2022 ජුනි 19 වන ඉරිදා

ගෑස් පෝලිම්වල ගෑස් බලන ජනතාව වේදනාවෙන් සහ කෝපයෙන්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 16

බතක් මාළුවක් උයා පිහාගන්නට ගෑස් කදුලක් නොමැතිව අම්මලා මුළුතැන්ගෙවල්වල දහදුක් විදිති. ඒ අතර සැතපුම් ගණන් දික් ඇදුණු ගැස් පෝලිම්වල ගිනි ගහන අව්වේ, මහ වැසි ද නොතකමින් තාත්තලා ගෑස් ලොරි එන තුරා බලා සිටිති. එහෙත් ගෑස් නම් නොඑයි. ඒ වෙනුවට ගෑස් සමාගම් සභාපතිලා මාරුවන අතර සමාගම්වල අභ්‍යන්තර ගැටුම් ද කරළියට පැමිණෙයි. 

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පසුගිය බදාදා වැඩ බාර ගත්තේය. සභාපතිවරයා වැඩ බාරගත් පසුව කීවේ වෙනස්ම කතාවකි. ලිට්‍රෝ ගෑස් සමාගමේ පසුගිය පාලන අධිකාරිය කිසිදු වගකීමකින් තොරව කටයුතු කර ඇති ආකාරයක් පෙන්නුම් කෙරෙන බව ඔහු කීවේය. දැනට මෙරටට පැමිණ ඇති ගෑස් නැව හැර කිසිදු ගෑස් නැවක් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට ඔවුන් සැලසුම් කර නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.

“මේ නැවේ තියෙන ප්‍රමාණය කියන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්. මේකෙන් මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරිවෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනෙ. තව විශේෂ කාරණයක් වෙන්නෙ මේ නැව ආවාට පස්සෙ එකම නැවක්වත් ෂෙඩූල් කරලා නෑ. මං හිතන්නෙ වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නෙ. ගොඩබානකොට සල්ලි දෙන්නම් කියලා නැව් එන්න නියමිත දින වකවානු හරි තීරණය කර ගන්න තිබුණා. එහෙම දෙයක්වත් නෑ. හිස් මහ මුහුද විතරයි මට පේන්නේ. මං හිතන්නෙ මගෙ යුතුමක් වගකීමක් කියලා ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේක සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු සැපයුම්කරුවාට ලබා දීලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14ක කාලය තුළ ඒවා ගේනකල් ඊට ඉස්සෙල්ලා ඒ අයගෙන් ගෑස් නැව් දෙකක් දින කිහිපයක් තුළ ගෙන්වන්න ඉඩ ප්‍රස්තාව තියෙනවාද කියන එක අපි බලනවා. මේ අමාරුකම දැනගෙනමයි මේක බාරගත්තෙ. ගෑස් අර්බුදය විසඳන්න අවශ්‍ය නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”

කෙසේ වෙතත් ඉකුත් සතියේ දේශය කළ විමසීමකදී සභාපතිවරයා පවසා සිටියේ ඕමානයෙන් ගෑස් ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් ඇති බවකි. ඉදිරි මාස 4ක් අවශ්‍යතා සඳහා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි ඔහු එහිදී පවසා තිබුණි. ඒ අනුව ඉකුත් සිකුරාදා ඕමාන් නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නව සභාපතිවරයා සඳහන් කළේය. 

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ගෙවීමේ ක්‍රමයට ලිට්‍රෝ සමාගමට ඕමානයෙන් ගෑස් ලබාගැනීමට හැකිවනු ඇත. සභාපතිවරයා පැවසූ පරිදි මෙම සාකච්ඡා සාර්ථක වීමත් සමඟ දින හතක් දහයක් අතර කාලයකදී ගෑස් ලබාගැනීමේ හැකියාවක් තිබේ. මාස හතරක් සඳහා වන එකඟතාවය ගොඩනැගුණහොත් සතියකට වරක් මෙරටට ගෑස් ලැබෙනු ඇත. එසේ වුවහොත් ගෑස් පෝලිම පිළිබඳ ඇති වී ඇති ගැටලුව ද විසඳෙනු ඇතැයි නව සභාපතිවරයා අපේක්ෂා කරයි.

ඕමාන සමාගම සමඟ සිදුකෙරෙන ගනුදෙනුව පිළිබඳවද යම් තොරතුරු ප්‍රමාණයක් ඉකුත් බ්‍රහස්පතින්දා වන විට දැනගැනීමට ලැබුණි. ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුවට වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගම සමඟ ගනුදෙනුව සිදුවෙන බැව් කියැවුණි. මෙම කොන්ත්‍රාත්තුව සඳහා ඉදිරිපත් වූ තායිලන්තයේ ‘සියම්’ ගෑස් නම් ආයතනය සමඟ දීර්ඝකාලීන ගිවිසුමකට එළඹීමට පළමුව යෝජනා වී තිබිණි. 

ඒ අනුව තායිලන්ත සමාගමේ මිල ඩොලර් 112 ක්ද, ඕමාන් සැපයුම්කරු ඩොලර් 129 ක් ද ලෙස සිය මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි කියැවුණි. එහෙත් තායිලන්ත සමාගම මෙට්‍රික් ටොන් 6000 කට පමණක් මිල ඉදිරිපත් කර තිබීම ගැටලුවක් වී තිබේ. මේ අතර ගෙවීම් ක්‍රමයට ගෑස් ලබාදීමට එකඟතාව පළකර ඇති ඕමාන සමාගම සිය ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගුරම්ලා එතැන් සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර මාස හතරකට ගෑස් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ලබාදීමට එකඟ වී ඇතැයි දැනගන්නට ලැබේ.

හුදෙක් ඩොලර් ප්‍රශ්නයම ලිට්‍රෝ සමාගමේ බිඳවැටීමට හේතු නොවූ බව සමාගමේ අභ්‍යන්තර සේවකයෝ ද සඳහන් කරති. කලින් කලට වෙනස් වූ සමාගමේ පාලනාධිකාරිය විසින් ගනු ලැබූ තීරණ මෙම විනාශයට හේතු වී තිබේ. පසුගිය සතියේ මේ සම්බන්ධව ද විශේෂ හෙළිදරව්වක් සිදුකෙරුණි. එය සිදු කළේ ලිට්‍රෝ සමාගම සුරුකීමේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක් විසිනි. ලිට්‍රෝ ගෑස් සමාගම කඩා වැටීමට බලපෑ ප්‍රධාන ගැටලුව පසුගිය වසර දෙකක අදූරදර්ශී පාලනය බවට ඔවුහු කීහ. 
ලිට්‍රෝ සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූයේය. ඔහු එහිදී කියා සිටියේ ලිට්‍රෝ සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ගෑස් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවකි. මෙම වසර තුළ ඉවත්ව ගිය අනිල් කොස්වත්ත, තෙෂාර ජයසිංහ සහ විජිත හේරත් යන මහත්වරුන්ගේ අදූරදර්ශී පාලනය වර්තමාන කඩා වැටීමට හේතු වූ බව ද ඔහු කීවේය.

එසේම ලිට්‍රෝ සමාගම 2019 වසරේ මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 14ක් ලාභංශ ලෙසත් රුපියල් මිලියන 37ක් බදු ලෙසත් ගෙවා තිබූ රුපියල් බිලියන 20ක ඉතුරුම් පැවැති ආයතනයක් බවත් ඔහු පැවසීය. සභාපතිවරුන්ගේ තකතීරු පාලනය හේතුවෙන් පසුගිය වසර තුන තුළ ආයතනය කඩා වැටීම නිසා මේ වන විට බැංකුවලින් ඇප තැබිය යුතු තත්ත්වයට සමාගම පත්ව ඇතැයි කොළඹහෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සීමිත ගෑස් ප්‍රමාණයක් ලැබුණ ද ඉකුත් සතියේ ලිට්‍රෝ සමාගම ගෑස් බෙදාහැරීම යළි ඇරඹූ බව සිහිපත් කළ යුතුය. ඔවුන් එලෙස බෙදාහැරීම ආරම්භ කළේ දින 11කට පසුවය. දිවයිනට පැමිණ තිබූ නෞකාවේ ගෑස් ගොඩබෑම ද දින 6 කට පසුව පසුගිය සතියේ ආරම්භ විය. ගෑස් බෙදාහැරීම් යළි ආරම්භ කළ හැකි වූයේ ඒ හේතුවෙනි. කෙසේ වෙතත් දැනට පවතින්නේ සීමිත තොගයකි.

හේතුවෙන් ප්‍රමුඛතා ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටියි. ඒ අනුව ගෑස් තොග බෙදාහැරීමේදී ව්‍යාපාරික ස්ථාන, රෝහල් සහ ආදාහනාගාර සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව එම සමාගම සඳහන් කරයි. ගෘහස්ත පරිභෝජනය සඳහා ද සුඵ වශයෙන් ගෑස් බෙදාහැරීම සිදුවේ. එහෙත් ගෘහස්ත පරිභෝජනය සඳහා ගෑස් ලබාගැනීම වෙනුවෙන් මහජනතාව අඛණ්ඩව පෝලිම්වල රුඳී සිටිනු අප හට නිරීක්ෂණය වේ. සමාගම විසින් විටින් විට නිකුත් කරන නිවේදන ජනතාව නොතකන සෙයකි. කෙසේ හෝ ගෑස් ලබාගැනීමේ අරමුණින් ඔවුහු පෝලිම්වල රැඳී සිටිති.

ගෑස් අර්බුදය විසඳීම සම්බන්ධව බලාපොරොත්තුවක සේයා ජනිත වී ඇති බව අවසානයේ කිව යුතුය. කෙසේ වෙතත් ලාෆ් ගෑස් සම්බන්ධව  තවදුරටත් ඇත්තේ අර්බුදයකි. හිතාමතාම බලධාරීන් එම ගැටලුව අමතක කොට තිබේ. ලාෆ් ගෑස් භාවිතයට ගන්නා ජනතාව පත්ව සිටින තත්ත්වය ශෝචනීයය. විටින් විට බලාපොරොත්තු ඇතිකර ප්‍රකාශ සිදු කළ ද ලාෆ් ගෑස් බලධාරීන් තවදුරටත් නිහඬය. ලිට්‍රෝ ගෑස් ගැටලුව සේම ලාෆ් ගෑස් අර්බුදය කඩිනමින් විසඳාලීම මෙරට පාලකයන්ගේ වගකීමකි.

■   චමිඳු නිසල් ද සිල්වා