2022 ජුනි 19 වන ඉරිදා

විල්පත්තු විනාශයටත් වඩා දරුණුවට යන මොණරාගල වන විනාශය

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 12

කැබලිත්ත කියනවිටම අපට මතකයට එන්නේ කලක පටන්ම ජනතාව, කතරගම දෙවියන් ජීවමානව වැඩසිටින බව විශ්වාසයෙන් පුදසත්කාර කරනා කැබලිත්ත සියඹලා වෘක්ෂයයි. මහ වන මැද පිහිටි මෙම සියඹලා ගස දේවාලයක් සේ සලකා වැඳුම් පිදුම් කෙරේ. කෝටි ප්‍රකෝටිපතියන්, මැති ඇමතිවරු, හමුදා නිලධාරින්, රජයේ උසස් නිලධාරීන්, ව්‍යපාරිකයන් තම අරමුණු ඉෂ්ට කර ගන්න බාරහාර වීමට කැබිලිත්ත දේවාලයට යාම අමුතු දෙයක් නොවේ. ඒ සඳහා වනය මැදින් දුෂ්කර ගමනක් යායුතුවේ.

කැබලිත්ත දේවාලය පිහිටියේ යාල මහ වනමැද කුමන කුඩා කැබිලිත්ත සේවාලයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරකිනි. එම ස්ථානය ඉමහත් දිව්‍ය හාස්කම් ඇති ස්ථානයක් ලෙස බැතිමතුන් අතර විශ්වාසයට ලක්ව තිබේ. මෙතැන ''සියඹලාව'' ලෙන හඳුන්වනුයේ එහි ඇති සියඹලා ගස නිසාවෙනි. මෙහි පැවති විශාල සියඹලා ගස පසුගිය කාලයේ මියගොස් ඇති අතර දැන් එහි ඇත්තේ කුඩා සියඹලා ගසකි. බැතිමතුන් අනවශ්‍ය පරිදි පැමිණීම නිසා කැබලිත්ත දේවාලය අවට පරිසර හානියක් සිදුවන බව ද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. නමුත් පසුගිය වසර කිහිපයක සිට වාර්තා වන්නේ මෙම පූජනීය අඩවිය පිහිටි බිමත් සහිත මහා වනාන්තරය මහා පරිමාණයෙන් දේශපාලන බලපෑමෙන් සිදුවන විනාශයකි. දැන් එම විනාශය උපරිම මට්ටමට ළංව පවතී.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙම වනාන්තර අයත් වේ.  වත්තේගම, කැබලිත්ත  හා කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තරවල කාලයක සිට මහා වන සංහාරයක්   සිදුවන්නේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහායද ඇතිවය. වනයට අයත් ඉඩම් හොරෙන්ම අල්ලාගෙන නොයෙක් ආකාරයේ වගාවන් සිදුකිරීම දැකගත හැකිය. බිබිල හා මොණරාගල බලය පතුරුවාගෙන සිටින දේශපාලනඥයන් කිහිපදෙනෙක් මෙම වන විනාශයට වගකිව යුතුය. මෙම මහා ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000ක වන විනාසයට වඩා කිහිප ගුණයකින් ඉහළය.

ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 5,63,900ක් පමණ වේ. එම භූමියෙන් වනාන්තර හා තෘණ භූමි වලින් යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 2,96,125කි.   එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 52%කි. 

හෙක්ටයාර 28,926ක් නැතහොත් අක්කර 71,537ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වත්තේගම – කැබලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන ජල මූලාශ‍්‍රවල ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස වැදගත්ය. මෙම වන රක්ෂිතය  අවට කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාවයට දායකත්වයක් දක්වයි. මරගල කඳුවැටියෙන් ආරම්භ වන විලඔය, ඇතිමලේ වැව හා කොටියාගල වැව යන ප‍්‍රධාන වැව් දෙක පෝෂණය කරමින් ගලායන්නේ වත්තේගම – කැබිලිත්ත මෙම වන රක්ෂිතය හා කුඩුම්බිගල – පානම අභය භූමිය තුළිනි. ඉන්පසු එය ගොස් පානම කලපුවට වැටේ. මෙම වනය තුළින් ආරම්භ වන  ලේ පොළොන් ආර, මීදඬු ආර හා නාම්පන් ආර යන දිය දහරාවන්වල ජලය කුඹුක්කන් ඔයට එක්වේ.
මෙතරම් වැදගත් වනාන්තරයක් වන කැබලිත්ත අවට වනාන්තරවල කොටස්  ව්‍යාපාරිකයන් අල්ලාගෙන වනය විනාශ කිරීම වැළැක්වීමට පසුගිය කාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියේය. ව්‍යාපාරිකයන් අක්කර 20 සිට 100 දක්වා ආදී වශයෙන් වනාන්තර ඉඩම් කට්ටි අල්ලා ගැනීම අත්හිටුවා එම ප්‍රදේශවල වන රක්ෂිත සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කිරීමට වන සංරක්ෂණ නිලධාරීහු මැදිහත් වූහ.

නමුත් ඒ ක්‍රියාමාර්ග හිටිඅඩියේ නැවැත්වීමට වනය රුකගැනීමට පොරොන්දු දී බලයට පැමිණි හොරකම සාධාරණීකරණය කළ වත්මන් ආණ්ඩුවම කටයුතු කළේය. මේ ගැන වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ අප සමඟ මෙසේ පැවසුවේය:

''ජනපතිවරයාගේ ආර්ථික කමිටුවේ එවක ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත අලුතින් චක්‍රලේඛ නිකුත් කිරීම සිදුවුණා. හිටපු වන සංරක්ෂණ අමාත්‍යවරයා වන සී.බී. රත්නායක සහ එවක ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන විසින්  නිකුත්කළ 1/2020 සහ 18/2020 යන චක්‍රලේඛ හරහා ශ්‍රී ලකාවේ වනාන්තරවලට අයත්ව පැවති ඉඩම් අක්කර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් යළිත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරුණා. එම ප්‍රමාණය මුළු වන ආවරණයෙන් සියයට 3ක් වෙනවා. මෙසේ පැවරුණේ ඌන භාවිත රජයේ ඉඩම් යන හැඳින්වීම යොදාගෙනයි.

එසේ මොණරාගල දිස්ත්‍රික්කයේ පැවරෑ ඉඩම්වලට වත්තේගම කැබලිත්ත කොටියාගල වන රක්ෂිත ඉඩම් කොටස්ද අයත්. මෙම රජයේ කැලෑ ඝනයට අයත් වනාන්තර අතරට සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය කළ වනාන්තරද අයත්ව තිබුණා. ඉහත චක්‍රලේඛ මගින් මෙම වනාන්තර අනාරක්ෂිත බවට පත්වුණා. චක්‍ර ලේඛය නිකුත් වූ විගසම ඉඩම් අල්ලා ගැනීමට බලාගෙන සිටි දේශපාලන බලපුළුවන්කාරයන් ක්‍රියාත්මක වුණා. ඔවුන්ගේ බලපෑම මත ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දේශපාලන අවශ්‍යතා මත හිතුමතේ ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීම සිදුකළා. බහුතරයක් ව්‍යාපාරිකයින් මෙම වනාන්තර ඉඩම් දිගින් දිගටම ලබාගැනීමට කටයුතු කළා. සංවිධානය වී රක්ෂිත ඉඩම් ඉල්ලන ඉඩම් කොල්ලකරුවන්ට බෙදාදීම පිණිස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිවක් සොයා නොබලා අක්කර 25,000ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා තිබෙනවා. රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව රජයේ ඉඩම් අක්කර 2කට වඩා ලබාදීම නීතිවිරෝධීයි. ගොවිතැනට දුප්පත් ගොවියන්ට ඉඩම් ලබාදුන්නේ නම්, අවශ්‍ය වන්නේ අක්කර 6000 ක් විතරයි. ඒ අනුව වැඩිපුර අක්කර 19000ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා තිබෙන බව පේනවා.  එසේ තිබියදී, ඉඩම් බෙදාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදාළ මැනුම් කටයුතු කරන විට, අක්කර 50 හා 100 බැගින් ඉඩම් සොරා කා අල්ලාගෙන සිටින ව්‍යාපාරික කණ්ඩායම් අදාළ මැනුම් ක්‍රියාවලිය අඩපණ කිරීමට කටයුතු කළා.''

තේක්ක, බුරුත, පලු, කළුවර, නැදුන්, වීර, මිල්ල, කෝන්  වැනි ශාකවලින් පිරුණු මේ මහ වනය දැන් ශීඝ්‍ර වන විනාශයකට ලක් වී තිබේ. පසුගිය කොවිඩ් අවදානම පැවති කාලයේදීද මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ කොටියාගල වනාන්තර බඩඉරිඟු වගාව සිදුකරන හා පරිමාණයේ ව්‍යාපාරිකයන් විසින් ඩෝසර් කරමින් ගිනි තබමින් අක්කර දහස් ගණනක් එළිකර තිබේ. 

ව්‍යාපාරිකයන් මුදල් යොදවා ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ටත් අක්කර 5ත් 10ත් අතර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව පවසා බලහත්කාරයෙන් වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට පෙළඹවීම සිදුකර තිබේ. එසේම මීට ප්‍රදේශයේ භික්ෂුවක්ද හවුල් බවට අපට තොරතුරු වාර්තා වී තිබේ. මෙලෙස ඉඩම් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථා කිහිපයකම එය ව්‍යර්ථ කිරීමට පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමන්තුව එක්ව කටයුතු කර තිබේ. පසුගිය ජනවාරි මාසයේද  සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත  කැබලිත්ත රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී වගා කටයුතු සඳහා රක්ෂිත ඉඩම් එළිපෙහෙළි කරමින් සිටි ගොවීන් පස් දෙනෙකු සමඟ ට‍්‍රුක්ටර් රථ තුනක්ද ගව ගාලක් ඉදිකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන ගෙන තිබේ.

මෙම වනාන්තරයේ පාරිසරික වැදගත්කම නිසා 2021 ඔක්තෝබර් මාසයේදී කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත බීජ බෝම්බ තොගයක්ද හෙළනු ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අක්කර 495 ක් පමණ පෙදෙසක වන රක්ෂිතයට ඉහලින් බීජ බෝම්බ 75,000ක් හෙළන ලද බව වාර්තා විය. ගුවන් හමුදාව   බීජ බෝම්බ ව්‍යාපෘතිය වන වගා කිරීමට කටයුතු කළ ප්‍රදේශයේ පවා එම වන වගාවන්ට හානි කිරීමට මෙම සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් අවස්ථා කීපයකදී කටයුතු කර තිබේ.

නොයෙක් චෝදනා ලැබුවත් වනජීවී සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක විමලවීර දිසානායක, නිදහස් කළ ඉඩම් හැර වෙනත් කිසිදු රක්ෂිත හෝ යෝජිත රක්ෂිත ඉඩමක් අනවසර ඉඩම් කොල්ලකරුවන්ට අලාගනීමට ඉඩ නොදුන් අතර ඒවා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කෙරෑ බව පරිසරවේදීන් පවා පවසන කරුණකි.

එලෙස ඉතා දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කළ වනාන්තර ඉඩම් නැවත වතාවක් පසුගිය දිනවල  සංවිධානාත්මක ව්‍යාපාරික ඉඩම් කොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් පවතී. බලෙන්ම සිය ගණනක් ට්‍රුක්ටර් සහ මෝටර් බයිසිකල් සහ රථවාහනවලින් රක්ෂිතයට ඇතුළු වී වන වගාව සිදුකරන භූමියත් කැලෑ ඉඩමුත් අල්ලා ගැනීමත් භුමිය සකස් කිරීමත්  ආරම්හ කර තිබෙන බව වාර්තා වේ.  එම අනීතික ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වටකොට බලහත්කාරය පෑමට සහ රාජකාරියට බාධාකිරීමට තරම්  මෙම කොල්ලකරුවන් බලවත් වීම පුදුමයකි. 

වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුව තත්ත්වය මැඩපැවැත්වීමට මොනරාගල දිසාව භාර පොලිස්පතිවරයාගෙන් ආධාර ඉල්ලා ඇති නමුත් ඔහුද  ඒ සඳහා මැදිහත්වී නැති බව අසන්නට ලැබේ. මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ ජයන්ත විජේසිංහ: 

''අපට ලැබී ඇති තොරතුරු අනුව පොලිස්පතිවරයා පවා ලිඛිතව අදාළ අනවසර ඉඩම් කොල්ලය වලකාලීමට කටයුතු කරන ලෙස දන්වා ඇතත්, මෙම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ නියෝගය සහ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දෙනවා වෙනුවට තම නිරීක්ෂණ දන්වා යැවීමක් යයි පවසා අදාල ඉඩම් කොල්ලකරුවන් සාධාරණීකරණය කිරීමට කටයුතු කර ඇතැයි පැවසෙනවා. විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයකටත් වඩා විශාල මෙම වන විනාශය නැවතීමට වර්තමාන විෂයභාර අමාත්‍යවරයාගේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේත් වගකීමයි.''

(පසුබිම් පුවත් - වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයෙනි)

■  කුසුම්සිරි විජයවර්ධන