2022 ජුලි 24 වන ඉරිදා

කඩවත-මීරිගම මධ්‍යම අධිවේගය දැන් කොටඋඩ

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 286

රටේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදයේ බලපෑම් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ වැඩ කටයුතු අඩපණ වී ඇතැයි වාර්තා වෙයි. මධ්‍යම අධිවේගයේ පළමු කොටස වන කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු කළ වියදමට වැඩි වියදමක් එහි අඩකට ආසන්න ප්‍රමාණයක් නිම කිරීමට වැය වී ඇතැයි පවසන ව්‍යාපෘති භාර සමාගමේ නිලධරයකු පෙන්වා දුන්නේ අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු ගිවිසුම අලුත් කරන තෙක් ඉදිකිරීම් සිදු කළ නොහැකි බවයි.

කඩවත මිරිගම කොටසේ ඉදිකිරීම්වලට සම්බන්ධ 1500කට ආසන්න සේවකයන්ගෙන් 60% ක් අනියම් සමාගම් හරහා සේවය සැපයූ කම්කරුවන් වූ අතර පවතින ගැටලුව නිසා ඔවුන් සියලු දෙනා සේවයෙන් ඉවත් කර ඇතැයි ද තවදුරටත් වාර්තා වෙයි. සේවකයන්ගෙන් ඉතිරි 40% ව්‍යාපෘති භාර සමාගම හා ගිවිසුම්ගත සේවකයෝ වෙති. ඔවුන් ද සේවයට කැඳවීම හෝ ඔවුන්ට පඩි ගෙවීම මාස දෙකක් තිස්සේ සිදු කර නැතැයි ද දේශයට වාර්තා විය. එම සේවකයන් සමාගමෙන් ස්ව කැමැත්තෙන් ඉවත් වන්නේ නම් මාස දෙකක වැටුප් ද ලබා දී ඔවුන් ගිවිසුමෙන් නිදහස් කිරීමට සූදානම් යැයි ද සමාගම සේවකයන්ට පවසා තිබිණි. 

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී. 168.7ක දුරකින් යුක්තය. එහි පළමුවැනි අදියර කඩවත සිට මීරිගම දක්වා ද දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ද ඉදිවන අතර තෙවැනි අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිවේ. සිව්වැනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමට නියමිතයි. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එහි දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කර ජනවාරි මස විවෘත කරනු ලැබීය. දෙවැනි අදියරේ වැඩ කටයුතු 2024 වසරේ නිම කිරිමට අපේක්ෂා කෙරෙයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චීනයේ මෙටලර්ජකල් කෝපරේෂන් කටයුතු කරන අතර චීනයේ එක්සිම් බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 989ක සහන ණයක් ලබා දී ඇත. මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ දිග කිලෝමීටර් 36.54 ක් වන අතර මංතීරු හතරකින් සමන්විත වේ. එය ඉදිකිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන 158 ක් ඇස්තමේන්තු කර තිබුණි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන්ම මීටර් 23 ක් උසැති කුලුනු මතින් තැනෙන මෙම කොටසෙහි කිලෝමීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදිකෙරෙයි. කඩවත – මීරිගම කොටස අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විත වන අතර ඒ ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණය. කෙසේ නමුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. පවතින අපහසුතා හේතුවෙන් ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් උදා විය හැකි යැයි ද වාර්තා වෙයි.‍

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා මූල්‍ය ප්‍රතිපාදන හිඟවීමත් බලශක්ති අර්බුදය නිසා ඉන්ධන නොමැතිකමත් කටයුතු පමාවීමට හේතු වී ඇතැයි සඳහන්ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් කඩවත - මීරිගම ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතාගෙන් විමසූ විට ඔහු ඉකුත් සතියේදී මෙලෙස පවසා තිබුණි. “මේ වනවිට ව්‍යාපෘතියේ 45% ක ප්‍රගතියක් තිබිය යුතු නමුත් පවතින තත්ත්වය නිසා දැනට පවතින්නේ 30% ක පමණ ප්‍රගතියක්. විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කටයුතු නිසියාකාරයෙන් සිදු වන්නේ නෑ.

ඉන්ධන අර්බුදයට පෙර කඩවත මීරිගම කොටසේ වැඩ කටයුතු සඳහා දෛනිකව ව්‍යාපෘතියේ ගම්පහ සහ වේයන්ගොඩ ඉන්ධන පිරවුම්හල් දෙකෙන් පමණක් ඉන්ධන ලීටර 16000 බැගින් 32000ක් පමණ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා ඇති සමාගමේ වාහන සඳහා නිකුත් කර ඇති අතර කුලී පදනම මත පෞද්ගලිකව සේවය සපයා දුන් වාහන පිටතින් ඉන්ධන සපයාගෙන තිබුණි. ඒ අනුව වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවීමට දෛනිකව ඉන්ධන ලීටර 50000 ඉක්මවා වැය වෙයි. නමුත් පවතින ඉන්ධන අර්බුදය නිසා තෙල් සැපයුම අඩාල වීම ව්‍යාපෘතියට බාධාවක් වී තිබේ. 

ඉන්ධන සපයා ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා, මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් භාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවිය හැකි බැවින් නියමිත කාලය තුළ ව්‍යාපෘතිය අවසන් කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම බලධාරීන්ගේ වගකීම බවත් පැවසීය.

මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීම හේතුවෙන් ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ කම්කරුවන් සහ සේවකයන් බරපතළ ගැටලුවකට මුහුණ පා ඇතැයි එහි සේවකයෙක් පැවසීය. සමාගම විසින් ගෙවීමක් සිදු නොකරන නිසා වෙනත් රුකියා සොයා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු කියා සිටියේය. මාස දෙකකට පෙර කම්කරුවන් සේවයට ගෙන්වුවද ඉන්ධන ගැටලුව නිසා දිනකට සේවකයකුගෙන් ගත හැකි ශ්‍රමයෙන් අඩක්වත් ගත නොහැකි තත්වයක් උදා වූ නිසා ඔවුන්ගේ සේවය නවතා දැමීමට සමාගම කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මේ වන විට කඩවත මීරිගම කොටසේ වේයන්ගොඩ ආදී ප්‍රදේශවල කනු දමා තිබුණත් පාලම් දැමීම වැනි කටයුතු අතහැර වැඩ අවසන් කළ හැකි කොටස්වල පමණක් ඉදිකිරීම් සිදු වේ. ඉදිරියේ දී චීන එක්සිම් බැංකුවේ සභාපතිවරයා මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බවත් ඔහු ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් පසු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා සහන දෙන්නේ ද නැති ද යන්න තීරණය කරන බවත් වාර්තා වෙයි. එමෙන්ම ආරම්භයේ ඇති කරගත් ගිවිසුම වෙනුවට පත්වන ආණ්ඩුව යටතේ ගිවිසුම අලුත් කර ගැනීමට සමාගමේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන අතර මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත ඉදිකිරීම් සිදුවෙමින් පවතී.

 සකීෆ් සාම්