2022 ජුලි 24 වන ඉරිදා

ඩෙංගු මැදින් යළි කඩා වදින කොවිඩ්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 41

වසර දෙකකට අධික කාලයක් කොවිඩ් රෝගයෙන් පීඩා විඳි ජනතාවට මඳ අස්වැසිල්ලක් ලබා දෙමින් කොවිඩ් වසංගතය තුරන් වී ඇති බව සිතුවද නැවත වතාවක් කොවිඩ් රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් රෝගී ආසාදිතයන්ගේ යම් වර්ධනයක් සිදුවෙමින් පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොවිඩ් රෝගීන් මෙන්ම ඩෙංගු රෝගීන්ගේ ද වර්ධනයක් මේ වන විට වාර්තා වේ. ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. මෙයින් කොළඹ දිස්ත්‍රික්කය තුළින් වැඩි රෝගී සංඛ්‍යාවක් වාර්තා වෙයි.

2019 වසර අවසානයේදී චීනයේ වුහාන් නගරයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් රෝගීන් පසුව බොහෝ රටවල්වලින් වාර්තා වූ අතර ශ්‍රී ලංකාවේද සෑම ප්‍රදේශයකින්ම වාර්තා විය. මේ අතරින් මියගිය පුද්ගලයන්ද විශාල සංඛ්‍යාවකි. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 664570කට අධිකය. මෙයින් රෝගීහු 16530කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් සිටිති.

වසරක දෙකකට ආසන්න කාලයක් කොරෝනා වසංගතයෙන් පීඩා විඳි ජනතාවට පසුගිය මාස කිහිපය තුළදී කොරෝනා සම්පූර්ණයෙන්ම අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබුණි. පොදු ප්‍රවාහන සේවයේදී පමණක් නොව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල පවා බොහෝ ජනතාව සිටියේ මුව ආවරණ නිසි පරිදි පැළඳීමකින් තොරවය. පසුගිය කාලයේ පැවති මීටරයේ දුර ඇත්තේම නැත. පොදු ප්‍රවාහන සේවයේදී පමණක් නොව මාසයකට අධික කාලයක් පුරාවට පැවති අරගල භූමිවල ඇතිවූ තදබදයත් සමඟ මීටරයේ පරතරයක් තිබුණේම නැත.

රට තුළ මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක පසුගිය දිනෙක නැවත වරක් කොවිඩ් ආසාදිතයන් හැටකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි. මේ අතර කොවිඩ් රෝගීන් දෙදෙනකු මියගිය බවද වාර්තා විය.

''පවතින මෙම තත්ත්වය කළමනාකරණය කර ගත්තේ නැත්නම් ඉදිරියේදී සංකූලතා ඇතිවන තත්ත්වය වැඩි වී කොවිඩ් මරණ වාර්තා වීම් වැඩි වීමට ඉඩ තියෙනවා. ඒ නිසා පළමු කොවිඩ් එන්නත් මාත්‍රා ලබා නොගත් අය හැකි ඉක්මනින් එම මාත්‍රා ලබාගන්න. පළමු, දෙවැනි මාත්‍රා ලබාගත් අය මාස තුනකට පසුව තෙවැනි මාත්‍රාව ලබාගන්න.'' යැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍යයට පැවසීය.

කොවිඩ් එන්නත්කරණ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,479,631ක් වන අතර දෙවැනි මාත්‍රාව 1,418,593ක් ලබා සිටිති. සයිනොෆාම් එන්නත පළමු මාත්‍රාව 12,049,573ක් ලබාගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 11,184,041 කි. කොවිඩ් එන්නත්කරණ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස 159,110ක් ලබාගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව 155,812 දෙනෙක් ලබා සිටිති. ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව 2,611,539ක්ද, දෙවැනි මාත්‍රාව 1,007,438ක්ද, පළමු වර්ධක මාත්‍රාව (බූස්ටර්) 8,002,054ක්ද, දෙවැනි වර්ධක (බූස්ටර්) මාත්‍රාව 13,959ක්ද බැගින් එන්නත්කරණයට ලක්වී සිටිති. මීට අමතරව මොඩර්නා එන්නත්කරණයේ පළමු මාත්‍රාව 804,801ක්ද, දෙවැනි මාත්‍රාව 787,361ක්ද ලබා සිටිති. මේ අතර කිසිදු කොවිඩ් එන්නත්කරණයක් ලබා නොගත් පිරිස ද වෙති.

කොවිඩ් වසංගතය නැවත වතාවක් හිස ඔසවමින් පවතින වකවානුවක ඩෙංගු වසංගතය ද හිස ඔසවමින් පවතී. මේ දිනවල ඇතැමුන්ට පවතින උණ, හිසරදය, කැස්ස වැනි රෝග ලක්ෂණවලින් රෝගය කුමක්දැයි නිශ්චිතව හඳුනාගැනීමට නොහැකිවීමෙන් රෝගීහු වැඩි වශයෙන් පීඩා විඳිති. පවතින උණ වෛරසයත්, කොවිඩ් සහ ඩෙංගු රෝග ලක්ෂණත් බොහෝ විට සමාන වීම හේතුවෙන් රෝගය උත්සන්න වී රෝහල්ගත කිරීම දක්වා රෝගය නොසලකා හැරීම හේතුවෙන් ඇතැම් විට රෝගය දරුණු විය හැකිය.

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන සම්බන්ධයෙන් තවමත් රටේ ජනතාවට සැලකිල්ලක් නැත. මේ දිනවල කඩින් කඩ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලෙන අතර ජනතාවගේ නොසැලකිල්ල ඩෙංගු මදුරුවා බෝවීම වර්ධනය වීමට හේතු වී තිබේ.

ඩෙංගු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර, ඩෙංගු ආසාදිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. ඩෙංගු රෝගීන් තුළින් පෙන්වන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. ඇතැමුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනුයේ රෝගය උත්සන්න වූ විටය. ඇතැම්විට එවැනි අවස්ථාවලදී රෝගියා බේරාගැනීමට නොහැකි විය හැකිය. ඩෙංගු රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ උණය. මෙය කොවිඩ් රෝග ලක්ෂණවලට සමානය.

ඩෙංගු රෝග ලක්ෂණ වන එක්වරම ඇතිවන උණ, අධික හිසරදය, හන්දිවල සහ පේෂිවල වේදනාව, ආහාර අරුචිය, වමනය, අත්පා සුදුමැලි වීම හා සීතල වීම, සමේ පැහැය වෙනස් වීම වැනි රෝග ලක්ෂණ පෙනුම් කරයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. විශේෂයෙන් දින තුනක් තිස්සේ උණ පවතී නම් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට මදුරු වර්ග එකසිය හතළිහක් පමණ වෙති. එයින් ^ඊඩ්ස් ඊජිප්ටයි^ හා %ඊඩ්ස් ඇල්බොපික්ටස්^ යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ.
ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාර්තා වන අතර විශේෂයෙන් ඩෙංගු රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවලය. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද නිරිතදිග මෝසම් වැසි ආශ්‍රිත කාලයේ ද, වසර අග ඊසානදිග මෝසම් වැසි සහිත කාලය ආශ්‍රිතව ද වාර්තා වේ.

මේ හේතුවෙන් මේ කාලයේදී වඩාත් සැලකිලිමත් විය යුතු අතර දින කිහිපයක් තුළ පවතින උණ, හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එය කොවිඩ්, ඩෙංගු හෝ වෙනත් රෝග ලක්ෂණයක් ද යැයි තීරණය කළ හැක්කේ එම පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් මතය.

 දිශානි ජයමාලි කරුණාරත්න