2022 ජුලි 17 වන ඉරිදා

තරුණයන් සමග සටනට ගිය දොස්තර මහත්තයා

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 648

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නදැයි කියමනක් තිබේ. ඒ වගේ යුද සෙබළකු යුද්ධයට යන්නේ ඔහු සතු බලගතුම අවි අත දරාගෙනය. බුර බුරා නැගෙන ජීවන බර දරාගත නොහැකිව ඉකුත් 9 වැනිදා රටවැසියෝ බාධක මැදින් කොළඹට ඇවිත් නිරායුද අරගලයක මතක මේ මහපොළොවට ඉතිරි කළෝය. මහා මිනිස් ගංඟාවක් සතර දෙසින්  ගලා එද්දී එක්තරා දොස්තර මහත්තයකු අරගලයට පැමිණ සිටියේ අන් කිසිවකුට නොමැති තරම් ආයුධ සන්නද්ධවය. ඔහු නමින් වෛද්‍ය උත්පල සංකල්පයි. 

ජන ගඟ මැදින් ඔහු ඇතුළු පිරිස ඇතුළු වන්නේ කොළඹ නගරයේ ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති මන්දිරය දෙසටය. ආරක්ෂක අංශවල ඇස් මවිත කරවූයේ පිරිස අත දරා සිටින ආයුධ ගැනයි. 
ආයුධ සන්නද්ධ බළකායක් සමඟ ඔහු කොළඹ කොටුව චැතම් වීදිය දිගේ ගමන් කර මාර්ගයේ එක් ස්ථානයක නැවතුණේය. පිරිස ආයුධ තොගය එකින් එක දිගහරින්නට වූහ. එම බෑග්වල පුළුන්, බැන්ඩේජ්, සර්ජිකල් ස්ප්‍රිතු, මැහුම් සැරහුම්, සේලයින් ඇතුළු වෛද්‍ය උපකරණ රුසක් ඒ අතර විය. පුළුන් කැබැල්ලෙන් සේලයින් බෝතලයෙන් අරගල කරන්නේ කෙසේදැයි යමකුට ප්‍රශ්නයක් මතු වීමට පුළුවන. ආදරයේ අරගලයට ආදරය අරන් ආ ඒ දොස්තර මහතා එම ප්‍රශ්නයට අපට උත්තර දුන්නේ මෙසේය.

“මම වෛද්‍ය උත්පල සංකල්ප. දැනට කුලියාපිටියේ උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විදිහට සේවය කරනවා. අරගලයට අපිට පුළුවන් විදිහට සහාය දක්වන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලයේත්, උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලයේත් 10ක පමණ පිරිසක් අරගෙන අපි පොඩි ක්ෂේත්‍ර රෝහලක් විදිහට අවශ්‍ය බෙහෙත් සහ ශල්‍ය උපකරණ අරන් අරගලයට ආවා. අපි අරගල භූමියට ආසන්නයේ කොළඹ චැතෑම් වීදියේ මාර්ගය අයිනේ වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටෙව්වා. අපි කොටසක් එතැන සිටිනවා. තුවාල ලැබූවන් රුගෙන එන්න තව කොටසක් ඉදිරියට යැව්වා. අරගලය අතරතුර හදිසි ඕනෑම අවස්ථාවක අවදානමක් ආවොත් අපි සූදානම් සියලු දෙනාටම ප්‍රතිකාර කරන්න. හැමෝගෙම ජීවිත බේරාදෙන්න.” 

ලොවපුරා යුද ගැටුම්වලදීත් ක්ෂේත්‍ර රෝහල් ඉදිවූ අවස්ථා අපි දැක ඇත්තෙමු. ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා විපතට පත්වූවන්ට සහන සැලසීය. මෙයට පෙර අපේ රටට මෙවන් අත්දැකීමක මතක ඇත්තේ උතුරේ යුද වාතාවරණයේදීය.

ගිනිගහන මද්දහනේ එක් පසෙක අවි අමෝරා සිටින ආරක්ෂක භටයන්ය. අනෙක් පස සිංහ ධජ අතැතිව සිටින නිරායුද වැසියන්ය. ටිකෙන් ටික අරගලය උණුසුම් විය. විරෝධතා සටන් පාඨවලින් මුළු කොළඹ නගරයම දෝංකාර දෙන්නට විය. උස ගොඩනැගිලිවල සිට ආරක්ෂක අංශ එල්ල කරන කදුළු ගෑස් වරැසාව මැද්දේ හැල්මේ දුවන විරෝධතාකරැවන්ගේ එකම ගැලවුම්කාරයා වූයේ වෛද්‍ය උත්පල ප්‍රමුඛ කණ්ඩායමයි. කදුළුගෑස් සැරට හුස්ම ගැනීමට අපහසු වූවන්ට වෛද්‍ය සහායක පිරිස ග්ලූකෝස්, වතුර ලබාදී මූලික ප්‍රතිකාර සිදු කළෝය. වමනය යාම පාලනය සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාරද සිදුකළහ.

සටන ටිකෙන් ටික තීව්‍ර වෙද්දී සතුට සොයා ආ කඳුළින් පිරැණු මිනිසුන්ට ඉහළ මුර කුටිවල සිට කදුළු ගෑස් වරැසා ඇද හැලුණේය. ලේ ඇට මස් නහර පුපුරා යන තරමට කඳුළු ගෑස් උණ්ඩ ඇඟ පසාරැ කරගෙන යන තරමට කුරිරැ වූයේය. උණ්ඩ වැදුණු පස් දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා වෛද්‍ය කණ්ඩායමට බාර වූහ. කඳුළු ගෑස් උණ්ඩයක් තරැණයකුගේ ඇඟිල්ලක වැදී ඇඟිල්ල කැඩී මස් එළියට නෙරා බරපතළ තුවාල ලබා සිටි අවස්ථාවේදී ඔහුටත් මූලික ප්‍රතිකාර සිදුකර රෝහල් ගත කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වූයේය. 

අපේ කතාබහට අඩුවැඩිය එක්කරමින් අරගලය මොහොතේ තමන් හමුවට ප්‍රතිකාර සඳහා පැමිණි තරැණයකු ඉතිරි කර ගිය මතකයක් පිළිබඳ සංවේදී කතාවක් වෛද්‍ය උත්පල සංකල්ප මහතා අප හමුවේ හැඟුම්බරව දිග හැරියේය.
“කඳුළුගෑස් කැනිස්ටරයක් තදේටම ඔළුවෙ වැදී නළල පැලී ලේ ගලන කොල්ලෙක් මගේ ළඟට උස්සන් ආවා. මා ඔහු සමග කතාකළා. මලයෝ මැහුම් දෙකක් විතර දාන්න වෙනවා. නැත්නම් මේ කැලල ජීවිත කාලයටම මකන්න බැරිවෙනවා යැයි මා කිව්වා. මැහුම් දැම්මොත් කැළල නැතිවෙනවාද? යන ප්‍රශ්නයට ඔව් මම උත්තර දුන්නෙමි. එහෙනම් මහන්න එපා දොස්තර මහත්තයා, අද දවස මතක් වෙන්න මේ මාර්ක් එක තිබිච්චාවේ.” එම නාඳුනන තරැණයාගේ ඒ වචන කිහිපය මගේ හදවත පසාරැ කරගෙන යන උණ්ඩයක් තරමට මට ගොඩාක් දැනුණා යැයි වෛද්‍යවරයා පැවසුවේය. බැංකු සංගම් නිලධාරියකු බව කියන ඔහු නමින් චාමර මදුසංකය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය උත්පල සංකල්ප වෛද්‍යවරයා පැවසූයේ මෙවැන්නකි.

“2009 යුද සමයේ මා සේවය කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. ඒ කාලෙත් යුද්ධයෙන් වෙඩි වැදුණු තරැණයන් ගෙනාවාම මුලින්ම කළේ ලේ නවත්වා ගැනීමයි. නොදැනුවත්ව ලේ ගොඩක් ගියොත් ඒතැන ලොකු ජීවිත අවදානම එනවා. මට ඒ අත්දැකීම තිබුණා.  මේ දවසේ ලොකු සටනක් යයි කියලා හිතුණා. ඉතින් මම කලින් චැතෑම් පටුමගේ ගිහින් තියෙනවා. ඒ පාරේ ගිලන් රථ හිරවුණොත් මුකුත් කරගන්න බැරි වෙනවා. අපිට තුවාල වූ අවස්ථාවේම ලේ යන එක නවත්තගන්න පුළුවන් වුණොත් ජීවිත හානි විශාල වශයෙන් නවත්වාගන්න පුළුවන්. ඇත්තටම අපි හිතුවා වගේ ගිලන් රථවලට පවා එම ස්ථානයට එන්න අපහසු වුණා. යුද්ධයකදී තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රතිකාර කරන්න පහසුකම් සලසනවා. එවැනි දෙයකට අපි සූදානමින් ගියා. අරගලයට විශාල පිරිසක් ආවාම එම ස්ථානයේ සෞඛ්‍ය පහසුකම් අවශ්‍යතා සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නෑ. අපි අපිට පුළුවන් විදිහට අරගලයට සහාය දෙන්න හැකි උපරිම ප්‍රමාණයෙන් ලෑස්ති වෙලා ගියා. තුවාලවලට බෙහෙත් දාන්න බේත් මැහුම් පවා අරගෙන ගියා. දවස පුරාම තුවාල ලැබූවන් පස් දෙනකුට සහ සුළු තත්ත්වයන්ට මූලික ප්‍රතිකාර 10 කට පමණ ප්‍රතිකාර කරා. වෙඩි වැදුණු අයට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය නිසා මුල් අවස්ථාවේ වෙඩි තැබූ අය වාහනවලින් රෝහල් ගත කරා. අපි අවශ්‍ය වුවහොත් නැවතී සේවය කිරීමට සූදානමින් ගියත් එවන් අවශ්‍යතාවක් මතුවූයේ නෑ. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල බොහෝ දෙනකු හොඳ ශික්ෂණයකින් අවබෝධයකින් වැඩ කළා. ඒ නිසා වීමට තිබූ ලොකු අනතුරක් වැළකුණා කියා සිතනවා. ඒ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි. මුළු රටේම ඉන්ධන අර්බුදයක් පවතින අසීරැ කාල වකවානුවක අපේ මේ ගමනට ප්‍රධාන දායකත්වය සැපයූවේ කුලියාපිටියේ ව්‍යාපාරික මහේල පෙරේරා මහතා. ඔහු අපිට බස් රථයක් අරන් නොදෙන්නට අපට මේ ගමන වෙනත් අසීරැ ක්‍රමයක් සොයන්නට වෙහෙසෙන්නට සිදුවෙනවා.” යැයි වෛද්‍යවරයා පැවසීය. 

ජනාධිපති මන්දිරය ආශ්‍රිත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ නිවැරදි මෙහෙයවීමක් යටතේ එදින රාජකාරි කළ බොහෝ නිලධාරීන්ගේ ශික්ෂණය හේතුවෙන් විශාල අනතුරක් වැළකුණු බවත් තමන් හමුවට පැමිණි තුවාලකරැවන් පිරිස විශාල ප්‍රමාණයකින් අඩුවීමටද එය හේතු වූ බවත් එය සතුටට කරැණක් බවත් වෛද්‍යවරයා පැවසීය.  

තෙල් නෑ කියා රෝහල් වර්ජනය කරනා දොස්තරලා අතරේ, අරගලවලට බම්බු ගහගන්න කියා චැනලින් මධ්‍යස්ථානවල සල්ලි මිටි ගණන් කරනා සමහර දොස්තරලා මැද්දේ රට වෙනුවෙන් ආදරයේ අරගලයට ආදරය නොමිලයේ අරන් ආ වෛද්‍ය උත්පල සංකල්ප ඇතුළු සහායක කාර්ය මණ්ඩලයේ මෙම සද්ක්‍රියාව මේ මාතෘභූමියේ සැමදා මතකයේ රුඳේවි. අපි ඔවුන්ට සෙනෙහසින් ආයුබෝවන් කියා සමු දුන්නෙමු.

 සසංක චලන ගිම්හාන