අධීක්ෂණය කරන්නේ කෙසේද යන්න ඇතුළුව වැඩිදුර මානව සම්පත් තොරතුරු පසුව සපයන බවත් එහි සඳහන් වේ. ඊට අනුකූල වීමට අපොහොසත් වන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද එයින් දැඩිව අවධාරණය  කරයි.

මූලානේ මහ නගර සභාවේ නගරාධිපති ඇරිස්ටෝටල් "ඒරිස්" ජූලි 5 දිනැති සිය  නියෝගයේ සඳහන් කර ඇත්තේ "ජනතාවට සේවය කරන අතරම සිනහවීමෙන් සිය  අවංකකම ප්‍රදර්ශනය කිරීමේ" ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුමය, කියාය.

පළාත් පාලන ආයතනවල සාමාජිකයන් හට වඩාත් ප්‍රිතිමත්ව සිටින්න යැයි    අවධාරණය කරන එකම නිලධාරියා ඇරිස්ටෝටල් ඒරිස් පමණක්ම නොවේ. මැනිලා නගරයට දකුණින් පිහිටි සීලෑන්ග් Silang හි නගරාධිපතිවරයා ලෙස මෑතකදී තේරී පත් වූ Kevin Anarna ද නව සේවා විලාසයක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් සේවකයන්ට සිනාමුසුව වැඩ කරන ලෙස උපදෙස් දී ඇත.

පිලිපීන පරිපාලකයන්ගේ මේ අලුත් නීති සම්පාදන මගින් පැනවූ සිනහ නියෝගය මිනිසුන් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා හොඳම සහ පහසුම ස්වභාවික මාර්ගය බව විද්‍යාත්මකව ද ඔප්පු වී තිබෙන කාරණාවකි.

මනෝ විද්‍යාත්මක සහ සෞඛ්‍ය ප්‍රතිලාභවල සිට එය අන් අයට හැඟී යා හැකි ආකාරය දක්වා සිහව පිළිබඳ අපූරු කරුණු කිහිපයක් ද මේ නීති එළිදැක්වීමට සමගාමීව විශ්ව විද්‍යාල අධ්‍යයනයකින් එළි දක්වා තිබුණි.

සිනහවෙන් පුද්ගල මනෝභාවය වැඩි දියුණු කරන හෝමෝන ස්‍රාවය වැඩි කරන අතර, කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් ඇතුළු ආතතිය වැඩි කරන හෝමෝන ස්‍රාවය අඩු කරයි. එය සමස්ත රුධිර පීඩනය ද අඩු කරයි.

ඔබ සතුටින් සිටින විට ඔබ සාමාන්‍යයෙන් සිනාසෙන නිසා, එවිට භාවිත කරන මාංශපේශී ඔබේ මොළය වේදනාව සහ ආතතිය සමනය කරන රසායනිකය වන   එන්ඩොර්ෆින් වැඩියෙන් නිපදවීමට යොමු කරයි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ හාවඩ් හෙල්ත් ප්‍රකාශනයට අනුව, සිනහව හා සම්බන්ධ වන  මානසික ශුභවාදය - පිළිකා සහ ආසාදනයන් හේතුවෙන් ඉක්මනින් මිය යාමේ අවදානම අඩු කරයි. ජාතික විද්‍යා ඇකඩමියේ සම-සමාලෝචනය කරන ලද Proceedings සඟරාවේ අධ්‍යයනයකට අනුව, ඉහළ මට්ටමේ ශුභවාදී අත්දැකීම් ඇති පුද්ගලයන්ට දිගු ආයු කාලයක් ඇත. මෙම පර්ෙය්ෂණයට පුද්ගලයන් 71,400ක් වූ විශාල ජනගහණ අධ්‍යයන කාණ්ඩ දෙකක දත්ත ඇතුළත් වූ අතර ශුභවාදී පිරිමින් සහ කාන්තාවන් යන දෙපිරිසම  සුවිශේෂී දිගුකාලීන පැවැත්මක් පෙන්නුම් කරන බව සොයාගෙන ඇත.

විශ්වාස කළත් නැතත්, අපි ඇත්තටම සිනහවෙන්ම ඉපදී සිටිමු. ත්‍රිමාණ අල්ට්‍රා සවුන්ඩ් තාක්‍ෂණයේ දියුණුවත් සමඟම, වර්ධනය වන ළදරුවන් සිය ගර්භාෂය තුළ සිටම  සිනාසෙන බව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය වෘත්තිකයන්ට හැකි වී තිබේ. දරුවකු ඉපදුණු පසු, ඔවුන් දිගටම සිනාසෙයි. සිනහව මූලික හා ජීව විද්‍යාත්මක ඒකාකාර මානව ප්‍රකාශනයක් වන බැවින් සංස්කෘතිය සහ පරිසරය නොසලකා ලොව සියලුම ළදරුවන් සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ. ඉතින් වැඩිහිටියන් වූ පසු එය අමතකව යෑම අරුමයකි.

පිලිපීන නිලධාරීන් දැන් බලහත්කාරයෙන් මතක් කර දී ඇත්තේ අපේ උපතේ සිට රුගෙන ආ මේ ආකර්ශනීය සෞඛ්‍ය සම්පන්න පුරුද්දයි.

 සුගත් පී කුලතුංග ආරච්චි