
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පසුගිය 20දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඡන්ද 134ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්විය. හිටපු ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වීමට සිදුවීම හේතුවෙන් ධුරයේ ඉතිරි කාලය සඳහා නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට සිදු විය. මින් පෙර එවැනි තත්ත්වයක් උදාවූයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් ජනාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදීය. එහිදී ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ ඩී.බී. විජේතුංග මහතා පමණක් වූ බැවින් ඔහු නිතරගයෙන්ම ජනාධිපති විය.
එහෙත් මෙවර රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහජන නියෝජිතයන් තිදෙනකුම ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ බැවින් රහස් ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමට සිදු විය. නව ජනාධිපතිවරයා කඩිනමින් අගමැතිවරයෙක් හා නව කැබිනට් මණ්ඩලයක් පත්කරගනු ඇත. නව ආණ්ඩුව හමුවේ අභියෝග රුසක් තිබේ. නව ආණ්ඩුව වෙත පැවරෙන අභියෝග සහ අර්බුදයෙන් ගොඩ ඒමට ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි අපි විද්වතුන් කිහිප දෙනකුගෙන් විමසා සිටියෙමු. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස්ය.
අලුත් ආණ්ඩුවට වැඩ පෙන්නන්න වසරක් විතර යාවි
ජනාධිපති නීතීඥ - යූ.ආර්. ද සිල්වා

දැන් නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කරගෙන තිබෙනවා. අපගේ අපේක්ෂාව වූයේ බෙදීමක් ඇති නොවී එක් මන්ත්‍රිවරයකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගත යුතු බවයි. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවූයේ නැහැ. පවතින නීතිය අනුව නව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රිවරයකු අගමැතිවරයා ලෙස පත්කරගත හැකියි. නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට සුළු පිරිසක් පත්කර ගනු ඇතැයි මා හිතනවා. පත්වන ආණ්ඩුව කඩිනමින් රටේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩනැංවීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තා.
ඔහු එය දිගටම ක්‍රියාවට නංවනු ඇති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා කඩිනමින් අවසන් කොට අපගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඇතැම් ණය කපා හැරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.
පසුගිය දිනවල අරගලයේ ඇතැම් පිරිස් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. එය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකියි. රට සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් ගමන් කළ යුතුයි. ඩොලර් මිලියන 300ක හෝ 400ක පමණ ප්‍රේෂණ ලංකාවට ගලාගෙන ආවොත්, සංචාරක ව්‍යාපාරය යළි ක්‍රියාත්මක වුවහොත්, සහ මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම වළක්වාලුවහොත් දැනට ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය යම් පමණකට සමනය කරගත හැකි බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එතුමාගේ එම ප්‍රකාශය කෙරෙහි අවධානය යොමුකරමින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි ක්‍රමවේදයක් සකස් කර ගැනීම සඳහා අලුතින් පත්වන ආණ්ඩුව පියවර ගත යුතුයි. නව ආණ්ඩුවට පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට වසරක් පමණ ගතවේවි යැයි සිතනවා. මේ අවස්ථාවේ අපට මැතිවරණයකට යාමේ හැකියාවක් නැහැ. මැතිවරණයකට යා හැකි වන්නේ ජනතාව මුහුණ දෙන අර්බුදවලට විසඳුම් ලබා දී ඔවුන්ගේ මනස මැතිවරණයකට සූදානම් කිරීමෙන් පසුවයි.
විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට පිළියම් සොයමු
රවින්ද්‍ර පල්ලියගුරුගේ - සබරගමුව විශ්විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අලුතින් පත්වන ඕනෑම රජයක් හමුවේ අභියෝග කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න ආර්ථිකය ගොඩනගා ගැනීම. වර්තමානයේ රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. දෙවැන්න පවතින දේශපාලන අර්බුදය කළමනාකරණය කරගත යුතුයි. තෙවනුව අපේ විදේශ ප්‍රතිපත්තිය සාර්ථකව මෙහෙයවිය යුතුයි. මේ අභියෝග තුනම එකට බැඳී තිබෙන ගැටලු. විශේෂයෙන් චීනය, ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ මැදපෙරදිග වැනි විදේශ බලවේග සමඟ මැද මාවතක සිටිමින් ඔවුන් කළමනාකරණය කරගත යුතුයි. එක් පාර්ශ්වයක් සතුටු කරන්නට ගියහොත් අනෙක් පිරිස අමනාප වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම ඔවුන්ගේ ජාතික අභිලාෂ තිබෙනවා. ඔවුන් අපට සහය දක්වන්නේ එම අභිලාෂ ඉටු කර ගැනීමේ අරමුණින්. ඒවා ලංකාවට වාසිදායක හෝ අවාසිදායක විය හැකියි. කෙටි කාලීනව වාසි සහගත බවක් පෙනුණත් දිගුකාලීනව අවාසිදායක විය හැකියි. මේ දිනවල ඩොලර් බිලියන 4ක් ලබා ගැනීම සඳහා චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක විය හැකි යැයි සිතනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක වුවහොත් හොඳයි. මේ සියල්ල ණය වශයෙන් ලැබෙන ඒවා. ඒ නිසා අලුත් ආණ්ඩුව කළ යුත්තේ එම ණය කළමනාකරණය කර ගනිමින් තිබෙන ණය ගෙවන්නේ කොහොමද කියා සැලසුම් කිරීමයි. ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයයි.
ඩොලර් හිඟය මේ රටේ සෑම පුරවැසියකුටම මේ වන විට හොඳින් දැනී තිබෙනවා. අද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටින්නට ජනතාවට සිදු වී තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඒවා ගෙන්වා ගැනීම සඳහා ඩොලර් නොමැති නිසයි. ඉන්ධන අර්බුදය මේ වන විට ලොව බොහෝ රටවලට මුහුණ දීමට සිදුවී තිබෙන්නක්. අපට එය විශාල ලෙස දැනෙන්නට පටන් ගත්තේ අපේ විනිමය අර්බුදය නිසයි. පොසිල ඉන්ධන යනු සීමිත සම්පතක්. එය හීනවෙමින් පවතිනවා. අප මුහුණ දුන් අර්බුදයට ඉදිරියේදී ලොව බොහෝ රටවලට මුහුණ දීමට සිදුවේවි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඉන්ධන භාවිත කරමින් ඉල්ලුම සීමා කර ගැනීමයි. දෙවැනුව තිරසර විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමයි. කෙටි කාලීනව අයිඑම්එෆ් එක වගේ ආයතනවලින් සහයක් ලබාගත හැකියි. එහෙත් දිගුකාලීන වශයෙන් තව බොහෝ දේ කළ යුතුයි. සාම්ප්‍රදායික අපනයන ප්‍රවර්ධනය කරනවා සේම ඩොලර් සොයාගත හැකි නව අපනයන ක්‍රමවේදවලට යොමු විය යුතුයි.
රට සල්ලි සොයන්න කෙටිකාලීන ක්‍රමවේදයක් ඕනෑ
ජූඩ් ප්‍රනාන්දු පියතුමා - ශ්‍රී ලංකා කතෝලික සභාවේ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ

දැනට පවතින ප්‍රධානතම අර්බුදය රටේ ඩොලර් නොමැතිකම. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සහ පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ එහි අතුරුඵලයක් ලෙසයි. අලුත් ආණ්ඩුව මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ කෙටිකාලීනව රටට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම. මාස හය හතකින් නොව මාසයක් දෙකක් වැනි කාලයක් තුළ ඩොලර් උපයා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සකස් කළ යුතුයි. දෙවනුව අහස උසට නැග ඇති ආහාර ද්‍රව්‍ය මිල, ඖෂධ මිල සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්හි මිල පහත හෙලීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අපනයන වර්ධනය කළ යුතු වන අතර දැනට විදේශයන්ගෙන් ආනයනය කරන ලංකාවේ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය මෙහිම නිෂ්පාදනය කරමින් අපේ ඩොලර් විදේශවලට ගලා යෑම නතර කළ යුතුයි. විදේශ විනිමය උපයා ගත හැකි සංචාරක ව්‍යාපාරය වැනි ව්‍යාපෘති සඳහා දිගුකාලීන හා කෙටිකාලීන ක්‍රමවේද ශක්තිමත් කළ යුතුයි. ජරාජීර්ණ වී ඇති මෙරට දේශපාලන ක්‍රමය යහපත් තත්ත්වයකට ගෙන ඒමට පියවර ගත යුතුයි. ජනතා ධනය දූෂණයෙන් හා වංචාවෙන් සොරාගන්නා දේශපාලකයන්ට එරෙහිව කටයුතු කිරීම සහ දේශපාලකයන් නඩත්තු කිරීම සඳහා අසීමිත ලෙස ධනය වැය කරන ක්‍රමවේද නවතා දැමිය යුතුයි. රටේ බලවත් පුද්ගලයන් විසින් නීතිය කැමති අයුරින් හැසිරවීමට ඇති ඉඩකඩ අහුරා දැමීම, සාමාන්‍ය ජනතාවට නීතියෙන් සාධාරණය ඉටුවන ක්‍රමයක් සකස් කිරීම සහ පසුගිය කාලයේ ඝාතනයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් නීතිය හා සාධාරණය ඉටු කරන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කරන්නේ ඇතැම් දේශපාලකයන් විසිනුයි. ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කළ යුතුයි. රටේ දියුණුව සඳහා රාජ්‍ය සේවය පිරිසුදු කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්.
ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් දෙන්න.
රෝහණ හෙට්ටිආරච්චි - විධායක අධ්‍යක්ෂ - පැෆරල් සංවිධානය

වසරක් හරි ඊට අඩු කාලයක් හරි ක්‍රියාත්මක වන අන්තර්වාර ආණ්ඩුවට සියලුම පක්ෂවල සාමාජිකයන්ගේ යම් නියෝජනයක් පැවතිය යුතුයි. ඔවුන් දූෂිතයන් නොවන, වත්මන් ආර්ථික, දේශපාලන, සමාජ අර්බුදයට විසඳුම් ලබා දිය හැකි මහජන විශ්වාසයක් ඇති ජාතික හා ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගත හැකි පිරිසක් විය යුතුයි. ඔවුන්. ප්‍රථමයෙන් තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතුයි. එම සිතියමෙන් ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දීර්ඝ කාලීනව විසඳුම් සොයන ආකාරය පැහැදිලි කළ යුතුයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩපිළිවෙළ සහ මහජනයා මේ මොහොතේ මුහුණ දෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට කෙටිකාලීන විසඳුම් මොනවාදැයි පැහැදිලි කළ යුතුයි. එය යෝජනාවලියක් පමණක් නොවී ක්‍රියාත්මක කරන ආකාරය හා ඒ සඳහා අවශය සම්පත් සපයා ගන්නා ආකාරයත් එම කාර්යයේ වගකීම් පැවරෙන්නේ කවුරුන් වෙතදැයි යන්න පිළිබඳවත් පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව ක්‍රියාත්මක වන කාලය තුළ ප්‍රමුඛතාව ලබා දිය යුතු අංශ පිළිබඳව මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතුයි. උදාහරණයක් ලෙස මේ අවස්ථාවේ අලුතින් මංමාවත් ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. එහෙත් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුයි. අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මුදල් වැය නොකර අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් මුදල් වැය කිරීමට පියවර ගත යුතුයි. රාජ්‍ය සේවයේ අතිරික්තය අඩු කළ හැකියි. පාඩු ලබන ආයතන වසා දැමිය හැකියි. එමෙන්ම අන්තර්වාර පාලනය යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු සංශෝධන මොනවාදැයි යන්න පිළිබඳ එකඟතාවයක් තිබිය යුතුයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මූලික වශයෙන් ඇතුළත් විය යුතු දේ පිළිබඳව නිශ්චිත පණිවිඩයක් ලබා දිය යුතුයි .
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා