2022 ජුලි 03 වන ඉරිදා

ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ට ගජවාසි වැඩක්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 10:00 61

මිනිසකුට ජීවත්වීමට ඔක්සිජන් කොතරම් වැදගත්ද? එතරම්ම රටක් පවත්වාගෙන යන්නට විදේශ විනිමය වැදගත් වෙයි. ඩොලර් නම් ඔක්සිජන් ලබාදී ශ්‍රී ලංකා ආර්ථිකය නම් රෝගියාගේ දිවි බේරාගැනීමට අපට සිදුව තිබේ. එහෙත් දින සති ගෙවී ගියේද රට තුළට ඩොලර් ගලා එන ක්‍රමයක් පිළිබඳ පැහැදිලි අදහසක් අපට නොමැත.

කෙසේ වෙතත් රටට ඩොලර් ගෙන එන විවිධ වැඩපිළිවෙළ, සැලසුම් පිළිබඳ කතිකාවන් බොහෝය. රටට ඩොලර් ගෙනඑන එවන් නව සැලසුමක් පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු. මෙය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහායෙන් රටට ඩොලර් රුගෙන එන නව වැඩපිළිවෙළකි. දැනටමත් ඒ සඳහා මූලික එකඟතාවයන් නිර්මාණය වී හමාරය. ඉතාම කෙටි කාලයක් ඇතුළත එය ක්‍රියාවට නැංවෙනු ඇත. මෙය විදෙස්ගත ශ්‍රී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගෙන් මෙරට අවශ්‍ය ඩොලර් ලබාගැනීමේ වැඩපිළිවෙළකි. ආකර්ෂණීය ණය යෝජනා ක්‍රමයක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

එතෙර ගිය ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් ගෙවන්නේ නම් යම් අමුණකට අර්බුදයට සහනයක් සැලසෙනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහෙත් එය අර්ධ සත්‍යක් බව පළමුව සඳහන් කළ යුතුය. මන්ද විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට එවනු ලබන විනිමය කිසිසේත්ම රට පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා අපනයන ආර්ථිකය දියුණු කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලිකවම සිදුවිය යුතුය. අනෙක් අතට එතෙර ගොස් මුදල් උපයන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට මුදල් එවීමට සාධාරණ හේතු තිබිය යුතුය.

කෙසේ නමුත් මේ මොහොතේ  මරණාසන්න රෝගියකු වන ශ්‍රී ලංකා ආර්ථිකයට ඔක්සිජන් ලබාදිය හැකි ප්‍රධාන පිරිස විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝය. සිය දහදිය මහන්සියෙන් ධනය උපයන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් රට හමුවේ පවතියි. එහෙත් සැබවින්ම ඔවුනට හිතුමතේ මව්රටට සිය දහදිය කඳුළු උපයාගත් ධනය එවිය නොහැකිය. ඒ සඳහා ඔවුනටද ප්‍රතිලාභ ලැබෙන ආකර්ෂණීය වැඩපිළිවෙළක් සකස් විය යුතුමය.

පසුගිය කාලය පුරාවට වැඩපිළිවෙළ රුසක් මේ සම්බන්ධව යෝජනා වී තිබුණි. ඇතැම් යෝජනා ක්‍රියාත්මක වෙමින්ද පවතී. අප අවධානය යොමුකරන මෙම සුවිශේෂී යෝජනාව සඳහාද මෙරට වාණිජ බැංකු සියල්ලම පාහේ එකඟ වී ඇතැයි දැන ගැනීමට ලැබේ. මෙය විදෙස් රුකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට වාණිජ බැංකු වෙත එවන විදේශ සම්ප්‍රේෂණ හරහා ඔවුනට සුවිශේෂී විශේෂ ණය මුදලක් ලබාදීමේ පිළිවෙළකි. මෙය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන්නකි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක ඇති අනේවාසික ගිණුමක් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගත හැකි වැඩපිළිවෙළක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙනු ඇත. උදාහරණයක් ලෙස මෙම ක්‍රමය හරහා යම් විගමණික සේවකයකු මසකට ඇමරිකන් ඩොලර් 100 බැගින් වසරක් සඳහා එවනු ලබන ඇමෙරිකානු ඩොලර් 1,200ක මුදලක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 6,000ක ණය මුදලක් ශ්‍රී ලංකාව තුළදී ඔහුට ලබාගත හැකිවනු ඇත. බැලූ බැල්මට මෙය ඉතා ආකර්ෂණීය වැඩපිළිවෙළකි.

මැද පෙරදිග ඇතුළු ලොව පුරා බොහෝ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීමට භාවිත කරනුයේ නීතිවිරෝධී ක්‍රමවේදයන්ය. පෞද්ගලිකව වඩාත් වැඩි ආර්ථික වාසි සහිත මෙම ක්‍රමවේද රටක් ලෙස පොදුවේ අපට ඉතා අයහපත් වේ. රටේ විදේශ සංචිත මේ හරහා වර්ධනය නොවන අතර අතරමැදියෝ ලාභ උපයති. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ මෙරට රුගෙන ඒමට සමත්ය. අවම වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ඔවුහු රට තුළට රුගෙන ඒමට කටයුතු කරති. එහෙත් උණ්ඩියල් ක්‍රමවේදය නිසා මෙම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් රට අහිමිවි වී යයි.

මෙවන් ක්‍රමවේදයන්වලට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පෙළඹීම හුදෙක් ඔවුන්ගේ වරදක් නොවේ. අප රටේ රාජ්‍ය පාලනයේ දුර්වලතාවයක් මේ ආදී කටයුතු සඳහා මංපෙත් විවර කර ඇත. සිය දුක් මහන්සියෙන් උපයාගන්නා උපයාගන්නා මුදල උපරිම වටිනාකමකින් සිය නෑසියන් අතට පත් කිරීම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අරමුණයි. එය සාධාරණය. කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවූ පසුබිමක ඔවුහු එම ක්‍රමය අනුගමනය කළෝය. මෙම ක්‍රමයෙන් මිදී නීතිමය රාමුවකට ඔවුන් රැගෙන ඒමට නම් මේ ආදී ආකර්ෂණීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතුමය. පස් ගුණයකින් ණය ලබාදීමේ වැඩපිළිවෙළ සැබවින්ම ආකර්ෂණීය. ජීවිතයේ විවිධ අරමුණු සහි විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන්ට සිහින සැබෑකර ගැනීමට මේ කදිම අවස්ථාවකි.

මේ අතර විදේශගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රජයේ සහ පෞද්ගලික බැංකුවල ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී දැනට ලබාදෙන ප්‍රතිලාභවලට අමතරව තවත්  ප්‍රතිලාභ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද සිය යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මෙම වැඩපිළිවෙළට සමගාමීවය.

වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට මෙරට සියලු වාණිජ බැංකු එකඟ වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පවත්වා තිබුණි. ඊට විදේශ සේවා හා කම්කරැ අමාත්‍ය මනූෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරැසිංහ යන මහත්වරැ හා මෙරට සියලුම වාණිජ බැංකු නියෝජිතයෝද සහභාගී වී සිටියහ. මෙහිදී ගොඩනැගුණු එකඟතා අනුව ඉතා ඉතා කඩිනමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා