
අරගලකරුවන්ගේ ග්‍රහණයට නතු කරගත් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය යන කොළඹ නගරයේ ඇති පැරණි මන්දිරවලට හා එහි දේපළවලට හානි සිදුව ඇතැයි වාර්තා වේ. ජනපති මැඳුර හා අරලියගහ මැඳුරේ පෞරාණික දේපළ රුසක් විනාශයට පත්ව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා තහවුරු කළේ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවය. එම පරිශ්‍රයන්හි තිබූ ඇතැම් වටිනා දේපළ සොරාගෙන තිබෙන බව අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සැබෑ අරගලකරුවන්ගේ අරගලයට මුවාවී මෙකී දේපළ හානි හා සොරකම් සිදු කළ පිරිස්වල සාමාජිකයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. එමෙන්ම විනාශ වූ දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට ද පියවර ගන්නා බව වාර්තා වෙයි.
මෙම මන්දිර අරගලකරුවන් විසින් අත්පත් කර ගන්නා අතරතුර රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වීමත් එම පැරණි නිවෙසට ගිනි තැබීමත් කැපීපෙනෙන සිදුවීමක් විය. ඉහත කී මන්දිරවලට අලාභ හානි සිදු කිරීම හා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් රුසක් හඳුනා ගැනීමට සමත්ව සිටින බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. වැඩිදුරටත් වාර්තා වන්නේ එවැනි බහුතරය විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් බවය.
ජනපති මන්දිරය, අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවලට සිදුව ඇති හානිය පිළිබඳව විමර්ශනය කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර හා බස්නාහිර පළාත් අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහත්වරුන්ට පසුගියදා උපදෙස් ලබා දී තිබුණි. ඒ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය. ඒ මහතා වැඩිදුරටත් නිලධාරීන්ට පවසා ඇත්තේ එම මන්දිරවල තිබූ වටිනා කියන දේපළ රුසක් සොරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවකි. එබැවින් කඩිනමින් විමර්ශන සිදු කළ යුතු බව අවධාරණය කොට ඇති අතර ඊට ඇවැසි සාක්ෂි විනාශ වීමට පෙර ඒවා රුස්කර ගත යුතු බැවින් ආරක්ෂිත කැමරා දර්ශන රුස්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විමර්ශනයක් සිදු කළ අතර පොලිස් විමර්ශන සඳහා අවශ්‍ය ඇඟිලි සලකුණු රුස්කර ගනු ලැබිණ. මීට අමතරව නිවැරදිව විමර්ශනය සිදු කිරීම සඳහා එම මැදුරුවල පැවති බඩු බාහිරාදිය පිළිබඳ පැහැදිලි දත්ත වාර්තාවක් ලබාගත යුතුව ඇත. ඒවායෙන් අස්ථානගත වී හෝ සොරාගෙන ඇති බවට තහවුරු වන භාණ්ඩ හෝ කැඩී බිඳී ඇති භාණ්ඩ වශයෙන් වෙන් වෙන් වූ ලැයිස්තුවක් පිළියෙළ කිරීම මූලික අවශ්‍යතාවක් වන බවත් එය විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට පහසු මාර්ගයක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව අලාභ තක්සේරු වාර්තාවක් සකස් කර ගැනීමට හැකිවන අතරම දේපළ පිළිබඳ නිවැරදි විගණනයක් සිදු කිරීමට පහසු වන බවද කීය.
ජනපති මැදුර හා අරලියගහ මැදුරට හානි කළ සැකකරුවන් 70ක් පමණ හඳුනාගෙන තිබෙන බවට වාර්තා වේ. ඔවුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් බවට තහවුරු වී ඇත. තරුණ අරගලකරුවන් අතර සිට අරගලයට කළු පැල්ලම් එක්කළ සිදුවීම් රුසක් සිදු කළ මොවුන් අතර සමාජ මාධ්‍ය හරහා සජීවී ලෙස දර්ශන පෙන්වමින් ජනතාව උසිගැන්වූ අය ද වෙති.
රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07 පස්වැනි පටුමග පිහිටි පෞද්ගලික නිවෙසට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පුතකු රටින් පලා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
නිවෙසට ගිනි තැබූ දින පසදින රාත්‍රියේ සැකකාර ඇමැති පුත්‍රයා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙන බවට රහස් පොලීසිය තහවුරු කරගෙන ඇත. මෙම සැකකරුගේ පියා රාජපක්ෂ ආණ්ඩුව සමයේ නියෝජ්‍ය ඇමැති ධුරයක් දරා පසුව සමගි ජන බලවේගය සමඟ එක්ව සිටී. දැන් බස්නාහිර පළාතේ පෙදෙසක ආසන්න සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරයි. සැකකරු පුත්‍රයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර ඒ තුළින් ජනතාව උසිගන්වා ඇත. එම වීඩියෝව පටිගත කළ බව කියන සැකකාර කාන්තාවක පිළිබඳව ද විමර්ශන සිදු කෙරේ. අදාළ සිදුවීම්වලට අයත් ඡායාරෑප හා වීඩියෝ දර්ශන රුසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
මේ අයුරින් විමර්ශන සිදුකෙරෙන අතර දැනට හඳුනාගෙන සිටින සැකකරුවන් රටින් පලා යාමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නල් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහු තවමත් සැඟවී අතුරුදන් තත්ත්වයේ සිටින බව පොලීසිය කියයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර