2022 ජුනි 19 වන ඉරිදා

මිල පාලනයටත් කොකා පෙන්නන සහල් මුදලාලිලා

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 11

2022 මැයි මස 02 දින පාරිභෝගික සේවා අධිකාරියේ නියෝග අංක 82 අනුව නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව සහල්වලට උපරිම සිල්ලර මිලක් හෙවත් පාලන මිලක් නිවේදනය කළේය. ඒ අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220ක්, සම්බා කිලෝව රුපියල් 230ක් සහ කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල කිලෝව රුපියල් 280ක් විය.

මෙයට පෙර රජය සහල්වලට පනවා තිබූ පාලන මිල අතහැරිය අතර රටේ සහල් මිල තීරණය කළේ මහා පරිමාණ මෝල් හිමි වෙළෙඳුන්ය. එම නියෝජිතයෝ මාධ්‍ය හමු පවත්වමින් සහල් මිල නිවේදනය කළහ. එහෙත් සතියක් දෙකක් යනවිට ඔවුන් නියම කළ පාලන මිල ඔවුන් විසින්ම නොසලකා හරිමින් වැඩිමිලට සහල් අලෙවි කළ බවක් පිළිබඳ චෝදනා එල්ල විය.

එහෙත් මැයි 02දා පාලන මිල නියම කළ පසු පාරිභෝගික සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සහල් මිල ගැන නිකුත් කළ මෙම ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බවට පළවන ආරංචි ව්‍යාජ බවය. සහල් මිල ඉහළ නැංවීමට නිෂ්පාදකයාට අවසර දී නොමැති බවද පවසන අධිකාරිය සහල් ව්‍යාපාරිකයන් උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කළ යුතු බව කියයි. සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් වටලා නඩු දමන අතර යමකු වරදකරු වූ විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අනුව තනි පුද්ගල ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 1 සිට 5 දක්වා දඩ මුදලක් සහ මාස 6ක සිර දඬුවම් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි බවද පැවසුවේය. එසේම පෞද්ගලික සමාගම්වලට අයකරන දඩය රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇති බවද නිවේදනයේ සඳහන්ය.

එසේ වුවද ගැසට් නිවේදනය තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ ඇතැම් කූට වෙළෙන්දෝ සමහර ප්‍රදේශවල සහල් හිතූ හිතූ ගණන්වලට අලෙවි කරන බව වාර්තා විය. නාඩු සහල් කිලෝව රුපියල් 260-275 දක්වාද සම්බා කිලෝව 280-290 අතර මිලකටද රුපියල් 260කට මිල නියම කළ කීරි සම්බා කිලෝව රුපියල් 360කටද අලෙවි කළේ කිසිම බියක් සැකක් නොමැතිවය.

මුල් ගැසට් නිවේදනයට කැකුළු සහල් අඩංගු වී නොතිබීම නිසා කූට වෙළෙඳුන්ට තමාට සිතූ සිතූ මිලට ඒවා අලෙවි කිරීමට අවස්ථාව සැලසී තිබුණි. ඒ අනුව නගරයේ මෙන් ප්‍රාදේශීයවද සුදු සහ රතු කැකුළු කිලෝව රුපියල් 240-260 අතර මිලට ඉහළ නංවා තිබුණි. ජනතාව වැඩිපුර භුක්ති විඳින කැකුළු සහල්වලට මිල පාලනයක් නොකිරීම ගැන රජයට දෝෂාරෝපණ එල්ලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 10දා කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස යළි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට සිදුවිය.

කෙසේ වුවද ගැසට්ටු මගින් නියම වූ මිල එම ගැසට්වලටම සීමා වීම නිසා සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවති අතර එය යම් පමණකට හෝ පාලනය කිරීම සඳහා වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට හා ඒවා සතොස හා සමුපකාර වෙළෙඳසල් හරහා බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කර තිබිණ. මේ අනුව වී අලෙවි මණ්ඩලය සතු සමස්ත වී තොග ප්‍රමාණය එය වන අතර එයින් සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සකසා ගත හැකි බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරයි. එසේම අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවී මිල ඉහළ යාම පාලනය කිරීමට මෙම පියවර ගත් බවය. කෙසේ වුවද වී අලෙවි මණ්ඩලය මගින් අලෙවි කරන සහල්වල සිල්ලර මිල වෙළෙඳ පොළේ මිලට වඩා අඩු තත්ත්වයක පවතින බව වී අලෙවි මණ්ඩලය කියයි.

එසේ වුවද මැදහත් කෘෂි විෂ්ලේෂකයන් සඳහන් කරනුයේ වී අලෙවි මණ්ඩලය හාල් කරන මෙට්‍රික් ටොන් 32,000න් රටේ පවතින සහල් මිල පාලනය කළ හැකි නම් එය විශ්වකර්ම වැඩක් විය හැකි බවය. මෙවැනි සුළු ප්‍රමාණයක් මුදාහැරීමෙන් වෙළෙඳපොළට බලපෑමක් ඇති නොවන අතර මෙම සහල් අලෙවි කළාට පසු වී අලෙවි මණ්ඩලයට කරන්නට වෙන දෙයක් නොතිබෙන බව ඔවුහු කියති. වී අලෙවි මණ්ඩලයට වී මිලට ගැනීමට මුදල් ප්‍රතිපාදන හා ගබඩා පහසුකම් නොමැති නිසා මෙයට වඩා දෙයක් කළ නොහැකි යැයි ඔවුහු කියති. මෙය වගකිව යුත්තන්ට නොවැටහීම අවාසනාවක් බව කියති.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා පසුගියදා පොළොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ දැනට කෘත්‍රිමව ඇතිකර තිබෙන සහල් පෝලිම් ඉදිරි දින 10 තුළ අවසන් නොකරන්නේ නම් මහජනතාව සමග පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය හා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන වැටලීමට කටයුතු කරන බවය.

''මේ වනවිට සහල් හිඟයක් නිර්මාණය වෙන්න හේතුවක් නැහැ. මහ කන්න අස්වැන්න අඩුවීමේ හේතුව මත සහල් නිෂ්පාදනය අඩුවෙනවා නම් එය සිදුවන්නේ දෙසැම්බර් හා ජනවාරි මාසවලයි. දැනට එහෙම සිදුවෙන්න හේතුවක් නැහැ. මෙතැන පැහැදිලි වශයෙන්ම තියෙන්නේ නිර්මාණය කළ මාෆියාවක්. රුපියල් 120 අනුමත මිලට වී මිලට ගත්විට සහල් කරලා සාධාරණ ලාභයක් තියාගෙන කිලෝව රුපියල් 220ට අලෙවි කරන්න පුළුවන්. එහෙම තිබියදී මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු කණ්ඩායම කෘත්‍රිම ලෙස වී කිලෝව රුපියල් 150ට ඉහළ දාලා රුපියල් 120ටත් වඩා අඩුවෙන් ගන්න වී වලින් හාල් හදලා කිලෝව රුපියල් 300කට විකුණමින් යනවා. මේ සඳහා තමා ඔවුන් සහල් හිඟයක් නිර්මාණය කරන්නේ. දින 10ක් තුළ සාධාරණ මිලකට හාල් අලෙවි නොකළොත් අපි තණකොළ මිටිත් අරගෙන දහස් ගණන් ජනතාව සමග ජනාධිපති මන්දිරයට එනවා. ඒක වළක්වන්න බැහැ.''

මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික සේවා අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියන්නේ වී මෝල් හිමියන්ගෙන් සිල්ලර වෙළෙඳුන් සහල් ලබාගන්නා විට අනිවාර්යයෙන් ගෙවන මිලට බිල්පතක් ලබාගෙන ළඟ තබාගත යුතු බවය.
''සහල් වැඩි මිලට අලෙවි කිරීමෙන් නීතියෙන් ගැලවෙන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් නියමිත මිල බිල්පතේ සඳහන් කර වැඩි මිලට වෙළෙඳුන්ට සහල් අලෙවි කරන්න පටන්ගෙන තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් කරනවා. මේ වනවිට සහල් වැඩි මිලට අලෙවි කළ ස්ථාන 70 සහ මිල ප්‍රදර්ශනය නොකළ ස්ථාන 150 පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. දැනට සහල් හිඟයක් ගැන අනියත බියක් නිර්මාණය වීමෙන් පාරිභෝගිකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගැනීම සිදුකිරීම මිල ඉහළ යාමට හේතුවක්. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැහැ.''

රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.අයි. ප්‍රසන්න රජය සහල්වලට පැනවූ මිල පාලනය පිළිබඳ මෙලෙස කරුණු දක්වයි.

සහල් මිල පාලනය කළේ මහ කන්නය සහ ළඟ එන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳ රජයට අභියෝගයක් ඇති නිසයි. රජය අදහස් කරන්නේ තමන් ජනතාවට මොනවා කිව්වත් ඉදිරියට හිඟයක් ඇතිවී මිල ඉහළ යාවිය කියලයි. ඉදිරි කාලය සඳහා ජනතාවට සහල් කිලෝග්‍රෑම් මිලියන 28ක් අවශ්‍ය වුණත්, ලැබෙන වී සහල් කළාම ලැබෙන්නේ මිලියන 14-15ක් බව රජය දැනගෙන තිබෙනවා. යල කන්නයේ නියමිත වී අස්වැන්නෙන් සියයට 50ක් පමණ අඩුවෙතැයි පුරෝකථනය කරනවා. වගා කරන භූමි ප්‍රමාණය හා ලැබෙන ඵලදායිතාව මත මෙම ප්‍රතිඵලය ලැබෙනවා. ඉන්ධන අර්බුදය නිසා තවත් අඩුවිය හැකියි. මේ තත්ත්වය මත සහල් කිලෝ මිලියන 10-12 ප්‍රමාණයක හිඟයක් ඉදිරියේ ඇතිවේ යැයි බලාපොරොත්තු වෙනවා. එය ආනයන සහල්වලින් ආවරණය කරගැනීමද ගැටලු සහගතයි. ඒ නිසා රජයට සිදුවුණා සහල් මිල පාලනයකට යාමට.

සහල් මිල ඉහළ යාම නාගරික මධ්‍යම පාංතික හා අඩු ආදායම්ලාභී ජනතාවට මෙන්ම වී වගා නොකරන ජනතාවටද අහිතකර ලෙස බලපානවා. හිඟය නිසා මිල ඉහළයාම වැළැක්විය නොහැකියි. නිෂ්පාදන වියදම ඉහළයාම, ක්‍රය ශක්තිය අඩුවීමද මෙම මිල ඉහළයාමට හේතුවෙනවා. මුලදී කිලෝව රුපියල් 80-90 තිබුණු සහල් මේ වනවිට කිලෝව 230-250 තරමට ඉහළ ගිහින්. ඉදිරියට තවත් ඉහළ යනවා ඇති. මේ මිල පාලනය කළේ මෙලෙස මිල ඉබාගාතේ යාම වැළැක්වීම සඳහායි.
එහෙත් දැනට මිල පාලනයක් පැනවූවාට එම මිල ප්‍රායෝගිකද, මිල යාන්ත්‍රණය අවශ්‍ය ලෙස තිබෙනවාද යන්න ගැටලු සහගතයි. මෙවර පාලන මිල පනවා ඇති ඇතැම් සහල් වර්ග එම පාලන මිලට අඩුවෙන් වෙළෙඳ පොළේ අලෙවි වනවා. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නොසලකා ගන්නා තීරණයි මේවා. අනික් අතට සමහර වෙළෙඳුන් කියනවා තමන්ට පාලන මිලට දෙන්න සහල් නොලැබෙන බව. පාලන මිල හරියට ක්‍රියාත්මක නොකරනවා නම් නමට පමණක් පනවලා වැඩක් නැහැ. තවමත් ආණ්ඩුව රටේ ඇති සහල් හිඟය ඇස්තමේන්තු කර නැහැ. එහෙම නොකර කොහොමද විකල්ප මාර්ගවලට යන්නේ.

කෘෂිකර්ම ඇමැති කොතරම් උත්සාහ කළත්, රටේ සඟවාගෙන ඇති වී තොග එළියට දැමීමට අපහසුයි. එයට හේතුව ඉස්සර වාගෙ නොවෙයි. අද වී තොග සඟවා ගෙන සිටින්නේ මහා පරිමාණ මෝල් හිමියන් නොවෙයි. අද වී සඟවාගෙන ඉන්නේ වී ගොවියන් විසිනුයි. ඒ අය වෙනදා තබා ගන්නාවට වඩා තමන් ළඟ වී රඳවා ගෙන සිටින්නේ තම පාරිභෝජනය සඳහායි. කොහොමත් වී ගොවියා තම අස්වැන්නෙන් කොටසක් පාරිභෝජනයට තබා ගන්නවා. එහෙත් මෙවර එම ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඉදිරි අස්වැන්න ගැන ඇති අවිනිශ්චිතතාව නිසයි. ඉදිරියේදී සහල් මිල විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඔවුන් සිතනවා. ඒ නිසා සෑම ගොවියෙක් ළඟම සෑහෙන තොග තියෙනවා.

මම උඩවලවේ ප්‍රදේශයේ මේ පිළිබඳ විමර්ශනයක් කළා. එහිදී මට සනාථ වූයේ ගොවියන් වෙනදා තබා ගන්නවාට වඩා දෙගුණයක් තම පාරිභෝජනයට තබාගෙන ඇති බවයි. ඒ නිසා ගොවියන්ගේ නිෂ්පාදනයෙන් සියයට 25-30ක් වෙළෙඳපොළට එන්නේ නැහැ. එලෙස තම පාරිභෝජනයට යැයි තබාගෙන ඇති වී වෙළෙඳපොළට දමන්න යැයි ඔවුන්ට කියන්න රජයට බැහැ. එය ගොවියාගේ අයිතිවාසිකමක්. මෝල් මුදලාලිලා පාලනය කළාට ගොවියන් පාලනය කරන්න රජයට බැහැ.
ගමක සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන් දෙතුන් දෙනෙක් කෘෂිකර්මයට සම්බන්ධ අයයි. අවශ්‍ය සත්‍ය දත්ත ඒ අය මාර්ගයෙන් ලබාගන්න රජයට පුළුවන්. ඒ අයගෙන් වැඩ නොගන්නා එකයි ගැටලුව. අද මිල පාලනය සත්‍ය දත්ත මත පදනම්ව නැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. අගමැති ඉදිරියේ රටේ ආහාර හිඟයක් ඇතිවනු ඇතැයි අනාවැකි කියන විට අනිවාර්යයෙන්ම රටේ ආහාර හිඟයක් ඇති වීම වළක්වන්න බැහැ. මෙය චක්‍රාකාරයෙන් සිදුවන දෙයක්. මෙහිදී දේශපාලනඥයන් වගකීමෙන් යුතුව ප්‍රකාශ නිකුත් කළ යුතුයි. සත්‍ය දත්ත මත මිස දේශපාලන අනාවැකි මිල තීරණය කිරීමේදී පදනම් කරගත යුතු නැහැ.

අනික් අතට ආනයන සහල්වලටද අනිවාර්යයෙන් මිල පාලනයක් දැමිය යුතුයි. එහෙම නැතුව දේශීය සහල්වලට පමණක් දමන පාලන මිල ප්‍රායෝගික වන්නේ නැහැ. රේගු ලේඛන අනුව ආනයන සහල් වල මිල තීරණය කළ හැකියි. එය බොහෝවිට දේශීය සහල්වලට වඩා අඩුවෙන්න ඕනෑ. එවිට ඒ මිලට දිය යුතුයි. ජනතාවට සාධාරණ මිලට අපේ ප්‍රධාන ආහාරය වන බත සැපයීම රජයේ ප්‍රමුඛතම වගකීමක්. බත්වල කැලරි සහ ප්‍රෝටීන සංඝටක වැඩියි. අනිත් සෑම ආහාර ද්‍රව්‍යයක්ම මිල ඉහළ ගොස් තිබියදී සහල්වත් සාධාරණ මිලට ලබාදිය යුතුයි. සහල් මිල ඉහළ ගියවිට ජනතාව උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට පත්වෙනවා.

කොහොමත් සහල් කිලෝව රුපියල් 200 ආසන්නයට යාම වැළැක්විය නොහැකියි. අද පවතින අධික නිෂ්පාදන වියදම නිසා කවදාවත් සහල් කිලෝව රුපියල් 40-50ට යාවි යැයි විශ්වාස කරන්න බැහැ. වී වලටද ඉහළ මිලක් ගෙවිය යුතු වෙනවා. කොහොම වුණත් සහල් මිල කිලෝව රුපියල් 200ට වැඩිවෙන්නට ඉඩදිය යුතු නැහැ.

 යසවර්ධන රුද්රිගු