අරගලය මේ මොහොතේ යම් තීරණාත්මක අවදියකට පැමිණ ඇත. ඒ තවදුරටත් අරගලය කරනවාද? අත්හරිනවාද? යන්නය. එයට හේතුව අරගලයේ මූලික අරමුණ ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරය අතහැර ගියද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය අත්නොහැර පාර්ලිමේන්තු ඡන්දයෙන් එකවර මෙරට 8 වැනි ජනාධිපතිවරයා වීමය. ඒ නිසා තවදුරටත් අරගලය කරනවාද නැද්ද යන්න ගැටලුවකි.
මේ කතාව ඉදිරියට යන්නේ ලියුම්කරුගේ අදහසක් ලෙසය.
මෙකී අරගලය ගත් කල කොටස් දෙකකට බෙදිය හැක. එකක් මහජන අරගලයයි. දෙවැන්න අරගල භූමියයි. අප්‍රේල් 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීම සඳහා ජනතාව ගෝල්ෆේස් වෙත ආවේ මහජන අරගලයේ කූඨප්‍රාප්තිය සඳහා අත්තිවාරම් දමමිනි. ජීවන ගැටලුව, තෙල් ගැටලුව, විදුලි කප්පාදුව යන ප්‍රශ්න මූලික කරගෙන මහජන නැගිටීම් සිදුවුණත් මහජන අරගලයේ එකමුතුව ආරම්භ වූයේ අප්‍රේල් 9 වැනිදාය. එදින මහජන අරගලයේ ආරම්භය සටහන් වූවා පමණක් නොව එම අරගලයේ සංකේතාත්මක නියෝජනයක් ලෙස ගෝල්ෆේස් අරගල භූමියද නිර්මාණය විය. එතැන් පසු යම් සිවිල් බලයක් ගෝල්ෆේස් අරගල භූමිය වටා ගොඩනැගිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් ගියද රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව අවස්ථානුකූලව කටයුතු කිරීමත් සමඟ නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා වටා ගෝල්ෆේස් අරගල භූමිය අරගලය මෙහෙයවන්නට විය. එයට හේතුව වූයේ අරගලයේ දෙවැනි යෝජනාව වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ ආණ්ඩුව ඉවත්ව යා යුතු බවය. මේ නිසාම අග්‍රාමාත්‍ය කාර්යාලය පවා අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් අතර ඒ අවස්ථාවේ කලහකාරීන් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස පවා ගිනිබත් විය. අවසානයේ එයද අරගලකරුවන්ගේ ගිණුමට බැරවෙන තැනට පත් විය.
එහෙත් ලියුම්කරුගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනි තැබීම හේතුවෙන් අරගලය සමඟ එතුමාගේ ගැටුම ආරම්භ වූ බවය. ඒ හේතුවෙන් ඔහු මේ රටේ ජනාධිපති ධුරය දක්වා යන සටන ආරම්භ වූ බවය. අවසානයේ එය යථාර්ථයක් වූයේ ඔහු මන්ත්‍රීවරුන් 134 කගේ මනාප ලබාගනිමින් මේ රටේ අටවැනි විධායක ජනාධිපති ධූරයට පත් වීමෙනි.
රටේ ජන මතය කුමක් වුවත් මේ මොහොතේ පාර්ලිමේන්තු ජන බලය හිමිවූ පොහොට්ටුවේ බහුතර කැමැත්ත මත ඔහු ජයග්‍රහණය කර අවසන්ය. ජන මතය කුමක් වුවත් මේ මොහොතේ ඔහු ව්‍යවස්ථානුකූලව ජයගෙන හමාරය. එසේ නම් දැන් අරගලය කුමක් කළ යුතුද?
ලියුම්කරුගේ අදහස නම් තවදුරටත් අරගලකරුවන් විසින් භූමිය අත්පත් කරගෙන සිටීම තේරුමක් නැති ක්‍රියාවක් බවය. එයට හේතුව අරගලයේ සැබෑ සජීවී ගුණය ආරක්ෂා කරන්නට නම් අනිවාර්යයෙන්ම අරගලය එසේම තබා අරගලකරුවන් භූමියෙන් ඉවත්ව වර්තමාන ජනාධිපතිවරයා වෙත ඉඩකඩ ලබා දිය යුතු බවය.
එයට හේතු කාරණා කිහිපයකි. රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟ අරගලයේ කොටසක් කැඩී ඉවත් වුණේ ඔවුන් එජාප කඳවුරු නියෝජනය කරන බැවිනි. විශේෂයෙන් අරගලයේ නිරත ඇතැමුන් පවා රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සාධනීය ලෙස දකින්නට වීමය. අරගල භූමියේ අදහසට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පවා ධුරයෙන් ඉවත්ව යා යුතු බව කීවත් අරගලයට සහභාගි වුණු ඇතැම් කණ්ඩායම්වල මතය වූයේ මේ මොහොතේ රටේ ආර්ථිකය ගොඩගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවය. එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අත්හැරීමත්, මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වීමත් හේතුවෙන් කඩා වැටුණු පොහොට්ටු පාක්ෂිකයන්ගේ පවා මේ මොහොතේ එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා බවට පත්විය. එසේ නම් තවදුරටත් ගෝල්ෆේස් අරගල භූමිය මේ රටේ හුදෙකලා කණ්ඩායමක් බවට කිසිසේත් පත්විය යුතු නැත. ඒ හරහා සිදුවන්නේ අරගලයේ වටිනාකම සමාජය ඉදිරියේ විවේචනය වීමය. පැහැදිලිවම ගෝල්ෆේස් අරගල භූමිය නිර්පාක්ෂික අරමුණු වෙනුවෙන් ගොඩනැගුණු තැනක් බැවින් එය තවත් හිතුවක්කාරී ලෙස පවත්වාගෙන ගියහොත් නියත වශයෙන්ම අරගලය ඇතැම් දැඩි මතධාරී දේශපාලන පක්ෂවල ගොදුරක් වනු ඇත. එවිට අරගලයේ හරය පක්ෂග්‍රාහී කණ්ඩායමක් සතු වනු ඇත.
ඇතැම් පක්ෂවලට විවිධ මතවාදී අදහස්, වාමාංශික අදහස් තිබුණත් අරගලය ලිබරල් විය යුතු බව ලියුම්කරුගේ අදහසයි. එසේ ලිබරල් වීම තුළ ජනතාව අරගලය කෙරෙහි මතුවටද මතකය ආවර්ජනය කර සතුටු වනු ඇත. එපමණක් නොව නැවත ජනතා අවදි වීමකට අරගලය රුකෙනු ඇත.
ඒ නිසා අරගලයේ ජීව ගුණය රකිමින් අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ මහතාට වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දිය යුතුය. එපමණක් නොව අරගලය ද එලෙසම පවත්වාගෙන යා යුතුව ඇත. එසේ අරගලය පවත්වාගෙන යාමට නම් අරගලකරුවන් ලිබරල් දේශපාලන ආරම්භයක් අරගල භූමියෙන් ආරම්භ කළ යුතුව ඇත. මින් ඉදිරියට අරගලකරුවන් විසින් කළ යුත්තේ දේශපාලනමය වශයෙන් අරගලය ඉදිරියට රුගෙන යාමය. එහිදී සාකච්ඡා, සංවාද විපක්ෂය සම්බන්ධයෙන් පමණක් නොව ආණ්ඩුව සම්බන්ධයෙන් ද පැවතිය යුතු බවය. අරගලයේ සැබෑ අරමුණු ජය ගැනීම සඳහා ආණ්ඩුව සමඟ වුවද එකී සාකච්ඡාව සිදු කළ යුතුව ඇත.
එසේ නොමැතිව මහ පාරේ අරගලය මේ මොහොතේ සුදුසු නැති බව ලියුම්කරුගේ අදහසයි. විශේෂයෙන් තෙල් ප්‍රශ්නය විසඳන්නේ නම්, ගෑස් ප්‍රශ්නය විසඳන්නේ නම් බොහෝ ජනයා පවතින ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබාගැනීම සාමාන්‍ය දෙයකි. එවන් මොහොතක අරගල භූමියක් අරගලකරුවන් විසින් පවත්වාගෙන යාම ඉතාම නිෂ්ඵල කරුණක් වනු ඇත.
එදා 1988/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ ඇතැම් සිදුවීම් අදටත් ඔවුන්ගේ ඡන්ද පදනමට බලපා ඇත. තවමත් විපක්ෂය පහර එල්ල කරන්නේ ඔවුන් කළ විනාශය ගැන කියමිනි. එසේ නම් වර්තමාන අරගලය අනාගතයේදී විවේචනය කළ යුතු තැනකට කිසිසේත් පත්විය යුතු නැත. ගෝල්ෆේස් අරගල භූමිය අරගලයේ සංකේතාත්මක නියෝජනයක් වුවත් එය අරගලයේ අයිතියක් වන්නේ නැත. ගෝල්ෆේස් අරගල භූමිය අරගලයේ නියෝජනයක් පමණක් වන බැවින් සමස්ත අරගලයේ අයිතිය ඔවුන්ට හිමි යැයි සිතා කටයුතු කළහොත් අරගලයට දෙයියන්ගේම පිහිටයි යැයි කීමට සිදුවනු ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වූ වහාම ඔහු සඳහන් කළේ ඕනෑම සාමකාමී අරගලයකට ඉඩකඩ ඇති බවත් එහෙත් දේපළ අල්ලා ගැනීම්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස සනාථ කරමින් අරගලකරුවන් තවදුරටත් අරගල භූමිය අල්ලාගෙන සිටින්නේ නම් ජනතා මතය අරගල භූමියෙන් ඉවත්වනු ඇත. ජනතාවට අරගලකරුවන් කැරලිකරුවන් වනු ඇත. දේශපාලන විරෝධය හා සමානව අරගලයටද විරෝධය එල්ල විය හැකි සේම අරගලය දේශපාලන ගුණ්ඩුවක් ලෙස සමාජ ගතවීමද නිතැතින් සිදුවනු ඇත.
ඒ නිසා අරගලයේ වටිනාකම මියැදෙන්නට නොදිය යුතුය. වටිනාකම ඇත්තේ අරගල භූමියට මිස වෙනත් අයට නොවේ. ඒ අරගල භූමිය අරගලයේ සංකේතාත්මක රෑපය වන බැවිනි.
මේ මොහොතේ අරගලකරුවන් වහාම රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලන අරගලයකට යා යුතුව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා පවා අරගලයේ සාධනීය යෝජනා තිබෙන බව පිළිගනී නම් එකී යෝජනා සම්මත කර ගැනීම සඳහා අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සඳහා බල කළ යුතුය. එසේ කළහොත් අරගලකරුවන් එය මෙකී අරගලයට කළ ලොකුම සාධාරණය වනු ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අරගලය ප්‍රතික්ෂේප කළහොත්, එකී යෝජනා ඉවතට විසි කළහොත් හෝ අරගලකරුවන් ඉවත් කළහොත් නියත වශයෙන්ම එහි අවාසිය අරගලයට හිමිවනු ඇත.
එහි වාසිය අරගලයට නියමිත මොහොතේ ලැබෙනු ඇත. ඒ මහ මැතිවරණය හා සමගාමීවය. එසේ නම් අවසානයේ අරගලකරුවන් තමන්ගේ මතයත් සමඟ දේශපාලන ප්‍රවිෂ්ඨ වීමක් ඒ මොහොතේ සිදු කළහොත් එදින රටේ මහජනතාව අරගලය දිනවනු ඇත. අරගලය පිළිගනු ඇත. වසර 74 ක් පුරා රුවටූ පක්ෂ දේශපාලනය ජනතාව විසින් අතුගා දමනු ඇත. එතෙක් අරගලය අරගලකරුවන් විසින් ආරක්ෂා කරගත යුතුව ඇත.
එසේ නොමැතිව තවදුරටත් අරගලය භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින්, උද්ඝෝෂණ වැඩවර්ජන සමඟ පවත්වාගෙන යන්නට උත්සහ කළහොත් මහජන අරගලය මහජනයා විසින්ම ප්‍රතික්ෂේප කරනු ඇත. සියලුම රටේ පව්වලට අරගලයට කර ගසන්නට සිදුවනු ඇත. එදිනට අරගලකරුවන් කැරලිකරුවන් ලෙසත්, අරගලය කැරුල්ලක් ලෙසත් අනාගතයේදී අඳුරින් ලියවෙනු ඇත. ඒ නිසා අරගලය රුකගැනීමට අරගලකරුවන් දේශපාලන උපාය උපක්‍රම සඳහා ප්‍රවිෂ්ඨ විය යුතුමය..
ගයාන් ගාල්ලගේ