2022 ජුලි 17 වන ඉරිදා

දරුවෙක් හදන්න බිරිඳ බයයි

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 1986

පුතෙක් හදන්න ක්‍රමයක් කියන්න

මගේ වයස අවුරුදු 42යි. දුවලාම පස් දෙනෙක් ඉන්නවා. පොඩිම දුවගේ වයස අවුරුදු එකහමාරයි. ලොකු දුවට අවුරුදු 18යි. මායි මහත්තයයි දෙන්නම පුතෙක් හදාගන්න ආසයි. පුතෙක් බලාපොරොත්තුවෙන් දරුවො හැදුවත් හම්බවුණ හැමෝම දුවලා. පුතෙක් හදාගන්න ක්‍රමයක් තිබෙනවාද? ලිංගිකව එක්වීමේදී විශේෂ ඉරියව්වක් තිබෙනවාද? හැමෝම කියන්නේ පුතෙක් හිටියා නම් හොඳයි කියලා. මටත් මගේ මහත්තයාටත් මේක ලොකු ප්‍රශ්නයක්. මගේ වයසත් එක්ක තව දරුවෙක් හැදුවට කමක් නැද්ද?

රසිකා - පන්නිපිටිය 

උපදෙස:

පුතෙක් හදාගන්න විද්‍යාත්මක ක්‍රමයක් තිබුණත් එය ලෝකයේ කිසිම රටක් අනුමත කරන්නේ නෑ. අධි තාක්ෂණය භාවිතයෙන් අධික පිරිවැයක් දැරීමෙන් මෙම විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වුණත් එය කිසිදු රටක සංස්කෘතිකමය වශයෙනුත් සදාචාරමය වශයෙනුත් නීතිමය වශයෙනුත් කිසිසේත් අනුමත නොකරන ක්‍රමවේදයකි. එසේ නොමැතිව ලිංගික ඉරියවුවලින් පිරිමි දරුවන් උපදිනවා යැයි පැවසීම සම්පූර්ණයෙන්ම මිත්‍යාවකි. මෙම ප්‍රශ්නය යොමුකරන ඔබේ වයස අවුරුදු 42යි. ඔබ පස්දරු මවක්. එහෙයින් ඔබ පසුවන වයස සැලකීමේදී තවත් දරුවකු අපේක්ෂා කිරීම අවදානම් සහගත උත්සාහයකි. එය නිරෝගී දරුවකු බිහිකිරීමට යම් ආකාරයක බාධා මතුවීමටද පුළුවන. වෙනත් ආබාධ මතුවීමෙන් ඔබේ ජීවිතයද අනතුරුදායක වීමට ඉඩකඩ තිබේ. එහෙයින් මෙම අවස්ථාවේ මාගේ වෛද්‍ය නිර්දේශය අනුව පස්දරු මවක වන ඔබ තවත් දරුවකු අපේක්ෂා කිරීම මෙම අවස්ථාවේ අනුමත කළ නොහැකිය.

ලැබෙන්න ඉන්න දරුවා ගැන බයයි

මම 31 හැවිරිදි සති 18ක ගැබිනියක්. මේ ලැබෙන්න ඉන්නේ මගේ පළමුවැනි දරුවායි. මගේ ළඟම මිතුරියකට මෑතකදී දරුවකු හම්බවුණා. ඒ දරුවාගේ ශරීරයේ යම් අඩුපාඩු තිබෙනවාලු. මගේ මිතුරියත් එයාගේ සැමියාත් දරුවා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙනයි හිටියේ. ඒත් දැන් එයාලගේ හීන ඔක්කොම බිඳිලා ගිහින් කියලා එයාලා දුකෙන්. ඒ දරුවාගේ අත් කකුල් නිසි ආකාරයට පිහිටලා නැහැ. දරුවා ලැබෙන්න කලින් ස්කෑන් කළත් මේ දේවල් කලින් හඳුනාගන්න අපහසු වෙලා. මටත් බයයි මගේ දරුවාටත් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ දරුවා ගැන අහපු වෙලාවේ ඉඳලා මම ගොඩක් බයෙන් ඉන්නේ. වෛද්‍යතුමනි, ඉපදෙන්න ඉන්න දරුවා ගැන අපිට කලින් බලාගන්න පුළුවන්ද? 

හංසනී - දෙබරවැව 

උපදෙස:

සාමාන්‍යයෙන් ගැබ් ගැනීමකදී සති 12කින් ස්කෑන් පරීක්ෂාවක් සිදුකර බලයි. ඊට අමතරව සති 20න් ස්කෑන් පරීක්ෂාවක් සිදුකර කුසේ සිටින බිලිඳාගේ හදවත, කොඳු නාරටිය, මොළය ඇතුළු සියලු ඉන්ද්‍රියවල පිහිටීම නිසි පරිදි තිබෙනවාදැයි පරීක්ෂාවට ලක් කරයි. සාමාන්‍ය  හැකියාවක් සහිත වෛද්‍යවරයකුට වුවත් එම ස්කෑන් පරික්ෂාවේදී ඉන්ද්‍රියවල යම් බරපතළ ගැටලුවක් තිබුණොත් පහසුවෙන් හඳුනාගැනීමට පුළුවන්. ආබාධ සහිත දරුවන් උපදින්නේ ඉතාම කලාතුරකින්. මෙම ප්‍රශ්නය යොමු කරන මවටත් සති 20 දී මෙම ස්කෑන් පරික්ෂාව සිදුකරයි. එහිදී නිසි පළපුරුද්දක් සහිත විශේෂඥ වෛද්‍යවරයකු එම පරික්ෂණ වාර්තාව බලා ගැටලුවක් නොමැති බවට තහවුරු කළහොත් ඔබ නිකරුණේ හිත කලබල කරගෙන සිටීම නිෂ්ඵලයි. ඒ සම්බන්ධයෙන් ඔබ සිතේ කිසිදු ආකාරයක අනිසි බියක් ඇති කර නොගන්න.

බිරිඳ දරුවෙක් හදන්න කැමති නැහැ

අපි විවාහවෙලා දැන් අවුරුදු තුනක්. මගේ වසය 35යි. මගේ බිරිඳගේ වයස 30යි. සාමාන්‍යයෙන් හොඳ ආර්ථික මට්ටමක අපි ඉන්නවා. මට තිබෙන ගැටලුව මගේ බිරිඳ බයයි දරුවෙක් හදන්න. අපි විවාහවෙලා අවුරුදු තුනක් ගෙවුණත් අපි දෙන්නා ලිංගිකව එකතුවෙලා තියෙන්නෙත් කිහිපවතාවක් පමණයි. බිරිඳ එයටත් බියක් දක්වනවා. කොච්චර ඇහුවත් මේ දේවල්වලට ඇයගෙන් නිසි පිළිතුරක් ලැබී නැහැ. දරුවෙක් හදන්න මම ආස වුණත් ඇය වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මොනවා හරි හේතුවක් කියලා මග අරිනවා. අම්මලා තාත්තලාත් දැන් අපෙන් දරුවෙක් ගැන අහනවා. මගේ බිරිඳ ගැන වෙලාවකට මට බයත් හිතෙනවා. ඇයට කුමක් කළ යුතුද? වෛද්‍යතුමනි උදව් කරන්න.

දේවක - කඹුරුපිටිය

උපදෙස:

මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවකදී නිරාකරණය කරගත යුතු පළමුවැනි කාරණය දරුවකු පිළිසිඳ ගැනීමට බිරිඳ බියක් දක්වන්නේ ඇයි යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් සොයාගත යුතු වෙයි. මෙය මනෝ වෛද්‍යවරයකු ලවා හෝ මනෝ උපදේශනය මාර්ගයෙන් හෝ පළමුව නිරාකරණය කරගැනීම සුදුසුයි. එවන් මානසික ගැටලුවක් ඇත්නම් එය මනෝ උපදේශනය මාර්ගයෙන් සුවපත් කර ගත හැකිය. කාන්තාවක් දරුවකුට අකමැති වීමට විවිධ හේතු තිබිය හැකියි. එනම් තම කුසේ දරුවකු පිළිසිද ගන්නවාට බිය වීමට පුළුවන්. ඒ වගේම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් ඇතිවීමට පුළුවන්. එසේ නොමැති නම් වෙනත් සමාජයීය හේතුවක් තිබෙනවාදැයි විමසා දැනගත යුතුයි. මෙම ප්‍රශ්නය අනුව පැහැදිලි වන්නේ මානසික වශයෙන් යම් ප්‍රශ්නයක් ඇති බවයි. එම මනෝ කාරණය නිරාකරණය කරගැනීමෙන් පසු තවත් කරුණක් වන්නේ ලිංගිකව එක්වීමේදී යම් කැක්කුමක් තිබෙනවා යැයි කියා තිබෙනවා. ඇතැම්විට බිරිඳගේ බියට හේතුව එය විය හැකියි. ගර්භාෂයේ ඩිම්බ කෝෂ එකට ඇලී තිබෙන තත්ත්ව ඇතැම් කාන්තාවන්ට තිබෙනවා. එවැනි කාන්තාවන්ට ලිංගිකව එක්වීමේදී අධික වේදනාවක් ඇතිවන්න පුළුවන්. එවන් ප්‍රශ්නයක් තිබෙනවාද එසේ නොමැති නම් යෝනි මාර්ගය ආශ්‍රිතව වෙනත් ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙනවාද එසේ නොමැතිනම් වෙනත් මානසික රෝගී ත්ත්වයක්ද යන්න පිළිබඳ පරීක්ෂා කර දැනගත යුතුයි. මේ සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර බලා වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සිදුකර ගත හැකිය.

මළගෙවල්වල ගියාට කමක් නැද්ද?

මා සති හතරක ගැබිනියක්. මට දැනගන්න ඕනෑ මේ දවස්වල මා මළගෙවල්වල, මගුල් ගෙවල්වල ගියාට කමක් නැද්ද කියලා. ගොඩක් අය කියනවා එහෙම යන්න එපා කියලා. මේ නිසා අත්‍යවශ්‍ය මළගෙදරකට පවා මට යන්න බැරි වුණා. මෙහි සත්‍යයක් තිබේද?

නිර්මලා - කඩවත 

උපදෙස:

මළගෙයක් කියන්නේ නිතරම පිරිසක් ගැවසෙන ස්ථානයක්. පෙනහළු ආශ්‍රිත වෙනත් අයගෙන් බෝවන රෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ගර්භනී සමයේ එවන් රෝගයක් ඇතිවුවහොත් කරදරකාරී තත්ත්වයකට පත්වීමට සිදුවෙයි. විෂබීජයක් ශරීර ගත වුවහොත් මවටත් දරුවාටත් අවදානමක් තිබේ. එහෙයින් විශාල පිරිසක් ගැවසෙන ස්ථානවලින් අධික සෙනඟ පිරුණු බස් දුම්රියවල ගමන් කිරීම ආදී දේවලින් හැකිතාක් වැළකී සිටීම සුදුසුයි. ඒ වගේම අවමංගල්‍ය අවස්ථාවලට සම්බන්ධ වෙනවානම් ඒවායෙත් මියයාමට හේතුව කොවිඩ් වැනි රෝග තත්ත්වයක්දැයි පෙර විමසීමක් සිදු කර බැලීම වඩා වැදගත්. එවන් අවස්ථාවකදීත් ඒ සඳහා සහභාගී නොවී සිටීම යෝග්‍යයි. මියගිය අයකුගේ සිරුරකින්  විෂබීජයක් ඇවිත් එයින් ගර්භයට බලපෑමක් සිදුනොකරයි. පුරාණ සිංහලයන් පවසන කිල්ලට අසුවීම යනුවෙන් අර්ථ දක්වන්නේත් විෂබීජවලට නිරාවරණය වීමමයි. සමීපතම අයකුගේ නොවන අත්‍යවශ්‍ය නොවන සෑම අවස්ථාවකදීම ජනතාව විශාල වශයෙන් රුස්වන ස්ථානවලින් දුරස් වී සිටීම සුදුසුයි.

ඉකිලි හරියෙන් වේදනාවක් 

මම සති 25 ක ගැබිනියකි. මට දැන් දැන් වැඩිවෙලා ඉඳගෙන ඉඳලා නැගිටින්න අමාරුයි. ඉකිලි හරියෙන් වේදනාවක් එනවා. ඇවිදීමත් අපහසුයි. නිදාගෙන එහෙට මෙහෙට හැරෙන්න බෑ. වෛද්‍යතුමනි, මට පහදා දෙන්න ඒක සාමාන්‍ය තත්ත්වයක්ද නැතිනම් රෝගී තත්ත්වයක්ද කියලා.

සම්මානි - වලස්ගල

උපදෙස:

ගැබ් ගැනීමකදී බඩේ කැක්කුමක් ඇතිවීම බොහෝ හේතු නිසා සිදුවිය හැකියි. විෂබීජ නිසාත්, ගර්භාෂයේ සහ ඩිම්බකෝෂවල හටගන්නා ගෙඩි නිසාත්, ගර්භාෂය විශාල වීමේදී කලාතුරකින් ඇතිවන බන්ධනී නිසාත්  බඩේ කැක්කුම ඇති විය හැකිය. ඒ වගේම ගර්භාෂයෙන් සහ වැදෑමහෙන් ශ්‍රාවය වන හෝර්මෝන නිසා මුළු ශරීරයේම බන්ධණි ඉදිමීමකට ලක්වෙනවා. එයත් හේතුවක් විය හැකියි. මෙම ප්‍රශ්නය යොමු කරන ඔබේ බඩේ කැක්කුමට හේතුව ඉහත කී ආකාරයේ හේතූන්ගෙන් කුමක්දැයි පළමුව පරික්ෂා කර බැලිය යුතුයි. වේදනාවේ ස්වභාවය දැනගැනීමත් අවශ්‍යයි. යම් කාන්තාවකට ගර්භනී අවස්ථාවක බඩේ කැක්කුමක් එනවානම් වහාම විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වා අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි. මෙය ඇතැම්විට ප්‍රසව වේදනාව වීමට පුළුවන්. එහෙයින් මෙවන් අවස්ථාවක ගැබිනියක් කළ යුතු වැදගත්ම දේ හැකි ඉක්මනින් සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයකු හමුවී  උපදෙස් ලබාගැනීමයි.  

 සසංක චලන ගිම්හාන