රටේ අද පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දේශය පුවත්පත සමඟ සාකච්ඡාවක නිරත වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ සූරීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් නම ලක්ෂයකට අධික ප්‍රමාණයක සාමාජිකයන් තිස්හය ලක්ෂයක තරම් පිරිසක් අද වනවිට ඔවුන්ගේ ආහාර ගැනීම දිනකට එක වේලකට හෝ උපරිම වශයෙන් දෙවේලකට පමණක් සීමා කර තිබෙන බවය. එසේම ආර්ථික අර්බුදය දැඩිව බලපෑම හේතුවෙන් දස ලක්ෂයක පමණ පවුල් අන්ත දුගී භාවයට ඇද වැටී ඇති අතර, ඒවායේ තිස් ලක්ෂයක් හා හතළිස් ලක්ෂයක් අතර සාමාජිකයන් කුසගින්නට මොනවා හෝ ගිල දමා දවස ගත කිරීමට පුරුදුව සිටින බව කියයි.
මේ වන විට සමාජයේ 70% කට පමණ තම ආදායම ඉපැයීම දුෂ්කරව ඇති අතර, ත්‍රිරෝද රථවලින් ජීවත් වන ලක්ෂ දහයකට පමණද පාසල් වෑන් ප්‍රවාහන රුකියාවෙන් ජීවත් වන 30,000කට අධික සංඛ්‍යාවකටද දිනපතා බස් ධාවනයෙන් ජීවත් වන 20,000 ක පමණ පිරිසකටද ලොරි වෑන් ආදී ස්වයංරුකියාවල නියුතු විශාල පිරිසකගේ ද ජීවන මාර්ගවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හෙතෙම පවසයි.
තමා ඇතුළු ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනවල ආර්ථික විද්‍යාඥයන් පිරිසක් මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල මුළු රටම ආවරණය වන පරිදි කළ නියැදි සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බව පවසන මහාචාර්යවරයා අද වනවිට තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇති බව කියයි. රජය සහ බලධාරීන් මෙම විපතෙන් ගැලවීමට ඉක්මන් ක්‍රියාමාර්ගවලට එළඹීම අත්‍යවශ්‍ය වන අතර, තව ප්‍රමාද වුවහොත් දුර්විපාක රුසකට මුහුණ පාන්නට සිදුවන බවට අනතුරු අඟවයි.
නිදහසින් පසු ශ්‍රී ලංකාවාසීහු ඉතිහාසය තුළ මුහුණ දුන් දැවැන්තම ආර්ථික අර්බුදයට අද මුහුණ දෙමින් සිටිති. ජනතා නැගිටීම් දෙකක් සහ බිහිසුණු යුද්ධයක අත්දැකීම් 2009 වසර වනවිට නිමා කරමින් සමාජය තුළ ඉහළ බලාපොරොත්තු රුසක් නිර්මාණය වෙමින් පැවතුණි. ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව ස්ව උත්සාහයෙන් නැගී සිටින ජන සමාජයක් කරා ඉතා ඉක්මනින් අපට ළඟා විය හැකි බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටියහ. එහෙත් අවාසනාවකට මෙන් ඒ අපේක්ෂා සියල්ල විනාශ වන්නට ගත වූයේ යුද්ධය නිමා කර වසර දහයක් වැනි කෙටි කාලයකි. මෙවැනි පරිසරයක් තුළ අද පවතින ආර්ථිකයේ ස්වරෑපය තේරුම් ගැනීමට එය ජන සමාජය කෙරේ මේ වනවිට කවර ආකාරයකින් බලපා ඇතිද යන්න සලකා බැලිය යුතුය. ආර්ථික අර්බුදයට කලින් නිර්මාණය වූ සමාජ සහ දේශපාලන අර්බුදය රටේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීමට හේතු වන්නේ කවරාකාරයකින් ද යන්න වටහා ගැනීම වැදගත් වේ.
2019 අගදී ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගතය ලෝක ආර්ථිකය සහ සමාජ ක්‍රමය කෙරෙහි ඇති කළේ අති විශාල බලපෑමකි. එය ආරම්භ වී පැතිරී යාමත් සමඟ වළක්වා ගැනීමට විවිධ රටවල් ගත් වෑයම් හමුවේ රෝගය යටපත් කිරීමට යම් පමණකට සමත් වූ අතර, අපේ රටට ද යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි විය. කොවිඩ් වසංගතයේ බලපෑම 2022 වනවිට ලොව තුළින් ක්‍රමයෙන් තුරන්ව යන අවදියක යුක්රේන් රුසියන් යුද ගැටුම ආරම්භ වන අතර, එය යළිත් ලෝක ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවීමට දැඩි බලපෑම් කරමින් සිටී. එමගින් ඇතිව තිබෙන බලශක්ති අර්බුදය භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන සහ සැපයුම් ජාලයේ බිඳවැටීම සහ ආර්ථික සම්පත් විශාල වශයෙන් යුද්ධය සඳහා වැයවීම යන හේතු නිසා ලෝක උද්ධමනය වේගයෙන් ඉහළ යමින් පවතී.
2022 වසර තුළ ලෝක ආර්ථික වර්ධන වේගය 2021 ට සාපේක්ෂව 4.1% කින් පමණ පහළ යනු ඇතැයි ලෝක බැංකුව මේ වන විටද පුරෝකථනය කර ඇත. 2023 දී යුක්රේන් රුසියන් යුද්ධය නිම වුවහොත් 2024 සිට ලෝක ආර්ථිකයට නව පණක් ලැබෙනු ඇතැයි ලෝක බැංකුව විශ්වාස කරයි. එහෙත් ලෝක ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට තවත් අවුරුදු 4 – 5 පමණ කාලයක් ගතවනු ඇත. පසුගිය වසර දෙකක කාලයක් තුළ ලෝක ජනගහණයෙන් අන්ත දරිද්‍ර මට්ටමේ ප්‍රතිශතය (දිනකට ඇමෙරිකානු ඩොලර් 1.9ට අඩු ආදායමක් උපයන පිරිස) 7.8% සිට 9.1% දක්වා මිලියන 100කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මෙවැනි පසුබිමක රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන අර්බුදකාරී තත්ත්වය තුළ එය අපේ සමාජය කෙරෙහි කවර බලපෑමක් ඇතිකර තිබේද යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය. ලංකා ආර්ථිකයේ දිගු කාලයක සිට පැවැති ව්‍යුහාත්මක ගැටලු නිසා අද පවතින අර්බුදයේ රෝග ලක්ෂණ මතුවීමට පටන් ගත්තේ 2013 – 2014 වසරවලදීය. 2020 ආරම්භ වනවිට ආර්ථික ව්‍යුහාත්මක ගැටලු රුසකට මැදිව ඉතාම දුර්වල මට්ටමකට පත්ව තිබිණ.
නිරෝගී අයකු සහ දුර්වල අයකු වැස්සකට තෙමුණු පසු ඇතිවිය හැකි ප්‍රතිවිපාක එකිනෙකට වෙනස් වේ. දුර්වල අය රෝගී වී මිය යාමට වුවද ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවූයේද මෙවැනි තත්ත්වයකි. 2020 කොවිඩ් වසංගතයට රට මුහුණදෙන විට අපේ ආර්ථිකය ඉතාම දුර්වල තත්ත්වයක පැවතිණ. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස 2021 පමණ වනවිට රටේ ආර්ථිකය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වේගයෙන් වර්ධනය වීමද, රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණ වීමද, දිගින් දිගටම රාජ්‍ය ආදායම පහළ යාම මත මුදල් නෝට්ටු මුද්‍රණය නිසා උද්ධමනය වේගයෙන් ඉහළ යාම ද සිදුවිය. රට අද වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ඍජුවම අපේ ප්‍රතිපත්ති අසාර්ථක වීම මත සිදුවීමකි.
මහ බැංකුව තුළ විදේශ විනිමය හිඟය, රුපියල ක්ෂය වීම, උද්ධමනය වැඩිවීම ආදී හේතු නිසා ආනයනය මත රදා පැවති අපේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් ඇති විය. මේ කරුණු මත විශාල පිරිසකට රුකියා අහිමි විය. රටේ ආර්ථිකයේ සියලු ව්‍යාපාරවලින් 75% ක් පමණ සමන්විත වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලිනි. එමගින් දළ දේශීය නිෂ්පාදනයට 52%ක පමණ දායකත්වය සපයන අතර, සේවා නියුක්තියට 45%ක පමණ දායකත්වය සපයයි. රටේ කෘෂි නොවන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලි සංඛ්‍යාව මිලියනයකට මදක් වැඩිය. දස ලක්ෂ දහනව දහස් හයසිය අසූ එකක් පමණි. මෙයින් මහා පරිමාණ ව්‍යාපාර ඇත්තේ 2500කට ආසන්න ප්‍රමාණයකි. ක්ෂුද්‍ර ව්‍යාපාරික ආයතන නව ලක්ෂ තිස්පන් දහසකට මදක් වැඩිය. කුඩා ව්‍යාපාර ආසන්න ලෙස 71,000ක්ද, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,500කට ආසන්නව ද පවතී ඒවා අතරින් ඉතා කුඩා ව්‍යාපාර 30%කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වැසී අවසන්ය. මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 20% ක් පමණ අද වනවිට වැසෙන තත්ත්වයට පත්ව ඇත. මේ හේතුවෙන් මේවායේ රුකියා කළ මිලියන 3කට අධික පිරිසෙන් ලක්ෂ 7කට අධික අයට ඍජුවම තම ආදායම් මාර්ග අහිමි වී තිබේ. මේ අයගෙන් යම් ප්‍රමාණයක් විකල්ප ආදායම් මාර්ගවලට යොමු වී එදා වේල පිරිමසා ගැනීමට උත්සාහ දරමින් සිටී. මෙලෙස ආදායම් අහිමිවීම ඔවුන්ගේ පවුල්වල අයගේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් පහළ වැටීමට හේතු වී ඇති අතර, අනාගතයේදී පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යාමේ ප්‍රතිශතය ඉහළ මට්ටමකට පැමිණීමත්, මන්දපෝෂණය වැඩිවීමටත් ඍජුවම බලපා ඇති බව කිව යුතුය.
2019 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012/ 2013 වර්ෂ පදනම් වර්ෂ ලෙස ගෙන රටේ දරිද්‍රතාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. ඒ අනුව ජනගහණයෙන් 14.3% ක් (මිලියන 3කට මදක් වැඩි) දරිද්‍රතාවෙන් පෙළෙන බව කියයි. මේ අයගෙන් 82%ක ප්‍රතිශතයක් ග්‍රාමීය අය වේ. 11%ක් සහ 7%ක් වතු හා නාගරික ජනගහණය ලෙස වාර්තා වේ. මේ පිරිසට අයත් වන්නේ මසක ඒකපුද්ගල ආදායම රු. 6996ට වඩා අඩු අයයි. ඒ අනුව ඉහළම දරිද්‍රතා මට්ටමක් වාර්තා වන්නේ ඌව පළාත 28.3%, උතුරු පළාත 23.8% සහ සබරගමුව 23.1% වශයෙනි. ඉහළම දරිද්‍රතාව සහිත දිස්ත්‍රික්ක ලෙස මුලතිව් (94.5%), බදුල්ල (32.3%), කිළිනොච්චි (26.4%) සහ නුවරඑළිය (26.3%) ගත හැකිය. 2019 වනවිට රටේ පහළම ආදායම ලබන 20% ප්‍රමාණය පවුල් මිලියන 1.18 කි. එම පවුලක මාසික සාමාන්‍ය ආදායම රු. 18,000 ආසන්නය. ඉහළම ආදායම් ලබන පවුල් මිලියන 1.18ක පවුලක සාමාන්‍ය ආදායම 1,96000කට වැඩිය. මධ්‍යම ආදායම් ලබන පවුල්වල ප්‍රතිශතය 60% වන අතර, ඒ තුළ අඩංගු පවුල් සංඛ්‍යාව මිලියන 3.65 කි. ඔවුනගේ මාසික ආදායම රුපියල් 56,000 පමණය. මේ අතරින් මිලියන 1.8ක පවුල් පහළ මධ්‍යම ආදායම ලබන අතර, සෙසු පවුල් මිලියන 1.8 ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් කළ හැකිය. මධ්‍යම ආදායම් ලබන පවුලක මාසික ආදායම රුපියල් 40,000 පමණ වන අතර ඉහළ මධ්‍යම පාන්තික පවුලක ආදායම රුපියල් 71,000 විය.
2019 වනවිට පවුලක මාසික සාමාන්‍ය වියදම රුපියල් 63,000 ක් විය. එහෙත් අද තත්ත්වය මෙයට වඩා බොහෝ වෙනස්ය. පසුගිය වසරක කාලය තුළ රටේ බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල 200%කට වඩා ඉහළ ගොස් ඇත. උදාහරණ ලෙස ගතහොත් පාන් 230%කින්, ඉන්ධන 212%කින්, ගෑස් 226%කින්, කිරිපිටි 220%කින් ද ඉහළ ගොස් ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව උද්ධමනය මේ කාලය තුළ 55%කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව මසකට රුපියල් 63,00 වැය කළ පවුලකට අද වනවිට එම භාණ්ඩ ප්‍රමාණය ලබාගැනීමට රුපියල් 98,000ක් වැය වේ. රුපියල් 17,000 පමණ වැය කළ අන්ත දරිද්‍ර පවුලකට රුපියල් 26,000ක් ද, රුපියල් 35,000 වැය කළ මධ්‍යම ආදායම් ලබන පවුලකට රුපියල් 57,000ක් ද අද වැය වෙයි.
මෙම තත්ත්වය මත ඉතා ඉහළ දරිද්‍රතාවෙන් පෙළෙමින් දිනක ආහාරවේල් තුනම පරිමසාගත් පවුල් මිලියන 1.18ක් අතරින් මිලියන 9කට පමණ අද වනවිට දිනකට වේල් එකකට හෝ උපරිම ලෙස දෙවේලකට හෝ සීමා කිරීමකට සිදුව තිබේ. ඒ පවුල්වල සාමාජික සංඛ්‍යාව ලක්ෂ 36ක් පමණය. පවුල් ඒකක මිලියන 3.6ක් වන ඉහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල්වලින් 55%ක ප්‍රතිශතයක් පමණ හෙවත් මිලියන දෙකකට අද පවතින ආර්ථික අර්බුදය දැඩිව බලපා තිබේ. 50%ක් හෙවත් මිලියන 1 පමණ පවුල් සංඛ්‍යාවක් අද අන්ත දුගී මට්ටමට ඇද වැටී ඇති අතර, දිනකට ආහාරවේල් තුනක් ගත් පවුල් දැන් එක වේලක් හෝ දෙවේලක් පමණක් ආහාර ගන්නා තත්ත්වයට පත්ව සිටියි. ඉතිරි අය මොනවා හෝ දෙයක් ගිල දමා වේල ගත කිරීමට පුරුදුව ඇති බව පෙනේ. යථා තත්ත්වය එය වේ.
අද පවතින ආර්ථික අර්බුදය මේ වනවිට සමාජයේ 70%ක පමණ ප්‍රතිශතයකට පාරිභෝජනය හා ආදායම ඉපයීම අහිමිවීම යන කවර ආකාරයකින් හෝ බලපා ඇත. රට තුළ ත්‍රිරෝද රථ මගින් ජීවනෝපාය කරන ලක්ෂ 10ක් පමණ පිරිසකට, පාසල් වෑන් රුකියාව කරන 30,000කට අධික කණ්ඩායමකට, දිනපතා බස් ධාවන රුකියා කරන 20,000කට පමණ, ලොරි වෑන් ආදී ස්වයංරුකියාවල නියුතු විශාල පිරිසකට තම ජීවන මාර්ග අහිමි කිරීමට සමත් වී ඇති බව කිව යුතුය.
මිලියන 2.1ක් වූ ගොවි පවුල්වලට මෙන්ම මිලියන එකකට ආසන්න වතු ආශ්‍රිත රුකියාලාභී පිරිසට ද තවත් මිලියනයකට වැඩි ධීවර ප්‍රජාවටද පවතින ආර්ථික අර්බුදය දැඩිව බලපා තිබේ. දිනෙන් දින ඇදෙන ජන අරගල, අස්ථාවර දේශපාලන ව්‍යුහය, සමාජ අස්ථාවරත්වය මෙම අර්බුදය තීව්‍ර කරන බව කිව යුතුය. බලශක්ති අර්බුදය වර්ධනය වන තරමට කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශවලට අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබෙන තරමට ආර්ථික කඩා වැටීම ඉහළ යයි. මෙහි අවසානය වන්නේ ජනතාවට දිනකට එක වේලක් හෝ ආහාර සපයා ගැනීමට නොහැකි තත්ත්වය පත්වීමය. මෙහි ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක ඉදිරියේදී අදට වඩා භයානක විය හැකිය. මෙම අයහපත් තත්ත්වය රජය වහාම තේරුම් ගැනීම අවශ්‍ය වේ. දේශපාලන නායකයන් සහ වෘත්තීය සමිති නායකයන් හා ජන අරගල තුළ ක්‍රියාත්මකව සිටින සෑම කෙනකුම මේ තත්ත්වය නිවැරදිව වටහාගෙන රටේ ආර්ථික, දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය වහා ඇති කිරීමට නොපමාව කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.
2019 කොවිඩ් වසංගතයෙන් පසු මා ඇතුළු ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනවල නියෝජිතයන් එක්ව 2022 වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී මාස 1 ½ තිස්සේ මුළු රටම ආවරණය වන පරිදි දිවයිනේ විවිධ පළාත්වලට ගොස් නියැදි වශයෙන් ජනතාව හමුවෙමින් සමීක්ෂණයක් කළ අතර, එහිදී ලැබුණු දත්ත අනුව මෙම නිගමනවලට එළඹි බව පවසමු. මෙම අයහපත් තත්ත්වයට වහා පිළියම් නොකළහොත් ඉදිරියේදී තත්ත්වය බැරූරුම් විය හැකි බව පැවසිය යුතුය.
සාකච්ඡා කළේ
යසවර්ධන රුද්රිගූ