2022 ජුලි 10 වන ඉරිදා

පයින් යන්න පුරුදු කරන බස් ගාස්තුව

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 238

බස්තියන් පයින් යනවා යැයි කතාවක් ඔබ අසා ඇතැයි සිතමි. එහෙත් මේ කියන්නට යන්නේ එවැනි කතාවක් නොව බස් තියන්, පයින් යන කතාවකි. 

ඉන්ධන අර්බුදය රටම කණපිට හරවා අවසන්ය. ප්‍රාඩෝ, බෙන්ස්වල ගිය අය මරුතිවල යැව්වේය. මරුතිවල ගිය අය බස්වල යැව්වේය. බස්වල ගිය අය කෝච්චිවල යැව්වේය. අවසානයේ බස් කෝච්චිවල ගිය දෙගොල්ලන්ම පයින් යැව්වේය. ඒ තරමට මෙම හිත්පිත් නැති ඛේදවාචකය දරුණු වූයේය.

පඳුරකට ගැහුවොත් විසිවෙන තරමට බස් රථ තිබූ කාලයේ බස් රථවල හැඩ බලමින්, ගණන් කරමින්, ලස්සන බස් තෝරමින් බස්වලට ගොඩවුණු කාලයක් තිබිණ. එහෙව් රටක මේ වනවිට එන බස් රථයට කොහොම හරි නැග ගැනීමට තරම් ජනතාව විශාල පීඩනයක පසුවෙති. එහෙත් පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දරාගැනීමට නොහැකි ලෙස බස් ගාස්තුව ඉහළ යාමෙන් බොහෝදෙනා බස් ගමන්වලට ආයුබෝවන් කියා සිටිති.

කොන්ද නමාගෙන ගිය පාන් බාග වෑන්වල සාඩින් පැක් කරන්නාක් මෙන් මිනිසුන් පැක් කරගෙන ගිය කාලයක් තිබිණ. අදටත් වැල්ලවත්තෙන් ගමන් ආරම්භ කරන කොළඹ - යාපනය වෑන් රථ සේවා තිබේ. ඒ කාලයේ අම්බලන්ගොඩ ඉඳන් හික්කඩුවට බාග ටිකට්ටුව සත හැත්තෑපහකි. ඒ 1980 වර්ෂයේය. දැන් අප සිටින්නේ 2022 වර්ෂයේය. දැන් අම්බලන්ගොඩ ඉඳන් හික්කඩුවට කි.මී 15 දුරට සාමාන්‍ය බස් ටිකට්ටුව මේ වනවිට රුපියල් 100 පැනලාය.

දහදිය මහන්සිය දවස පුරා දියකරන ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස අවස්ථා කිහිපයකදී බස් ගාස්තුව නහුතෙට ඉහළ ගියේය. ගිය වසරේ නොවැම්බර් මාසයේදී රුපියල් 14 ට තිබූ අවම ගාස්තුව ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් 17 දක්වා වැඩිවූයේය. මාර්තු මාසයේදී රුපියල් 20ක්ද, ඉන්පසු අප්‍රේල් මාසයේදී රුපියල් 27 ක්ද, මැයි මාසයේදී රුපියල් 32ක්ද දක්වා වැඩි වූ අවම ගාස්තුව මෑතක රුපියල් 40ක් දක්වා වැඩිවිය.   

අපේ රටේ මගී බස් රථයක ගමන් කරනවා කියන්නේම අධි රුධිර පීඩනය හැදෙන තරමේ දුෂ්කර කාර්යයකි. රියැදුරු කොන්දොස්තරලා සිතා සිටිනුයේ බස් රථය ඔවුන්ගේ රාජධානිය බවයි. එහෙයින් මහඒජන්ත බසයට නැග්ගත් අවිනීත රියැදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ ගෝරනාඩුවට හිස නමා සිටීමට සිදුවෙයි. ඒ වගේම භූමිතෙල් කරත්තය වගේ නැවතුමෙන් නැවතුම නවතා සිටීමෙන් මගීන්ගේ කාලය අමු අමුවේ විනාශකර දමයි. ටිකට් පතක් නොදීමත් කාලයක පටන් සිදුවන බරපතළ අකටයුත්තකි. මෙවැනි බස්රථවලින් මගීන්ට සිදුවන හිරිහැර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලට පැමිණිලි ලැබුණද ඔවුන් එම පැමිණිලි විභාග කරනුයේ පැමිණිලිකරුවන්ගේ මුහුණු බලා යැයි ජනතාව චෝදනා කරති.  

ජනතා මුදලින් නඩත්තු වන සුදු අලි වැනි මෙවැනි බලධාරී ආයතනවලට පැමිණිලි කිරීම බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩක් බවටද ජනතාව චෝදනා කරති. ජාතික පොදු ප්‍රවාහනයේ ගාස්තු තීරණ කළ යුතු වන්නේ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා වුවද වර්තමානයේ රටේ බස් ගාස්තුව තීරණය කරනු ලබන්නේ  බස් සංගම් විසිනි. බස් සංගම් මස් රාත්තලම ඉල්ලුවත් එයට නියාමනයක්, පාලනයක්, වාරණයක් කිරීමට ජනතාවට වගකියන කිසිදු රාජ්‍ය ආයතනයක් මේ වනතුරු නැත. එහෙයින් මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කිරීම බස් සංගම්වලට පනින රිළවුන්ට ඉනි මං බැඳීමක් වැනිය. කොරෝනා කාලයේදී ආසන ගණනට මගීන් ගෙනයාමට කියා ගණන වැඩිකරගත් සංගම් කොරෝනා කාලයේදීම පොල් පටවා මගීන් ගෙනගියේය.

මෙරට පොදු මහජනතාව සතු ප්‍රධාන ප්‍රවාහන සේවාව වන්නේ බස් සහ දුම්රියයි. එහි අය කරන ගාස්තුව දෛනික ආදායමට සරිලන සාධාරණ අයකිරීමක් විය යුතුය. බස් රථයක එක් නැවතුමක් ගමන් කර බැස්සත් රුපියල් 40 ක අවම ගාස්තුව ගෙවීමට මගීන්ට සිදුවන්නේය. බස් සංගම් මෙම ගාස්තුව ලබන මාසයේ රුපියල් පනහක් කියූවත් එය දී පැත්තකට වී සිටීමට ජනතාවට සිදුවෙයි. 

“මෑතක ඉඳන් බස්වල යද්දී එද්දී පුදුම දුකක් විඳින්නේ. පුදුමාකාර පීඩනයක්. මාස තුනකට විතර කලින් ගෙදර ඉඳන් වැඩට එන්න බස් එකට මට ගියේ රුපියල් 50ක් වගේ මුදලක්. දැන් වැඩට එන්න දවසකට රුපියල් 300කට ආසන්න ගාණක් යනවා. මේ දවස්වල සල්ලි දීලාත් බස්වල යන්නේ එල්ලිලා. එහෙම ගෙදර ගිහින් වෙනිවැල්ගැට තම්බනවා. මේ යන විදිහට රස්සාවට යන්න එන්න බස්වලට සල්ලි හොයන්න තවත් රස්සාවක් කරන්න වෙනවා.”

දරාගැනීමට බැරි බස් ගාස්තුව හමුවේ තමන් පත් වී සිටින දැඩි අපහසුතාව පිළිබඳ මගියකු පැවසූ ඒ කතාව මේ දිනවල බොහෝ දෙනාගේම කතාව බව හැමෝම දනිති. බස් රථයෙන් රුකියාවට යන්න සල්ලි හොයාගැනීමට තවත් රුකියාවක් කිරීමට සිදුවීම ම බරපතළ ඛේදවාචකයකි. 

“මෙම වසරේ අවස්ථා 4කදී බස් ගාස්තු සංශෝධනය කළා. ඒ අවස්ථා හතරම වැඩිවූ නිර්ණායකය ඉන්ධන මිල වැඩිවීමයි. එහෙත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදෙන ජූලි 1 වැනිදාට ඉන්ධන මිල වැඩිවීමට අමතරව තවත් කරුණු 11 යටතේ  අදාළ ගණනය කිරීම් සිදුකරනවා. ඒ අනුව සියයට 22 කින් බස් ගාස්තුව වැඩිවෙනවා.” මෙවර බස් ගාස්තුව සියයට 22කින් වැඩිකිරීමේ නිල ප්‍රකාශය සිදුකරමින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරුන්ඩා මහතා එසේ පැවසීය. ඔහු සිය කතාවේදී පැවසූ බස් ගාස්තුව වැඩිකිරීමට මුල් වූ සහ බස් සේවකයන්ට පමණක් සුවිශේෂී වූ කරුණු 11 මොනවාද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කළද එය ඉටු නොවීය.

ඉතා කෙටි කාලයකදී මේ ආකාරයට ගාස්තු වැඩිවුවද බස් ගාස්තුව සහ දුම්රිය ගාස්තුව අහස පොළව හා සමානය. මගියකුට කැලණියේ සිට කොළඹ කොටුවට බස් රථයකින් පැමිණීමට රුපියල් 60ක මුදලක් වැය වන අතර එම ගමනාන්තය දුම්රියෙන් පැමිණීමට වැයවන්නේ‍ රුපියල් 10 ක මුදලකි. එසේම ගම්පහ සිට කොළඹ කොටුවට බසයෙන් එනවා නම් රුපියල් 250කට ආසන්න මුදලක් වැයවන අතර එම ගමනාන්තය දුම්රියේ රුපියල් 40 ක ටිකට්ටුවෙන් පැමිණීමට හැකිය. කොළඹ සිට බෙලිඅත්තට බස් රථයෙන් යනවානම් රුපියල් 884ක් වන අතර කෝච්චියෙන් රුපියල් 200ක ටිකට්ටුවෙන් ගමන් කළ හැකිය. අප්‍රේල් මාසයේදී හම්බන්තොට සිට යාපනය දක්වා වූ රුපියල් 1671ට  තිබූ සාමාන්‍ය සේවා ගාස්තුව මේ වනවිට රුපියල් 2436 ක් වෙයි. විශේෂයෙන් අවම බස් ගාස්තුව ඉහළ ගණනක් වීම හේතුවෙන් බොහෝදෙනා කිලෝමීටර් දෙක තුන පා ගමනින් ගමන් කරති. පාන් කියාගන්න බැරි ජනතාව මේ දිනවල සුඛෝපබෝගී බස් රථ දිහා නම් හොරෙන්වත් බලන්නේ නැති ගාණය. මේ ආකාරයට කෙටිදුර බස් රථයෙන් ගිය මගීන් විශාල පිරිසක් මේ වනවිට බස් රථයෙන් ගමන් නොකර සිය ගමනාන්තය දක්වා පයින් යති. මේ දිනවල අවම බස් රථ ප්‍රමාණයක් මාර්ගයේ ධාවනය වීම හේතුවෙන් බස් රථවල වහලයේ සහ පිටුපස බෆර්වල පවා එල්ලී මාරක ගමනක යාමට ජනතාවට සිදුවෙයි. ඒ කොහොම ගියත් පා පුවරුවේ නෙවෙයි බෆර් එකේ තනි අතෙන් එල්ලී සිටියත් බස් ගාස්තුවේ කිසිදු වෙනසක් නැත.

පාසල් නිමවී මාසික සීසන් එකෙන් අමතර පන්ති ගිය සිසු සිසුවියන්ට මේ දිනවල පාසල් නිවාඩුව හේතුවෙන් අමතර පන්ති යාමට නොහැකි වී අසීරුවට පත් වී සිටිති. එයට හේතුව එම වාර  ප්‍රවේශ පත්‍රය වලංගු වනුයේ නිල ඇඳුමින් සිටියහොත් පමණක් වන හෙයිනි.

අත පය හතර හෙරළි පොළොස් හයිය හත්තිය ඇති මහා කළු සිංහලයාට අමුතුවෙන් ඇවිදින්න පුරුදු කරන්නට දෙයක් නැත. එහෙත් ජනතා දෙපාවල සවිශක්තිය මනින්න යැයි කියා බස් සංගම් ඇතුළු ප්‍රවාහන බලධාරීන් හිතූ හිතූ ආකාරයට ගාස්තු වැඩිකිරීම කෙතරම් උචිතදැයි ප්‍රශ්නයකි. බලන්ගොඩ විවේකානන්ද විද්‍යාලයේ දරුවන් අකුරු කරන්නට ගිරිදුර්ග මැදින් කිලෝමීටර් විසිගණනක් පා ගමනින් උදේ හවා පාසලට යන එන රටක පටු අරමුණුවලට මුවා වී කල දුටු කල වළ ඉහගන්නා ඇතැම් බස් සංගම් ගැන කතා කර ඵලක් නැත්තේය. බස් සංගම් සභාපතිවරු කැමරා ඉදිරියේ ගහමරා ගත් පමණින් ජනතාවට සුගතියක් නොවන බවත් එයින් බස් ගාස්තුව පහළ නොයන බවත් නොකියාම බැරිය.

වත්මන් බස් ගාස්තුව සම්බන්ධයෙන් අප කළ විමසීමේදී බස් හිමිකරුවකු පැවසූයේ මේ දිනවල ඉන්ධන අර්බුදය හේතුවෙන් කර්මාන්තය දරුණු ලෙස පීඩා විඳින බවයි. පවතින තත්ත්වය අනුව අවම බස් රථ සංඛ්‍යාවක් මාර්ගයේ ධාවනය වන බැවින් සිය දෛනික ඉලක්කගත ආදායම් සීමා ඉක්මවා ලාබ ලබන බවත් රියැදුරු සහ සහායක මුදල් බෙදාගෙනත් හිමිකරු වන තමන්ට සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වන බවයි. 

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බස් මගියාට හදිසි අවස්ථාවක දුම්රියේ යාමට තමන් සතු මුදල් ප්‍රමාණවත් වුවද දුම්රිය මගියාට හදිසියේ බසයක යාමට සිදුවුවහොත් එයට ඔහු සතු මුදල් මදිවෙනු නිසැකය. ඒ තරමට බස් ගාස්තුව ඉහළ ගිහින්ය.බොහෝ අවස්ථාවල මගියා දෙන මුදලට ටිකට් පතක් නිකුත් නොකිරීමෙන් කොන්දොස්තරලා හිතූ හිතූ මිල ගණන් ගනිති. එසේම බොහෝ ස්ථානවල ගාස්තුවලට අදාළ සීමා වෙන් කිරීමේදී ප්‍රායෝගික ගැටලු රුසක් ඇතත් එම ගැටලු නිරාකරණයට එකදු බලධාරියකු හෝ ඇහැක් හැර මේ වනතෙක් බලා නොමැත. 

වර්තමාන බස් ගාස්තුව බොහෝ දෙනාට පයින් යන්න පුරුදු කරති. එහෙත් ඒ බොහෝ දෙනා එලෙස පයින් යන්න අමාරුවෙන් හෝ හිත හදාගන්නේ නැතිබැරිකමට විනා පුළුවන් කමකට නම් නොවේය. රටක පොදු ප්‍රවාහනය මේ ආකාරයට කිහිපදෙනකුගේ පෞද්ගලික අරමුණු මත අයාලේ යාමටත් එයින් ජනතාව අනතුරේ හෙළීමටත් ඉඩ දී බලා සිටිය හැකිදැයි මතුවන්නේ ප්‍රශ්නයකි. බස් ගාස්තුව ඉහළ යාමට නිසි වැඩපිළිවෙළක් නොයෙදුවහොත් බස්තියන්ට පමණක් නොව හෙට දවසේ මුළු රටටම යන්න වෙන්නේ පයින්ය.

(සසංක චලන ගිම්හාන)