2022 ජුලි 17 වන ඉරිදා

දවසකට සිය ගණනකගේ කුසගිනි නිවන නුගේගොඩ කුස්සිය

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 1024

ලෝකයේ විශාලම ගින්න වූ කුසගින්න දරාගත නොහැකිව ජීවිතේ හැරයන මිනිස්සු සමාජයේ ඕනෑතරම් සිටිති. මේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ට එක ආහාර වේලක් ලබාදිය නොහැකිව සෝ සුසුම් හෙළනා දරුවන් හා සිය ජීවිතය නසාගන්නා දෙමව්පියන් අප අතරේ ඕනෑතරම් සිටිති. මෙවන් ජීවිතවලට සැනසීමක් ලබාදෙන්නට, ආහාර වේලක් නොමිලේ ලබාදෙන පිංවන්ත භූමියකට පසුගියදා දිනෙක අපි ගොඩවැදුනෙමු.

ජූලි මස පළවෙනිදා නුගේගොඩ මෙත් බෝ සෙවණ මගින් Community Kitchen නමින් පවත්වන පිංවන්ත වැඩසටහන මගින් ප්‍රදේශවාසී ජනතාවට නොමිලේ දිවා ආහාර වේලක් ලබා ගැනීමට හැකියාව පවතී. මෙත් බෝ සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන Community Kitchen ව්‍යාපෘතිය මේ වනවිටත් ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන්නේ මෙය පිංවන්ත වැඩටසහනක් නිසාවෙනි. කොවිඩ් වසංගතය මෙරට ආරම්භ වීමත් සමඟ නාගරික අඩු ආදායම්ලාභී පවුල් මුහුණ දුන් දුෂ්කරතා හඳුනාගෙන කොට්ටාව ප්‍රදේශයේ ජනතාව වෙත මාසිකව වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක්ද මෙම මධ්‍යස්ථානය විසින් ආරම්භ කර තිබේ. රටේ ආර්ථික අර්බුදය ඉතා දරුණු ලෙසින් උග්‍රවීමත් සමඟ මෙම වැඩසටහන Community Kitchen ව්‍යාපෘතිය බවට පරිවර්තනය විය.

මෙම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා මධ්‍යස්ථානය වන්නේ අහංගම පිහිටා ඇති තිත්තගල්ලේ මෙත් බෝ සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයයි. මෙම භාවනා මධ්‍යස්ථාන මගින් මාසිකව, වාර්ෂිකව පරාර්ථකාමී වැඩසටහන් බොහෝමයක් සංවිධානය කරනු ලබනවා. කොරෝනා වසංගතය ඒමට පෙර වව්නියාවේ අක්කර විසිපහක පමණ වැවක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට නිවාස හාරසීයකට පමණ ජලය ලබාදීමට කටයුතු කළා. එමෙන්ම කොට්ටාව ප්‍රදේශයේ අප අග්‍ර භාවනා මධ්‍යස්ථානය මගින් ඒ ප්‍රදේශයේ අඩු ආදායම් ලබන නාගරික පවුල් සියයකට පමණ මාසිකව වියළි ආහාර දීර්ඝකාලීනව ලබාදුන්නා. එම වැඩසටහන මේ ජූලි මස පළමුදා සිට Community Kitchen වැඩසටහනකට පරිවර්තනය කළා. ඒ අනුව එදා සිට මේ දක්වා දිනපතා එක ආහාර වේලක් අපි ලබාදෙනවා. අද වනවිට එය කොට්ටාවට පමණක් සීමා නොකොට නුගේගොඩ නාගරික ප්‍රදේශයට සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. යැයි දෙහිවල සුනන්ද හිමියෝ දේශයට අදහස් දක්වමින් පැවසූහ. මේ සියලු කටයුතුවලට තිත්තගල්ලේ ආනන්දසිරි හිමිපාණන්ගේ ආශීර්වාදය හිමිවේ.

අද වනවිට Community Kitchen වැඩසටහන යටතේ හාරසීයකට ආහාර ලබාදීමට කටයුතු කළද ඇතැම් දිනවලදී එය පන්සීයක්, හයසීයක් දක්වා දීර්ඝ වෙයි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරිකව ජීවත්වන ජනතාවක් වෙනුවෙන් දිවා ආහාරය නොමිලේ ලබාදීමය. මෙහිදී මුල් ආහාර වේල තුළදී ඔවුහු දිනපතා ව්‍යාංජන හතරක් සමඟ සමබර දිවා ආහාරය ලබා දීමට කටයුතු කළහ. මීට අමතරව ඇතැම් දිනවලදී හාරසීයකට, පන්සීයකට තරම් වැඩිවන ජනතාව වෙනුවෙන් අඩුම තරමේ එක ව්‍යංජනයක් හෝ සහිතව ආහාර වේලක් ලබාදීමට කටයුතු කරති. මේ දක්වා ඔවුන් වෙත පැමිණි ජනතාව කුසගින්නේ තබා නැවත හරවා යවා නැත. උදේ සිට කොයිතරම් වෙහෙස ගෙන මේ කටයුත්ත සිදුකළද තමන් වෙත ආ වැඩි පිරිස කිසිමදාක මෙතෙක් ඔවුන් ආහාර වේලක් නොදී ආපසු හරවා යවා නැත.

මේ වනවිට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ නුගේගොඩ නගරාසන්න ප්‍රදේශයේය. නුගේගොඩ Green Teacher garden (හරිත ගුරුවරයා) හි මෙය සිදුකරනු ලබයි. එයද මෙම භාවනා මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන තවත් පරාර්ථකාමී ව්‍යාපෘතියකි. නාගරික පරිසරයක ගෙවතු වගාව සිදුකරනු ලබන ආදර්ශ වගා කටයුත්තක් එහිදී සිදුකරයි. දහවල් දොළහයි තිහේ සිට සවස තුන දක්වා අතර කාලයේදී කුසගින්නේ සිටි ඕනෑම කෙනකුට මෙම පරිශ්‍රයට පැමිණ තම කුසගින්න නිවාගැනීමේ හැකියාව පවතී. අඩු ආදායම් ලබන, කුසගින්න දැනේ නම්, තමන්ගේ ආහාර වේල සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී නම් නුගේගොඩ Green Techer පරිශ්‍රයට පැමිණ තම කුසගින්න නිවා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ සඳහා එම මෙත් බෝ සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත බොහෝ පිරිසක් දායකත්වය ලබාදෙති. එහිදී විශේෂයෙන් තම ශ්‍රමයෙන් දායකත්වය ලබාදෙනු ලබන පිරිස අමතක කළ නොහැකිය. මුදලටවත් සොයාගත නොහැකි ඒ ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබන පිරිස බැති සිතින් මතක් කළ යුතුමය. එමෙන්ම භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු මෙම ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රාවක පිරිස තම ස්වේච්ඡාවෙන් මෙම පිංකමට තම දායකත්වය ලබාදෙති. සැමදාම උදෑසන හතයි තිහට මෙම ආහාර පිසීමේ කටයුතු ආරම්භ වෙයි. දහවල් දොළහ වනවිට සම්පූර්ණයෙන්ම ආහාර පිස හමාර වේ. මෙහිදී කොටසක් Green Techer පරිශ්‍රයටත් තවත් කොටසක් බත් පාර්සල් ලෙස සකසා කොට්ටාව ජනතාවටත් ලබාදෙයි. කොට්ටාව ප්‍රදේශයේ අඩු ආදායම් ලබන එම පිරිසෙන් දිනපතා දෙදෙනකු බැගින් තම කැමැත්තෙන්ම නුගේගොඩට පැමිණ ආහාර පිසීමේ කටයුත්තට තම දායකත්වය ලබාදෙති.

අපගේ දේශනා අසන, අන්තර්ජාලයෙන් අපේ මේ කටයුත්ත නරඹන ශ්‍රී ලාංකිකයන් වගේම විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ද අපිට මේ සඳහා අනුග්‍රාහකයන් ලබලා දෙනවා. එමෙන්ම අපේ භාවනා මධ්‍යස්ථානය විදේශිකයන්ට විවෘත වුණ තැනක්. විපස්සනා ප්‍රගුණ කිරීම සඳහා අවුරුද්දකට පන්සීයක් හයසීයක් අතර සංඛ්‍යාවක විදේශිකයන් අපගේ භාවනා මධ්‍යස්ථානයට පැමිණෙනවා. ඔවුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අප දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනගා ගෙනයි තියෙන්නේ.විශේෂයෙන් එංගලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල සුදු ජාතිකයන් පවා මේ කටයුතුවලට අපිත් සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා. මෙම කටයුත්ත සඳහාද ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගයද අපිට ලැබේවි යැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා ලංකාවේ මේ කටයුත්ත ආදර්ශයට ගෙනා තවත් පිරිසක් ඒකරාශි වී මේ කටයුත්ත තමන්ට හැකි අයුරින් සිදුකරමින් මේ රටේ ජනතාවගේ කුසගින්න නිවාලන්නට අත්වැලක් වේවි යැයි අපි විශ්වාස කරනවා. මේ අර්බුදකාරී වකවානුව තුළ රටේ ජනතාවගේ කුසගින්න නිවාලීම අත්‍යවශ්‍ය කටයුත්තක්. පවතින අර්බුදය හමුවේ අපි කළ හැකි කෙටිකාලීන මේ ව්‍යාපාතිය වෙනුවෙන් අපිට උදව් කරන්නට හැකියාවක් ඇත්නම් එයද මේ මොහොතේ ඉතා වටිනා අවස්ථාවක්. යැයි දෙහිවල සුනන්ද හිමියෝ වැඩිදුරටත් පවසති.

මේ වනවිට දිනකට කිලෝ පනස් පහත් හැටත් අතර සහල් ප්‍රමාණයක් මේ සඳහා භාවිතයට ගනී. එක එළවළුවකින් කිලෝ හතළිහක් හතළිස් පහක් අතර ප්‍රමාණයක් සකස් කෙරෙයි. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. දිනපතා මේ සඳහා එකදිගට වෙහෙස මහන්සි වන මිනිසුන්ගේ ශ්‍රමය ඉතා වටී. පවතින ගෑස් අර්බුදය හමුවේ මේ ආහාර පිසීමට ඔවුන්ට දර ලිප යොදාගැනීමට සිදුව තිබේ. පැය ගණනාවක් දැල්වෙන විශාල දර ළිපක් ළඟ කාලය ගත කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැත. මේ රටේ බලධාරීන්ට මේ රටේ මිනිසුන්ගේ කුසගින්න නොදැනුණාට බෝසත් මාර්ගයේ ගමන් ගන්නා ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ආශීර්වාදයත් මඟ පෙන්වීමත් ඔස්සේ ගමන් ගන්නා මේ රටේ මනුස්සකම් හඳුනන මිනිසුන්ට ඒ බව දැනෙයි. මේ ඔවුන්ගේ සත් ක්‍රියාවට මුදලින්, ශ්‍රමයෙන් දායකත්වය ලබාදෙන්නට මේ ඔබටත් සුදුසුම කාලයයි. ඒ සඳහා දෙහිවල සුනන්ද හිමි දුරකථනය - 0778 353353 ඔස්සේ සම්බන්ධ කරගත හැක.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ