2022 ජුනි 19 වන ඉරිදා

පරිප්පු හයසීයයි, සැමන් හත්සීයයි, අපට සතුටුයි!

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 88

මහා ආර්ථික අර්බුදයක් අභිමුවෙහි සිටින ශ‍්‍රී ලංකාව ඉතාම අනතුරුදායක තැනක බව සඳහන් කළ යුතුය. ආර්ථිකයෙහි සංකීර්ණ පැති නිරාකරණය කරන සේ ආණ්ඩුවට බල කරන ජනතාව සුපුරුදු පරිදි කල් ගත කරති. මෙම තීරණාත්මක අවස්ථාවේදී  සියලුම දෙනාට පොදු වගකීමක් ඇත. නිෂ්පාදනය නැංවිය යුතු අතර අරපරෙස්සම ඉතාම වැදගත් කාරණයකි. මහජන නියෝජිතයන්, නිලධාරීන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන අතර රට ගොඩනගන කැපවීම තිබිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ජනතාව අතරින් බහුතරයකට පවතින ගැටලුවෙහි ප‍්‍රමාණය ගැන වැටහීමක් නැත. ඇතැම් පිරිසකගේ සුපුරුදු පැවැත්ම වෙනස් වී නැති බව මතුපිටින් නිරීක්ෂණය කෙරෙන වැදගත් කරුණකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය පුරා පණිවුඩ යවමින් ශ‍්‍රී ලංකාවට මානුෂික ආධාර සපයන සේ යෝජනා කරයි. ක‍්‍රිකට් ලෝලීහු දිවා රාත‍්‍රී ක‍්‍රිකට් තරඟ නරඹමින් සිටින අතර ක‍්‍රීඩාංගන පිරී ඉතිරි ගොස් තිබේ. තෙල් පෝලිම් ගැනත්, ජීවත්විය නොහැකි තරමට වාතාවරණය දුෂ්කර බවත් කියන්නේ කෙසේද?

ලෝකයේ සියලුම රටවල් ආහාර හිඟයක් ඇතිවිය හැකි බව කල්පනා කරති. චීනය, ඉන්දියාව වැනි රටවල් සිය ඇතැම් නිෂ්පාදන අපනයනය කිරීම තහනම් කර තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවා සාගතයක් ගැන සඳහන් කරයි. ආහාර හිඟය පදනම් කරගෙන ඇමරිකාව සහ යුරෝපා රටවල් සෑහෙන ප‍්‍රමාණයක අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ නැග ඇති අතර දශක දෙකක පමණ කාලයකට පසු නැග ඇති වැඩිම උද්ධමනය බව නොපැකිලව සඳහන් කරන බව පෙනේ. එක පැත්තකින් බලශක්ති හිඟයකට සහ අනෙක් පැත්තෙන් ආනයනය සඳහා විනිමය නැති තැනට පත්ව ඇති ශ‍්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ගැටලු සහගතය. 

ආර්ථික විද්‍යාඥයන් දක්වන පරිදි නිදහස ලැබීමෙන් පසු උද්ගත වූ නරකම අවධිය උදා වෙමින් තිබේ. දෙවැනි ලෝක යුද්ධය සමයෙහි මෙරට තිබුණ පසුබිම ගැන අද පරපුර දන්නේ නැත. ආහාරයට ගැනීම සඳහා බජිරි සොයන්නට ඉතාම පොහොසත් පවුල්වලට පවා සිදුවූ බව සඳහන්ය. ධනවත් පවුල් කොළඹ පදිංචිය අත්හැර ගම්බද කරා සංක‍්‍රමණය වූ අතර අගනුවර ඇති ජාතික පාසල්වල නම්වලින් දුර බැහැර ප‍්‍රදේශවල පාසල් තිබීම පවා එකී සංක‍්‍රමණයෙහි නශ්ඨාවශේෂ බව දැක්විය යුතුය. නැවත නගරයට එන තෙක් දරුවන්ට පාසල් ආරම්භ කරන ලද බවත් ඉතාම කටුක ජීවිත ගත කරන්නට සිදුවූ බවත් කියැවේ. එකල විනිමය පාලනය හා පුන්නක්කු සඳහා බලපත‍්‍ර ක‍්‍රමයක්ද තිබුණ බව පැරණි වාර්තා කියයි.

මෙකී අතීතය ගැන හදාරණ ඕනෑම පුද්ගලයෙකුට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි අවදානම ගැන මතකයක් තිබිය යුතුය. සම්පත් කළමනාකරණය කළ යුතු අතර අරපරෙස්සම ඉතාම වැදගත්ය. රට තුළ දරුණු විනිමය ප‍්‍රශ්න තිබියදී පවා ඉන්දියාවෙන් ණයට ගන්නා ඉන්ධන පරිහරණය කරන ආකාරය කිසිසේත් පැහැදිලි නැත. ඉන්ධන සඳහා අති විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. අධික මිල කිසිසේත් නොසලකන වාහන හිමියෝ දිග පෝලිම්වල සිටින බව පෙනේ. මෙම ඉන්ධන සපයන්නේ ආපසු ගෙවිය යුතු ණයවලින් බව සැලකිය යුතු අතර ඉහළ මිලකට ගෙන ඒවා දහනය කරමින් සිය සමාජ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට මෙරට ජන සමාජයට හැකිවීම විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු කරුණකි.

1953 හර්තාලයට හේතුව සහල් මිල ශත කිහිපයකින් වැඩි කිරීමක් බව මතක් කළ යුතුය. ජනතාව රේල් පාරේ බත් පිස විරෝධය පළ කළහ. ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවිය. අද සහල් කිලෝවක මිල රු. තුන්සියය ඉක්මවයි. පරිප්පු කිලෝවක් රු. හයසියයකි. සැමන් ටින් එකක් රු. හත්සියයක් වන අතර බිත්තරයක මිල රු. හැට ඉක්මවා ඇත. ජනතාව ඉල්ලන්නේ අලුත් ව්‍යවස්ථාවකි. බඩු මිල අඩු කරන, ආර්ථිකය නංවන වැඩ පිළිවෙළක් නොවේ. දෙවැනි වතාවටත් පත් වු අලුත් කැබිනට් මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීරණවලින් ලැබී ඇති සහනය කුමක්ද?

අනෙක් අතට ආණ්ඩුවට විශාල පරිවර්තනයක් කරන්නට අවශ්‍ය නැත. මහජනතාව අත මුදල් ඇති බව පෙනේ. තෙල්, ගෑස් පෝලිම් අඩු නැත. පසුම්බියේ මුදල් ඇති බවට හොඳ සහතිකයකි. පොදු ප‍්‍රවාහනය දුර්වල අතර එය අභිබවා පුද්ගලික වාහන භාවිතා වන බව පෙනේ. ආර්ථිකය අමාරු අවස්ථාවක තනි වාහන භාවිතය අඩු කළ යුතුය. බස් හා දුම්රිය ගමන් වාර ගණන වැඩි කිරීමෙන් පිරිවැය අඩු කරගත හැකිවේ. එය රටට කරන ඉතිරියකි. 
වෙළඳපොළ විනය ගොඩනගා ගැනීමේදී පාරිභෝගිකයාගේ හැසිරීම ඉතාම වැදගත්ය. අද මතු වී ඇති ස්වභාවය සලකා මිල දී ගැනීම ක‍්‍රමානුකූලව අඩු කළ යුතුව ඇත. බඩු මිල වැඩි කිරීමෙන් සහ බදු නැංවීමෙන් ක්ෂණික වෙනසක් ආණ්ඩුව අපේක්ෂා කරයි. ඉල්ලුම අඩුවනු ඇති අතර එය වෙළඳපොළ හැසිරවීමට ඇති අවස්ථාවකි. වෙළඳාම පාලනය වන පසු නැවත වතාවක් අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ අනුගමනය කළ හැක. උත්පාදනයක් රහිතව වියදම් කරන්නටට පෙළැඹෙන සමාජයකින් අලුත් උදාවක් අපේක්ෂා කිරීම පහසු නැත.

2008-2011 කාලයේ ආර්ථික අර්බුදයකට මුහුණ පෑ ග‍්‍රීසිය තවමත් එහි වේදනාව අත් විඳිමින් සිටී. එරට ජනතාව දින ගණන් පෝලිම්වල සිටියේ ඉන්ධන මිල දී ගැනීමට නොවේ. තමන් තැන්පත් කළ මුදල් ආපසු ගැනීමටය. එරට ප‍්‍රධාන බැංකු පහක ගනුදෙනු අත්හිටුවන ලද අතර දිනකට නිකුත් කළේ සීමිත මුදල් ප‍්‍රමාණයකි. එම මුදල් රුගෙන භාණ්ඩ මිල දී ගැනීම සඳහා තවත් පෝලිම්වල සිටින්නට සිදුවිය. දේශපාලන අස්ථාවර භාවය විශාල ප‍්‍රශ්නයක් වූ අතර 2011 ජනමත විචාරණයක්, 2012 මැයි හා ජූනිවල මැතිවරණ, නැවතත් 2015 ජනමත විචාරණයක් හා 2015 වසරේදීම නැවතත් මහ මැතිවරණයක් පවත්වන්නට එරට පාලකයන්ට සිදුවිය.  

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය තවමත් එතැනට පැමිණ නැත. දේශපානඥයන්ට හා සිවිල් සංවිධානවලට විශාල වගකීමක් තිබේ. රට තුළ ඇති කරන නොසන්සුන්තාවය අවසානයේදී තල්ලුවෙන්නේ එතැනටය. සුළු සිද්ධි පදනම් කරගෙන මහා ආන්දෝලන ඇති කරන්නට කලින් තමන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇත. මැතිවරණයක් පැවැත්වුවහොත් ඊළඟට බලයට පත්වන ආණ්ඩුවට පවා මෙම අන්ධකාරයෙන් මිදෙන ඉක්මන් පිළියමක් නැත.

මුදල් අච්චු ගැසීම, ආයෝජන කැඳවීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග හා බදු වැඩි කිරීම වැනි උපාය විවේචනය කරන අතරවාරයේ යතාර්ථය ගැන කල්පනා කරන්නට අවශ්‍යය. වෙනස්කම් නොකර අලුත් ව්‍යුහයකට ගමන් කළ නොහැකි අතර අද ඉක්මනින් තීරණ නොගතහොත් එහි ප‍්‍රතිඵලය ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට අත් විඳින්නට සිදුවනු වැළැක්විය නොහැක. 

සංචාරක කර්මාන්තය පවතින අර්බුදකාරී අවස්ථාව තුළ ඉක්මනින්ම ළඟා කරගත හැකි අවස්ථාවකි. රටට එන එක සංචාරකයෙකු වියදම් කරන මුදල් මෙරට ආර්ථිකය නංවන වැදගත් සාධකයකි. ඉන්දියාවෙන් සහ චීනයෙන් වැඩිම සංචාරක පිරිසක් සැරිසරයි. කොවිඩ් වසංගතයට පසු අලුත් ගමනාන්ත කරා සේන්දුවන උනන්දුවක් පවතී. ඩුබායි, තායිලන්තය හා මාලදිවයින විශේෂ ප‍්‍රචාරයක් අන්තර්ජාලයේ කරගෙන යන අතර ජනයා ආකර්ෂණය කරගනිමින් සිටී. අර්බුද මැඩගෙන සංචාරක හිතකර වාතාවරණයක් ඇති වුවහොත් රටට විනිමය උත්පාදනය කර ගත හැකි අවස්ථා ඇති වෙයි. 2025 වනවිට සංචාරකයන් මිලියන විසි පහක් රටට ගෙන්වන සැලැස්මක් තිබුණි. අවාසනාවකට අද වනවිට දිනකට රටට එන පිරිස හත්සියයක් දක්වා පහත වැටී තිබේ. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සෘජු ගුවන් සේවා නතර වී ඇත.

සංචාරක කටයුතු හා සමානව රට පුරා නිෂ්පාදනය ඇරඹිය යුතුව තිබේ. වගා නොකරන ඉඩම් වසර පහකට පවරා ගැනීමක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. මේවා පවරා ගැනීම පමණක් නොව නිසි සැලැස්මකට අනුව වගාව අරඹන්නට අවශ්‍යය. සහල් නිෂ්පාදනයෙහි අඩුවක් තිබේ. රසායනික පොහොර හිඟය මත අස්වැන්න සියයට තිහකින් පමණ අඩාල වූ බව මතක් කළ යුතුය. මෙම කාර්යය සඳහා නිවාඩු සපයන රජයේ සේවකයන් උපයෝගී කරගන්නා සැලැස්මක් අවශ්‍යය. අත්‍යවශ්‍ය නොවන සේවකයන් සිකුරාදා දිනවල පැමිණීම අනවශ්‍ය බවට කැබිනට් තීරණයක් ගෙන ඇති අතර මෙම පිරිස යා යුතු ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට නොවේ. ගෙවත්ත සකස් කරන ක‍්‍රියාදාමයකටය.

 සාරා කන්දෙගොඩ