2022 ජුනි 19 වන ඉරිදා

අඩි තිස්තුන්දහසක් ඉහළ අහසේ ගුවන් නියමුවාගේ වික්‍රමය

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 267

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ කාර්ය බහුලත්වයෙන් පිරී යමින් තිබුණි. එවිට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ වේලාව රාත්‍රී 09.30 බව සඳහන්ව තිබුණි. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඒ-330-300 එයාර් බස් වර්ගයේ ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පැමිණීමට හීත්‍රෝ ගුවන් තොටුපළ ධාවන පථය වෙත පිවිස තිබුණි. 

ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්යය මණ්ඩල නිලධාරීන් 15 දෙනෙකුගෙන්ද සමන්විත මෙම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-504 දරන ගුවන් යානය එංගලන්තයේ වේලාවෙන් රාත්‍රී 09.30 ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණීමට පිටත් විය. මෙම ගුවන් යානය තුළ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කපිතාන් නවීන් ද සිල්වා මහතාත්, ඔහුගේ සහායක ගුවන් නියමුවන් ලෙස බුවනික එස්. වීරසිංහ සහ තවත් නියමුවෙකු සේවය කරමින් සිටියහ.

මෙම ගුවන් ගමන ඍජු ගුවන් ගමනක් වූ බැවින් අතරමග වෙනත් කිසිදු ගුවන් තොටුපළක නොනවත්වා ධාවනයේ යෙදෙන අතර පැය 11 ක පමණ කාලයකින්, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.40ට ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට සැලසුම් කර තිබුණි. මෙම ගුවන් යානය එංගලන්තයෙන් පිටත් වී පැයකට පමණ පසු, රාත්‍රී 10.30ට පමණ තුර්කි ගුවන් සීමාවට ඇතුළු විය. ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් යානය අඩි 33,000ක උසකින් පියාසර කරමින් තිබුණි.

එහිදී තුර්කියේ ඇන්කාරා නුවර ප්‍රධාන ගුවන් ගමන් පාලක මැදිරිය මෙම ගුවන් යානය අමතමින්, ගුවන් යානය අඩි 35,000 දක්වා ඉහළට ඔසවා එම මට්ටමේ ගුවන් ගන්නා ලෙස දැනුම් දෙන්නට විය. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර, මෙම ගුවන් යානයේ රේඩාර් පද්ධතිය පිරික්සූ ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු නවීන් ද සිල්වා මහතාට අඩි 35,000 උස සීමාවේ,  ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 12ක පමණ පසුපසින් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැමිණෙමින් තිබෙන බව දිස් විය.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ නවීන් ද සිල්වා මහතා වසර 35ක පමණ සේවා කාලයක් ඇති ගුවන් නියමුවෙකු වශයෙන් බෝයිං 737, ලොක් හීඩ් ට්‍රයිස්ටා සහ එයාර් බස් 320, 330 සහ 340 වර්ගයේ ගුවන් යානා පදවමින් මනා අත්දැකීම් ලත්, පියාසර පැය 20,000 කට අධික කාලයක් පියාසලා ඇති අත්දැකීම් බහුලම ගුවන් නියමුවෙකි. එමෙන්ම නවීන් ද සිල්වා මහතා තරුණ, නවක ගුවන් නියමුවන් පුහුණු කිරීමේ උපදේශකවරයෙකු ලෙසද සේවය කරමින් සිටී.

ඒ අනුව ඔහුට කිසියම් ගුවන් අනතුරක සේයා මතු වීමත් සමඟම මේ පිළිබඳව ඇන්කාරා ප්‍රධාන ගුවන් පාලක මැදිරිය දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහෙත් ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය යළිත් අපගේ ශ්‍රී ලන්කන් ගුවන් යානය අමතමින් දැනුවත් කළේ, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 12කට පිටුපසින් මෙම අඩි 35,000ක උස සීමාවේ වෙනත් ගුවන් යානයක් පමණක් පැමිණෙමින් තිබෙන බවය. මෙම බ්‍රිතාන්‍යය ගුවන් සේවයේ බෝයිං 787 ගුවන් යානයද, ශ්‍රී ලන්කන් ගුවන් යානය පිටත්වීමෙන් විනාඩි කීපයකට පසුව ඩුබායි ඔස්සේ සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව තිබුණි. සාමාන්‍යයෙන් සෑම නවීනතම ගුවන් යානයකම මේ ආකාරයට අහසේ පියාසර කරන ගුවන් යානා සහ ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා ගැනීම පිණිස පරිගණක ගත කළ, විවිධ වර්ගයේ රේඩාර් පද්ධති හතරක් පමණ ස්ථාපිත කර තිබේ. එහෙත් බ්‍රිතාන්‍යය ගුවන් යානය තුළ මෙම රේඩාර් පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා, මෙම ගුවන් යානය ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය වෙත දිස් වී නොමැත.

එහෙයින් දෙවැනිවරටත් ශ්‍රී ලන්කන් ගුවන් යානය විසින් මේ පිළිබඳව දැනුම් දීමත් සමඟ, ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 12ක් පමණ පිටුපසින් පැමිණෙන බ්‍රිතාන්‍යය ගුවන් යානය ඇන්කාරා රේඩාර් තීරයේ දිස් වන්නට පටන් ගෙන තිබේ. ඒ වනවිට බ්‍රිතාන්‍යය ගුවන් යානය නාවික සැතපුම් 600 ක පමණ වේගයකින් අඩි 35,000ක උසකින් ගමන් කරමින් තිබුණි. එසේම ශ්‍රීලන්කන් ගුවන් යානය අඩි 33,000ක උසක සිට අඩි 35,000 දක්වා ගමන් කිරීමට සූදානමින් පැයට නාවික සැතපුම් 450ක පමණ වේගයෙන් ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබුණි.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් යානයට පිටුපසින් අඩි 35,000ක උස මට්ටමේ සැතපුම් 12 කට පිටුපසින් බ්‍රිතාන්‍යය ගුවන් යානයත් එයට සැතපුම් 48කට පසුව තවත් වෙනත් ගුවන් යානයක්ද ගමන් ගනිමින් තිබුණි’ ජාත්‍යන්තර නීතියට අනුව සෑම ගුවන් යානා දෙකක් අතර පරතරය සැතපුම් 30ක් පවත්වා ගෙන යා යුතු අතර, සමාන්තර දිශාවලට ගමන් කරන ගුවන් යානා අතර පරතරය අඩි 2,000 ක් විය යුතු බවටත් , එසේම විරුද්ධව දිශාවෙන්, මුහුණට මුහුණ ලා පැමිණෙන ගුවන් යානා දෙකක් අතර උස අඩි 1,000 ක පමණ පරතරයක් පවත්වා ගත යුතු බවට නිර්දේශයක් පවතී.

මෙම සීමාවන් උල්ලංඝනය කරමින් අනවශ්‍ය ලෙස ගුවන් යානා එකිනෙකට සමීප වුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ගුවන් යානය තුළ ස්වයංක්‍රීය පරිගණක පද්ධති කීපයක්ද සවිකර තිබේ. ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරියද මෙම ගුවන් යානා දෙක, මෙම අඩි 35,000ක උසේදී අවදානම් සහගත ලෙස සමීප වීමට, හැකියාවක් පවතින බව වටහා ගත් සැනින්, ශ්‍රී ලන්කන් ගුවන් යානයට තමන් මෙතෙක් ගමන් කරමින් සිටි අඩි 33,000 උස මට්ටමේම ගමන් කරන ලෙස උපදෙස් දීමට වහාම පියවර ගත්තේ ශ්‍රී ලන්කන් ප්‍රධාන ගුවන් නියමු නවීන් ද සිල්වා මහතාටද ප්‍රශංසා කරමිනි.

ඒ අනුව නවින් ද සිල්වා මහතාගේ කෘතහස්ත, විචක්ෂණශීලී, පරිණත දැනුම තුර්කි ගුවන් සීමාවේදී සිදුවීමට හැකියාව තිබූ මහා ගුවන් අනතුරක්, තුර්කි ගුවන් ගමන් පාලකවරුන්ට සහ බ්‍රිතාන්‍යය ගුවන් සේවා නිලධාරීන්ට අලුත් පාඩමක් කියා දෙමින් වළකා ගැනීමට සමත් වී තිබුණි. ඉන්පසුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය 06/14 දින දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නවීන් ද සිල්වා මහතාට සහායක ගුවන් නියමුවන් දෙදෙනාට හැකි වී තිබුණි

මෙම සිදුවීම අසුරු සැණින් ලොවපුරා ප්‍රධානතම මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශනය කිරීමට පියවර ගත්තේ, ශ්‍රී ලන්කන් ප්‍රධාන ගුවන් නියමු නවීන් ද සිල්වා මහතාගේ කාර්යශූරත්වය, විචක්ෂණශීලීභාවය මහත් ඉහළින් අගය කරමිනි. මෙම සිදුවීම පිළිබඳව සවිස්තරාත්මක ලොග් සටහනක් කටුනායක ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් වෙත ලබාදීමට නවීන් ද සිල්වා මහතා පියවර ගෙන තිබුණි. එසේම මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමටද මේ වනවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගනිමින් සිටී.

මේ අතර මෙම සිදුවීම පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවයද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්, ගුවන් යානය පැදවූ ප්‍රධාන ගුවන් නියමුවරයාගේ කාර්යශූරත්වය සහ විචක්ෂණශීලීභාවය අගය කර ඇති අතර, මෙම ගුවන් යානය, එහි තිබෙන වටිනා උපකරණ සහ ගුවන් මගීන් පිරිස සුරක්ෂිතව රුක ගනිමින් නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, මෙම ගුවන් ගමන නිමා කිරීමට ලැබීම පිළිබඳව සතුට සහ ප්‍රසංශාව පළකර තිබේ . එමෙන්ම කිසිම විටෙක මෙම ගුවන් යානා එකිනෙකට ගැටීමට අවස්ථාවක් උදා නොවූ බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 කටුනායක ටී.කේ.ජී. කපිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00