2022 ජුනි 26 වන ඉරිදා

සම්බාධක බිඳගෙන ආසියාවට එන රුසියානු තෙල්

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 60

රුසියාවේ තෙල් ගැන දැන් දැඩි කතාබහක් මතුව තිබේ. අමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රාජ්‍යය ඒ රටට විවිධ සම්බාධක පනවා ඇතත් මේ වනවිටත් රුසියානු තෙල් වෙළඳාම ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකිව තිබේ.

රුසියාවේ ඛනිජ තෙල් කර්මාන්තය ලෝකයේ විශාලතම එකකි. එරට විශාල තෙල් සංචිත ඇති අතර ලොව හයවැනි විශාලතම තෙල් සංචිතය රුසියාව සතුව ඇත. එසේම   එරට විශාලතම ස්වභාවික ගෑස්  අපනයනකරුය. ලොව දෙවැනි විශාලතම ගල් අඟුරු සංචිතද එරට සතුය. වැඩියෙන්ම බලශක්ති භාවිතයට ගන්නා රටවල් අතර 4 වැනියා එරටය.

බටහිර රටවල වෙළඳපළ වැසී ගියද මේ වනවිට රුසියානු තෙලට අලුත් වෙළඳ පළ අවස්ථා උදාවෙමින් ඇත්තේ මැදපෙරදිග ප්‍රමුඛ සෙසු නිෂ්පාදකයන් වෙතින් ඉදිරිපත්ව ඇති අධික මිල නිසාය. සාමාන්‍යයෙන් අරාබි තෙලට වඩා අඩු මිලට ලබාදෙන රුසියානු බොර තෙලට දැන් ආර්ථිකව අඩපණ වී සිටින රටවලින්ද ඉහළ ඉල්ලුමක් මතුවෙමින් තිබේ. ඒ අනුව ලෝක තෙල් මිල කෙරේ අනාගත තීරකයා බවට රුසියාව පත්වෙමින් තිබෙනු දක්නට ලැබේ.

යුරෝපයේ පනවන්නට තීන්දු කර ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට අහිමිව යන්නේ රටවල් 26 කට ආසන්න සංඛ්‍යාවක වෙළඳපළයි. ඒ අතරින් ස්ලෝවැකියා, ලිතුවේනියා, පින්ලන්ත, පෝලන්ත, එස්තෝනියා, හංගේරියා, චෙක් ජනරජය සහ ජර්මනියේ වෙළඳපළ ප්‍රධානය. ඉකුත් ජූනි 3දා සිට යුරෝපා සංගමය පැනැවූ අර්ධ සම්බාධක මගින් තෙල් තහංචිය මගින් රුසියානු මුහුදු තෙල් ප්‍රවාහනය සඳහා බලපෑම් ඇතිවන්නේ දෙසැම්බර් 05 සිටය. නමුත් රුසියාවේ සිට එලන ලද දෘෂ්බා තෙල් නල මාර්ගය Druzhba pipeline, මගින් තෙල් ලබා ගන්නා හංගේරියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, වැනි රටවලට තෙල් මිලදී ගැනීමට මේ සම්බාධකය බාධාවක් වී නැත. ඒ රටවල් මිලදී ගත් තෙල් වෙනත් රටවල්වලට නැවත අලෙවිය පමණක් සම්බාධක මගින් තහනම් කර තිබේ. ඒ අතර බල්ගේරියාවට 2024 අග දක්වා තෙල් මිලදී ගැනීමට ඉඩ සලසා ඇත. ක්‍රොඒෂියාවටද 2023 අග දක්වා සිය ගනුදෙනු සඳහා ඉඩ ලබාදී ඇත.

පසුගිය වසරේ රුසියාව යුරෝපයට අලෙවි කළ ප්‍රමාණය දිනකට බැරල් මිලියන 3.1කි. නල මගින් සිදුකළ ගනුදෙනුව දිනකට බැරල් 750,000කි. ඒ අනුව රුසියාවේ අඩු මිල තෙල් මෙපමණ ප්‍රමාණයක් අහිමිව යාම යුරෝපයේ රටවලට සිදුවන පාඩුවකි. ඔවුන් මේ පාඩුව පියවා ගැනීමට යන්නේ අමෙරිකානු බටහිර අප්‍රිකානු සහ මැදපෙරදිග වෙත යොමු වීමෙනි. නමුත් ඒ නිෂ්පාදන සමාගම්වල මේ වනවිට පවතින ඉහළ මිල නිසා රුසියාවට පාඩම් උගන්වන්නට යන යුරෝපයම අමාරුවෙ වැටී ඇත. පසුගිය මාස දෙකක වකවානුව තුළ සම්බාධක නිසා රුසියාවේ ආදායම සෙසු ලෝකය සිතු පැතු මට්ටමට ඇද වැටී නැති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

රුසියාව මගින් යුරොපයේ වෙළඳපළට ලබාදෙන ඩීසල් ප්‍රමාණය සියයට 40-50 අතරය. මේ වනවිට පිරිපහදු වැසීයාම ඇතුළු ගැටලු හේතුවෙන් පිරිපහදු වැසීයාමත් සමඟ යුරෝපයේ, පිරිපහදු කරන්නන්ට දැන් ඔවුන් මෙතෙක් ඩීසල් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ලද රුසියාවෙන් ලැබුණු අර්ධ පිරිපහදු කළ තෙල් නොමැත. මේ නිසා මුළුමණින්ම පිරිපහදුව සඳහා ඔවුනට අමතර වැයක් දරන්නට සිදුව ඇත.

යුරොපයේ  දිනකට බැරල් 700,000ක් වූ සිය වෙළඳපළ අහිමිව යද්දී රුසියාව ඒ සඳහා විකල්ප වෙළඳපළ සෙවීමටත් නව මිලදී ගන්නන් සඳහා සැලකිය යුතු වාසි සැලසීමටත් කටයුතු කරමින් සිටියි. ඒ අනුව සිය තෙල් ලෝක වෙළෙඳ පලේ සෙසු මිල ගණන් හා සසඳන විට ඉතා අඩු මිලකට ලබාදීමට රුසියාව කටයුතු කරමින් සිටියි. මේ මිල අඩු කිරීම නිසා රුසියානු තෙල් සහ අනෙකුත් තෙල් අතර මිල වෙනස බැරලයකට ඩොලර් 30-35ත් අතර අගයක පවතී. රුසියාව මෙහිදි අඩුමිලට වැඩි වෙළෙඳාමක් සිදුකරමින් සිය වෙළඳපළට එල්ල වූ තර්ජනය දැන් ආපිට හරවා හමාරය. ඔපෙක් ප්‍රමුඛ මැද පෙරදිග තෙල් අධිරාජ්‍යයේ අධික තෙල් මිලෙන් පීඩාවට පත්ව සිටි ආසියානු රටවලට ලාබ රුසියානු තෙල ඒ අනුව ආශිර්වාදයක්ව තිබේ. දැන් දිනෙන් දින අලුතෙන් රටවල් රුසියානු තෙල වෙතට මේ හේතුවෙන් ඇදෙමින් තිබේ.

මේ අනුව යුරෝපයෙන් ගිලිහුණු රුසියාවේ නව වෙළෙඳපළ ආසියාව වෙතට යොමුව ඇත. දැන් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් බවට පත්ව ඇත්තේ ඉන්දියාව සහ චීනයයි. මුලින්ම යුක්රේන යුද ආක්‍රමණය ගැන සෙසු ලෝකය අඬෝවැඩියා කියද්දී මේ රටවල් දෙකම ඒ ගැන නෑසූ කන්වැ සිටියහ. පසුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය මගින් සම්බාධක සහ තර්ජන ගර්ජන මතුවෙද්දී ඉන්දියාව සහ චීනය වැඩි වැඩියෙන් රුසියානු තෙල් මිලට ගැනීමට යොමුවූහ. මේ මිලදී ගැනීම දැන් රුසියාව සරුසාර තෙල් වෙළෙන්දකු බවට පත්කර හමාරය.

ඉන්දියාව මගින් රුසියන් තෙල් මිලදී ගැනීම නිසා සැලකිය යුතු වාසිදායක මට්ටමකට ඒ රට පත්කර ඇත. පසුගිය දෙසැම්බරය වනවිට දිනකට බැරල් 33,000ක් පමණ ලබා ගත් ඉන්දියාව මාර්තු වනවිට දිනකට බැරල් 300,000ක් දක්වා මිලට ගන්නා මට්ටමට පත්ව ඇත. අප්‍රේල් වනවිට ඒ මිලට ගැනීම සමස්ත යුරෝපයෙන් අහිමිව ගිය වෙළෙඳපළ මට්ටමද පන්නා, එනම් දිනකට බැරල් 7,60,000ක් දක්වා පැමිණ තිබේ. දැන් මේ මිලදී ගැනීම අමෙරිකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකටද මුල්ව ඇත.

චීනයද මේ වනවිට රුසියානු තෙල් මිලට ගැනිම ඉහළ දමා ඇත. එය ගිය වසරේ ජූනි මාසයේ පැවැති මිලදී ගැනීමට වඩා සියයට 55ක වැඩිවීමකි. ඒ අනුව මේ මාසයේ පමණක් දිනකට බැරල් මිලියන 1.98ක වාර්තාගත මිලදී ගැනීමක් චීනය සිදුකර ඇත. මේ මිලදී ගැනීම් හේතුවෙන් රෑබලය පෙර නොවූ විරෑ ඉහළ අගයක ස්ථායී වී තිබේ.

පැරීසිය පදනම් කරගත් මාසික ඒජන්සි තෙල් වාර්තාවක් ඉකුත් සතියේ සනාථ කළේ  ගෝලීය වශයෙන් බොරතෙල් සහ නිෂ්පාදන මිල ඉහළ යාමත් සමඟ මැයි මාසයේදී ඩොලර් බිලියන 1.7ක්ව තිබූ රුසියානු තෙල් අපනයන ආදායම මේ වනවිට ඩොලර් බිලියන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඒ අන්දමට රුසියාව දැන් යුද ආක්‍රමණය මැද පැනවුණු සම්බාධක හමුවේ උපායශීලි ලෙස ලෝක තෙල් වෙළඳපළද ආක්‍රමණය කර හමාරය.

 සුගත් පී. කුලතුංග ආරච්චි