2022 ජුලි 03 වන ඉරිදා

තෙබු කොළ කෑවාට දියවැඩියාව සනීප වෙන්නෙ නෑ

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 3657

පෝලිම්වල ඉඳිද්දී ජීවනී බිව්වාම හරිද?

මා 68 හැවිරිදි විශ්‍රාමික රජයේ සේවකයෙකි. දින දෙකක් තිස්සේ තෙල් පෝලිමක සිටිමි. දහවල් කාලයට අව්වේ පෝලිමේ සිටියදී දරුණු හිසරදයක් ඇතිවෙයි. බෝතල් ගණනින් වතුර පානය කළත් මදි යැයි හැඟෙයි. එහෙත් වෙන කිසිවක් කර ගැනීමට නොහැකි නිසා ඉවසා සිටිමි. මාගේ මිතුරකු පැවසූයේ වතුර පානය වෙනුවට ජීවනී පානය කරන ලෙසයි. මෙහි සත්‍යතාව කෙසේද? උපදෙසක් ලබාදෙන්න. 

රත්න - කොළඹ 

උපදෙස 

ඔබේ වයස සැලකීමේදී ඔබට දීර්ඝ කාලීනව පවතින අසනීප තත්ත්ව තිබෙනවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. එවැනි අය පෝලිම්වල එකම ඉරියව්වකින් දිගටම සිටීම සුදුසු නෑ. ගොඩාක් වෙලාවට දවස් ගණන් සිටින අයත් ඉන්නවා. එසේ සිටීමෙන් රෝගී තත්ත්ව වර්ධනය වෙලා රෝහල්ගත වූ පිරිස් ද සිටිනවා. මෙහිදී ප්‍රධානම දේ තමන්ගේ ඖෂධ නිවැරදිව ලබාගත යුතු වීමයි. වාහන ඇතුළේ සිටිද්දී දහදිය පිටවීමෙන් ශරීරයේ ලවණ ඉවත් වෙයි. එවැනි අවස්ථාවක ජලය පානයට වඩා ජීවනී වැනි දියරයක් ගැනීම හොඳයි. පෝලිම්වල දිගටම සිටිද්දී මුත්‍ර පිටකිරීමේ ප්‍රශ්නයක් එයි. එයටත් විකල්ප සොයාගත යුතුයි. මුත්‍ර කිරීමට නොහැකි නිසා කියා දියර පානය නැවැත්වීම සුදුසු නෑ. ජලය පානයට වඩා සුදුසු ජීවනී, තැඹිලි වතුර, තේ ආදී සීනි ලවණ තිබෙන දියරයක් ගැනීම හොඳයි. දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතුයි.

මාස 3 ක් ගියත් තවමත් සුවයක් නෑ

මම 62 හැවිරිදි පෞද්ගලික අංශයේ ‍රුකියාවක් කරන අයෙක්මි. මීට මාස 3කට වගේ ප්‍රථම බස් රථයෙන් රුකියාවට යද්දී බසයෙන් බහිද්දී උරහිස ළඟින් අත ගැස්සුණා. දරුණු වේදනාවක් ඇතිවූ අතර අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබාගත්තද තවමත් නිසි සුවයක් නොමැත. වෛද්‍යතුමනි, මෙය සම්පූර්ණයෙන් සුවකර ගැනීමට හැකි ප්‍රතිකාරයක් කියන්න. 

පෙරේරා - කොස්වත්ත 

උපදෙස 

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව පැහැදිලි වනුයේ උරහිස වටේ තිබෙනවා මස්පිඬු සම්බන්ධ වන කවරයක් වැනි කොටසක්. එහි ඉරීමක් හෝ මස්පිඬුවක ඉරීමක් විය හැකිය. එවැනි තත්ත්වයක් දීර්ඝ කාලයක් පැවතිය හැකිය. මෙයට සුදුසුම දේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමයි. මෙය දැනට දීර්ඝ කාලයක් පවතිනවා නම් එම්.ආර්.අයි පරික්ෂණයකට යොමු වී උරහිසේ සන්ධිවල හානියක් සිදුවෙලාද යන්න පරීක්ෂා කළ යුතුයි. එසේ නම් එයට නිසි ප්‍රතිකාර කළ යුතු වෙනවා. සාමාන්‍ය වේදනානාශක ඖෂධ තාවකාලිකව භාවිත කළ හැකිය. උරහිසට බර එන විදිහේ දේවල්වලින් හැකි තරම් පරෙස්සම් වීම සුදුසුයි. 

දෙවැනි දරුවාටත් එහෙම වෙයිද ?

මම සති 6ක ගැබිනියක්මි. පළමු දරුවා ලැබෙද්දී මා හට අපහසුතා රුසකට මුහුණ දීමට සිදුවිය. සිහි නැති වී සිට දින 3කට පසු ප්‍රකෘති තත්ත්වයට පැමිණියෙමි. බබාට කිරි මදි වූ අතර පසුව දරුවා මව්කිරි බීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා මමත් බොහෝ කල් මානසික අපහසුතා වින්ඳෙමි. මට ඇති ප්‍රශ්නය වනුයේ මෙවැනි අපහසුතා දෙවැනි දරුවාටත් විඳින්න සිදුවෙයිද?

තිළිණි - කුරුණෑගල 

උපදෙස 

ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේදී කලින් දරුවාට පැමිණි සංකූලතාව කුමක්ද යන්න පැහැදිලිව දක්වා නැත. කලින් දරුවාට ආවා කියලා අනෙක් දරුවාටත් එහෙම වෙනවා කියලා වෙන්නේ නෑ. එකම දේ සමහර අම්මලාට ගර්භනී කාලයේදී අධි රුධිර පීඩනය ඊළඟටත් ඇතිවන්නට පුළුවන්. එහෙත් එවැනි සංකූලතා පාලනයටයි නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ. පවතින රෝගී තත්ත්වය අනුව සලකා බලා අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනවා. එහෙයින් දරුවකු හැදීමට බිය නොවී සිටීම වැදගත්. අනිසි බියක් ඇතිකර නොගෙන පැරුණි විස්තර වාර්තා සමඟ නාරිවේද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

දියවැඩියාව සුවයට තෙබු කොළ හොඳද?

මම දීර්ඝ කාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙමින් සිටිමි. වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරද ගනිමි. එහෙත් බේත්වලට වැඩිය තෙබු කොළ ආහාරයට ගත්තාම දියවැඩියාව හොඳ වෙනවා කියා අසා තිබෙනවා. වෛද්‍යතුමනි, මට දැනගන්න වුවමනා වන්නේ තෙබු කොළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව එකවර සම්පූර්ණයෙන් සුවකරගත හැකිවේවිද? දියවැඩියාව සම්පූර්ණයෙන් සුවකර ගැනීමට තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද? උපදෙසක් බලාපොරොත්තු වෙමි.

සමන් - ගාල්ල

උපදෙස 

මෙය සම්පූර්ණයෙන් වැරුදි මතයකි. තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්. බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ යනවා. අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි. සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකිය. එයින් මොළයට හානි විය හැකිය. රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි. මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම කිසිසේත් අපට නිර්දේශ කරන්න බෑ. තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ. බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා. රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය. එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමේදී නිසි වෛද්‍යවරයකුගෙන් පමණක් ලබාගැනීම සුදුසුයි. ලංකාවේ වෛද්‍යවරු හැර අනෙක් සියල්ලන්ම වෛද්‍ය උපදෙස් දෙනවා.

බර වැඩ කරද්දි අත රිදෙනවා.

මාස 6කට විතර කලින් සිදුවූ අනතුරකින් වැටී මගේ අතේ මැණික් කටුව ළඟින් කැඩුණා, උරහිස ළඟත් දරුණු වේදනාවක් තිබුණා. ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් බැන්දා. ඊටපස්සේ ටික දවසක් යද්දී අතේ එතැන හයිවෙලා. ඒත් අතින් තදින් මොනවත් අල්ලන්න බැහැ. අත කඩාගෙන වැටිල වගේ දැනෙන්නේ. බර වැඩ කරද්දි අත රිදෙනවා. උරහිසත් රිදෙනවා. දැන් ඒ වේදනාව වැඩිවෙලා. වෛද්‍යතුමනි, මා කුමක් කළ යුතුද?

ලලිත් - අම්බලන්ගොඩ

උපදෙස

අස්ථියක් බිඳුණු ඕනෑම අවස්ථාවක කළ යුත්තේ අස්ථියේ දෙකෙළවර එක ළඟ තබා නොසෙල්වෙන ලෙස කාලයක් පැවැත්වීමයි. එයින් එම අස්ථිය සවි වෙයි. එයයි නියම ප්‍රතිකාරය. අස්ථි සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාරය එයයි. මෙම අස්ථිය ඇදයට සවි වුවහොත් අතේ ක්‍රියාකාරීත්වය අඩුවන අතර මස්පිඬු ස්නායුවලටත් හානිවීමට පුළුවන්. නිතර නිතර ගලවමින් බෙහෙත් බඳිද්දී නියමාකාරයට අස්ථි සවිවීමක් වෙන්නේ නෑ. මා අනුමාන කරනවා මෙම ප්‍රශ්නයේ සඳහන් කරුණු අනුව ඒ ආකාරයට මෙම අස්ථිය සවි වී ඇති බව. මේ සඳහා එක්ස්-රේ වාර්තාවක් බලා අස්ථි සම්බන්ධ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි.

 සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00