2022 ජුලි 03 වන ඉරිදා

ලයිට් බිලෙනුත් රතු එළියක්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 97

ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා වගේ යැයි සිංහල ගැමි ව්‍යවහාරයේ කතාවක් ඇත. එහි තේරුම ගැන අමුතුවෙන් පහදා දිය යුතු යැයි මා සිතන්නේ නැත. අද මමත් මෙය කියවන ඔබත් ගහෙන් වැටුණු එකා හා සමානය. දැන් එකදිගට ගොන්නු ඇණගෙන ඇණගෙන යනවා මිස වෙන කිසිවක් සිදුවන්නේ නැත. එනම් කරදර පිට කරදරය. හුස්ම ගන්නට නොහැකි තරම් කරදර පිට කරදරය. තෙල් නැත. ඒත් තෙල්වල මිල අහස උසටය. දැන් අතේ මිටේ සල්ලිත් නැත. බඩුත් නැත. යන්න එන්න වාහනයක් නැත. කන්න බොන්න විදිහක් නැත. ඒ සියල්ල මැද පැය ගණන් විදුලි කප්පාදුය. ප්‍රශ්නවල අවසානයක් ඇත්තේම නැත.

මේ සියල්ල මැද දැන් තවත් පුදුම කරවන ප්‍රශ්නයක් මතුවෙමින් තිබේ. ඒ විදුලි ගාස්තු වැඩිවීමය. 2014 පසුව දරාගත නොහැකි විදුලි ගාස්තු වැඩිවීමක් මේ වනවිට යෝජනා වෙමින් ඇත. මේ කියන්නට යන්නේ එකී වැඩිවීමේ ක්‍රමය ගැනය. විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ මහජන උපයෝගීතා කොමිසම විසිනි. ඒ අනුව එම කොමිසමට විදුලිබල මණ්ඩලයේ යෝජනාව ඉදිරිපත් වන්නේ මාර්තු මාසය තුළය. ඒ වනවිටත් විදුලි කප්පාදුව සිදුවෙමින් තිබුණු අතර ඒ මොහොතේ කප්පාදු පැය 12-13 අතර විය. එය දරා ගැනීමට නොහැකිව ජනතාව වීදි බසිමින් ඇති මොහොතක් වූ නිසා මහජන උපයෝගීතා කොමිසම ඊට අවසර ලබාදුන්නේ නැත.

කෙසේ වෙතත් එහිදී විදුලිබල මණ්ඩලය විසින් විදුලි බිල සංශෝධනය යෝජනා කර තිබුණේ මෙසේය. සාමාන්‍ය විදුලි ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පිරිස සඳහා දැනට පවතින රුපියල් 54.27 මාසික බිල්පත රු 507.65 දක්වා වැඩිකිරීමටය. එය ප්‍රතිශතයක් ලෙස 834% වැඩි වීමකි. එසේම 31 සිට 60 දක්වා දැනට පවතින 192.55 මාසික බිල්පත 1488.33 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 673% වැඩිවීමකි. එසේම 61 සිට 90 දක්වා දැනට පවතින මාසික බිල්පත 649.06 සිට 2438.50 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 276%කි. විදුලි ඒකක 91 සිට 120 දක්වා දැනට පවතින 1570.49 විදුලි බිල 3545.98 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 126%කි. ඒකක 121 සිට 180 දක්වා දැනට පවතින 2790.87 බිල්පත 5047.90 දක්වා වැඩිකිරීමට යෝජනා කර අති අතර එය ප්‍රතිශතයක් ලෙස 81%ක් බව සඳහන් වේ.

කෙසේ වෙතත් එකී යෝජනාවට අනුව ඊට අදාළව ඒකකයක මිල ඉහළ යන්නේ මෙලෙසය. ඒකක 0-30 දක්වා පැවති එකකයට රුපියල් 2.50ක මිල රුපියල් 8 දක්වාත්, ඒකක 31-60 දක්වා ඒකකයට පැවති මිල 4.85 සිට 10 දක්වාත්, ඒකක 61-90 දක්වා ඒකකයට අය කළ රු10ක මුදල රුපියල් 12 දක්වාත්, ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කළ 27.75 මුදල රුපියල් 30 දක්වාත්, 121 සිට 180 දක්වා ඒකකයකට අය කළ රුපියල් 32 ක මුදල 40 දක්වාත් 180 වැඩි ඒකක සඳහා, ඒකකයකට අය කළ 45ක මුදල රුපියල් 50 දක්වා වැඩිකිරීමටත් මෙහිදී විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර තිබේ. එය සැබවින්ම ඇඟට දැනෙන වැඩිවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම එකඟත්වය පළකර නොමැති අතර ඒ සඳහා ඔවුන් විසින් සංශෝධන ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඒකක 0-30 දක්වාත් 31-සිට 60 දක්වාත් 320%ක විදුලි බිල වැඩි කිරීම 241%දක්වා අඩුකිරීමට කොමිසම සංශෝධනයන් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ගෘහස්ත පරිභෝජනය සඳහා 138%ක ගාස්තු වැඩිවීමක් යෝජනා කළත් කොමිසම 67%දක්වා පහත හෙළීමට තිරණය කර ඇත. එහෙත් විදුලිබල මණ්ඩලයේ යෝජනාව වී ඇත්තේ විදුලි ඒකකය රුපියල් 18.1 සිට 32.48 දක්වා ඉහළ දැමීමටය. එහෙත් මහජන උපයෝගීතා කොමිසම උපදෙස් ලබාදී ඇත්තේ විදුලි ඒකකය රුපියල් 28.14 දක්වා ඉහළ නොදැමිය යුතු බව කියාය. සැබැවින්ම මහජන උපයෝගීතා කොමිසම සිදුකරන්නේ ලංවිම යෝජනාව එහෙට මෙහෙට කරමින් මහා සාධාරණයක් ඉටුකරන බව පෙන්වීමටය. එහෙත් ජනතාව මේ මොහොතේ වැටී ඇති ආර්ථික අගාදය හමුවේ තව තවත් මේ හරහා බෙල්ලේ ගැටේ තදවීම මිස වෙන දෙයක් වෙන්නේ නැත.

මෙම විදුලි මිල වැඩිකිරීම මගින් විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 512 දක්වා වර්ධනය කිරීමට තීරණය කර ඇත. ඒ පවතින පාඩුවත් සමගය. එහෙත් විදුලි බල මණ්ඩලය පාඩුවන්නේ කෙසේද? යන්න හැමෝටම ගැටලුවක් ඇත. සැබවින්ම විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේනේ එහි ක්‍රියාත්මක වන මාෆියාව නිසාය. විශේෂයෙන් පෞද්ගලික බලාගාර හරහා විශාල මුදලකට විදුලිය ගැනීම ප්‍රධාන හේතුවක් වී ඇත. එපමණක් නොව එම පාඩුව අවම කරගත හැකි පුනර්ජනනීය බලශක්තයක් වන සූර්ය පැනල ක්‍රමවේදය සඳහා මණ්ඩලයෙන් තවම තීරණාත්මක මැදිහත් වීමක් නැත. පුනර්ජනනීය විදුලි උත්පාදනය කඩා වට්ටමින් විදුලිබල මණ්ඩලය උත්සාහ කරන්නේ තව තවත් පෞද්ගලික බලාගාර හරහා මහා පරිමාණයෙන් විදුලිය මිලදී ගැනීමය.

එපමණක් නොව විදුලිබල මණ්ඩලයට රාජ්‍ය ආයතන සහ මැති ඇමතිවරු සභාපතිවරු පොලු තබා ඇත්තේ පොඩි ගණන්වලට නොවේය. ලක්ෂ ගණනින්ය. අදටත් මුදල් නොගෙවූ ආයතන, පුද්ගලයන් එමටය. එහෙත් කිසිවකුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත. ඒ එක වල්ලේ පොල් නිසාය. මේ නිසා ලංවිම පාඩුව වසාගැනීමට උත්සාහ ගන්නේ මහජනතාව හරහාය. මහජන උපයෝගීතා කොමිසම පවා මණ්ඩලයට පාඩු කළේ කවුද, පාඩු වුණේ කෙසේද යන්න තවම සොයන්නේ නැත. පුදුමය නම් 2014 වසරේදී විදුලි බිල ඉහළ නැංවීමේදී මහජන උපයෝගීතා කොමිසම විසින් යම් යම් කොන්දේසි කිහිපයක් විදුලි බල මණ්ඩලයට දැමුවත් ඒ කිසිවක් අද වෙනතුරු ක්‍රියාත්මක කර නැත. විශේෂයෙන් මෙහි ඉහත සඳහන් කළ අකාරයට විදුලිය මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා මග හරහා ගැනීමට දුන් යෝජනාය

1. විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාරවලින් විදුලිය නිපදවා සැපයීමේදී විදුලිය මිලදී ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීම.

 2. මණ්ඩලයේ සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් අංශ (බලපත්‍රලාභීන්) විදුලි ගනුදෙනු සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීම.

3. විදුලිබල මණ්ඩලයේ වෙන අංශ සඳහා වෙන වෙනම ගිණුම් පවත්වාගෙන යා

4. විදුලිය මිලදි ගැනීම සඳහා ස්වාධීන විගණනයක් සිදුකිරීම.

මේ කොන්දේසි එකක්වත් අද වනතෙක් විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කර නොමැති බව කොමිසමේ ප්‍රකාශය වී ඇත. එසේ නම් එය සිදුවන්නේ කුමක් නිසාද? මාෆියාව නිසා නොවේද? එකී මාෆියාවක් තුළ තව තවත් ජනතාවගේ කර මතට බර පැටවීම සාධාරණදැයි බලධාරීන් අවධානය යොමු කළ යුතුය. 

 ගයාන් ගාල්ලගේ