2022 ජුනි 19 වන ඉරිදා

ඉන්ධන කෝටාව සැබෑ පිළිතුරක්ද?

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 357
ඉන්ධන ලබා ගැනීමට තවමත් දිගු පෝලිම්ය. ඉන්ධන නොමැතිව රටම අකර්මණ්‍ය වී අවසන්ය. වත්මනෙහි අහස උසට නැඟ ඇති අහාර මිලටද  ඉන්ධන හිඟයත් බලපා තිබේ.  ඈත ප්‍රදේශවල සිට එළවළු ප්‍රවාහනයට ඉන්ධන නොමැත. පසුගිය සතියේ මැනිං වෙළෙඳපළේ එළවළු විශාල වශයෙන් නරක් වී ඉවත දමන්නට සිදු වූයේ ඒවා මිලට ගැනීමට වෙළෙඳුන් නොපැමිණි බැවිනි. ඔවුන්ට එළවළු රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැත.  ධීවරයන්ට මුහුදු යෑමට ඉන්ධන නොමැති බැවින් මාළු ගිනි ගණන්ය.  බස් රථ ධාවනයද පූර්ණ වශයෙන් අකර්මණ්‍ය විය හැකියැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 
 
කුඹුරු වැඩ සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකමින් ගොවි ජනතාවට සිදුව ඇත්තේ වගා කිරීමට නොව තෙල් පෝලිම්වල ගත කිරීමටය. සංචාරක ව්‍යාපාරයටද කණකොකා හඬා තිබේ.. ඉදිරි මාස තුනක් සඳහා බලපාන පරිදි   අත්‍යවශ්‍ය සේවා නොවන රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් කළේද ඉන්ධන නොමැති කමට පින්සිදු වන්නටය. පාසල් ළමුන්  ප්‍රවාහනය ද 70%කින් පමණ අඩාල වී ඇතැයි අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පෙන්වා දෙයි. වර්තමානයේ රටේ ප්‍රධානතම අර්බුදය වී ඇත්තේ ඉන්ධන හිඟයයි.  විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විවිධ ක්‍රමවේද හඳුන්වා දෙමින්  ඉන්ධන ලබා දෙන බවට වරින් වර විවිධ මත පළ කරයි. පසුගිය මැයි මාසයේ ඔහු කියා සිටියේ දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවටය.   එහෙත් තවමත් ඉන්ධන හල් අසල දිගු පෝලිම්ය. ඇතැම් ඉන්ධන අලෙවිසල් වසා දමා තිබෙන්නේ ඒවාට  ඉන්ධන නොලැබෙන බැවිනි. තෙල් නැව් එනතෙක් ජනතාව පෝලිම්වල සිටින්නේ දෙස් දොවොල් තබමිනි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ  ඉදිරි සති තුන ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවයි. ඉන්ධන අඛණ්ඩව ලබා දීමට තීරණය කර ඇති බවත් එලෙස ලබා දිය හැක්කේ දැනට පවතින ඉල්ලුමෙන් සියයට 50කට පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය. එයින්ද ප්‍රමුඛත්වය හිමිවන්නේ විදුලිබලාගාර සහ ප්‍රවාහනයට සහ අත්‍යවශ්‍ය සේවා සඳහාය. දැනට ඇති ඉන්ධන තොග සතියකට පමණ ප්‍රමාණවත්ය. ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ඉන්දියානු ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් ඉන්ධන තොගය වන ඉන්ධන මෙට්‍රික්ටොන් 40,000ක් පසුගිය බ්‍රහස්පතින්දා මෙරටට ලැබීමට නියමිතව තිබිණි.  මාසය අවසන් වන තෙක් බෙදා හැරීම සඳහා තවත් පෙට්‍රල් සහ ඩීසල් නැව් දෙකක්ද පැමිණීමට නියමිතය. ජුලි මාසයට අවශ්‍ය ඉන්ධන සඳහාද නැව් දෙකක් මෙරටට ගෙන්වීමට මේ දිනවල පියවර ගනිමින් සිටී. ඩොලර් මිලියන 500ක ඉන්දියානු නව ණය ගිවිසුම අත්සන් කළ විට තවත් මාස 4කට ඉන්ධන ලැබෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලය ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය ලබා ගැනීමට අනුමැතිය ලබා දුන්නද තවමත් ඉන්දියාව එම ණය මුදල අනුමත කළ බවට වාර්තා වී නොමැත.  මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කර ඇත්තේ ඉන්දියාවේ එක්සිම් බැංකුවෙනි. පසුගිය මාර්තු මාසයේ අවසන් සතියේ එක්සිම් බැංකුව ඉන්ධන මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබා දුන් අතර ඉන්දියානු රාජ්‍ය බැංකුව තවත් මිලියන 200ක් ලබා දී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත වූයේ එම මිලියන 200 යටතේ අපට ලැබුණු අවසන් ඉන්ධන නෞකාවය.
 
පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ පිරවුම්හල් වෙත බෙදාහැරීම සඳහා මේ වනවිට  ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වී ඇති බවටය. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ කැඳවුම්කරු ශාන්ත සිල්වා මහතා පැවසුවේ එම තත්ත්වය යටතේ  මේ වනවිට බෙහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවටය. ඉන්ධන නොපැවතිය ද පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් දිනෙන් දින දීර්ඝ වෙමින් පවතී. රටේ ඉන්දන පිරවුම්හල් 1200ක් පමණ තිබේ. පසුගිය බදාදා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ බලශක්ති අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දිනක් හැර දිනක් පිරවුම්හල්වලට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවටය. දැනට ඉන්ධන බෙදා හැරෙන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධනහල් සඳහා පමණක් බව ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
 
වර්තමානයේ පවතින  ඉන්ධන ගැටලුව විසඳා ගැනීමට පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කොට ඔවුනට සතියක ඉන්ධන කෝටාවක් ලබා දීම හැර වෙනත් විකල්පයක් නොමැති යැයි පසුගියදා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ. එය ජුලි මස පළමු සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි. මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 
විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් පැය 24ක විදුලිබල සැපයුම වෙනුවෙන් ඩීසල්, දැවි තෙල් හා නැප්තා සඳහා අමතර ඩොලර් මිලියන 100ක් වැය වන අතර. සිව් මසකට ඉහත ඉන්ධන ආනයනයට  වැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදල මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. දැනට පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සතියකට ප්‍රමාණවත් ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පමණක් හැකියාව පවතී. එහෙයින් ඉන්ධන සැපයීම කළමනාකරණය කිරීමට සිදුව ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
 
කෝටා ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇතැම් පාරිභෝගිකයින් විසින් තම යන්ත්‍ර සුත්‍ර සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා මසකට හෝ ඊට වැඩි කාලයක් සඳහා  තොග වශයෙන් රුස්කිරීමට කටයුතු කරන හෙයින් ඇතිවන ඉන්ධන හිඟය වළක්වාලීම සඳහා බවද ඔහු කියා තිබේ. 
 
පසුගිය මැයි 5 දා සිට ද ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් මගින්  වාහන සඳහා ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සීමා කළේය. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000කද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කද සහ කාර්, වෑන්, ජීප් සඳහා රුපියල් 8,000 ක උපරිමයකට යටත්වද ඉන්ධන සැපයීමට පියවර ගැනිණි. දැන් කෝටා ක්‍රමයකට ඉන්ධන ලබා දීමට ඇමැතිවරයා තීරණය කර තිබේ. අමාත්‍යවරයා  අලුතින් හඳුන්වාදීමට යන සතියකට ඉන්ධන කෝටාවක් ලබා දීමේ වැඩ පිළිවෙළ මගින් ඉන්ධන පෝලිම් අවම කළ හැකිවේද? 
 
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ අමාත්‍යවරයා පසුගිය කාලයේ ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් යථාර්ථයක් නොවූ බවයි. මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම විශාල ලෙස අඩාල වී ඇති අතර දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 500ක්වත් බෙදා නොහරින බව ඔහු පවසයි.. ''පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක්. ලියාපදිංචි කරනවා නම් එය කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන්. එවිට එම කොට්ඨාශයට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් පමණයි ඉන්ධන ලබාගත හැක්කේ. එම ප්‍රදේශයෙන් පිට කෙනකුට එම ස්ථානවලින් ඉන්ධන ලබාගන්න බැහැ. හරිනම් කළ යුත්තේ කිසියම් කූපන් ක්‍රමයක් හඳුන්වා දීමයි. එවිට නියමිත ඉන්ධන ප්‍රමාණය  දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගත හැකියි. ඉන්ධන කෝටාවක් ලබා දෙනවා නම්  රජයේ සේවකයන්ට, ත්‍රිරෝද රථවලට , කාර්වලට, මෝටර් සයිකල්වලට, ධීවරයන්ට, ගොවීන්ට ලබා දෙන ක්‍රමවේදයක් තිබිය යුතුයි. එවැනි සැලසුමක් නැතිවයි අමාත්‍යවරයා මෙම පියවර ගන්නා බව පවසා ඇත්තේ. කූපන් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් දිවයිනේ ඕනෑම  ප්‍රදේශයක ඉන්ධන පිරවුම්හලකින් ඔවුන්ට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබාගත හැකි වන අතර ජනතාවට  ඇතිවන පීඩාවද අවමයි.''
 
ත්‍රිරෝද රථ රියදුරකු වන ජයතිලක මහතා කියා සිටියේ එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවක් බවයි. &වාහන කියන්නේ එක තැනක නවත්තල තියෙන දෙයක් නෙමෙයිනේ. අපිට සතියකට කෝටාවක් දුන්නම එකපාර තෙල් ගහන්න සල්ලි කෝ.  අනික  එක් ඉන්ධන හලක ලියාපදිංචි කළාම ඉන්ධන ලබා ගන්න පුළුවන් එම ඉන්ධන හලෙන් පමණයි. අපි දුර පළාතකට හයර් එකක් ගියොත් ආපහු එන්න තෙල් ගන්නේ කොහොමද.?  දුර පළාතකදි තෙල් නැති වුණොත් වාහනේ තල්ලු කරගෙන අපිව ලියාපදිංචි කරල තියෙන ෂෙඩ් එකට එන්නද කියන්නේ. මේ රටේ ඇමැතිවරු හැමදාම ගත්තේ වැරදි තීරණ.* යනුවෙන් සඳහන් කළේය.
 
ජනතාවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නොමැතිනම් තිබෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි. ''අර්බුදයට කෙටිකාලීනව ගත හැකි විසඳුම් ලෙස අප ඉදිරිපත් කරන යෝජනා කිහිපයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් හා අ/මැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපේ යෝජනා අතර එන්ජින් ධාරිතාව සීසී 2000ට වැඩි සියලුම කාර් සහ ජීප් ධාවනය තාවකාලිකව තහනම් කළ යුතුයි. කෙටි දුර ගමන් සඳහා ආසන නොමැති බස් රථ හඳුන්වා දිය යුතුයි.  බයිසිකල් භාවිතයට ජනතාව හුරු කළ යුතු වන අතර සතියේ දින තුනක්  කාර්යාලවල වැඩ කිරීමට හා දින දෙකක් මාර්ගගත ක්‍රමයට සේවය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එමෙන්ම සෑම රජයේ සේවකයකුටම තමන්ගේ නිවෙස ආසන්නයේ රාජකාරි කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. පාසල්වලටද දරුවන් දින තුනක් පාසලට පැමිණිය යුතු අතර ඉතිරි දින දෙක මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දිය යුතුයි. මේ අනුව ඉන්ධන භාවිතය 40% පමණ අඩු කරගත හැකියි.'' යනුවෙන් සඳහන් කළේය.
 
 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා