2022 ජුනි 19 වන ඉරිදා

දුප්පතාගේ බඩුමල්ලත් බත් මුට්ටියත් උස්සන හොරු!

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 137

රටේ ජනතාව මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලවකවානුවකි. බාල මහලු තරුණ භේදයකින් තොරව අද බොහෝ දෙනාට සිදුව ඇත්තේ අව් වැසි නොතකමින් මහාමාර්ගයේ ඇති පෝලිම්වල ගාල්වීමටය. නිවෙසක පිරිමි පාර්ශ්වයෙන් බහුතරයක් ඉන්ධන පෝලිම්වල තම රථවාහනය සමඟ කල් ගෙවද්දී කාන්තා පාර්ශ්වයට සිදුව ඇත්තේ හිස් වූ ගෑස් සිලින්ඩරය මෙන්ම හිස් වූ භූමිතෙල් බෝතලය ගෙන පෝලිම්වලට එකතු වීමටය. මේ අතර තම මෝටර් රථය, මෝටර් බයිසිකලය ගෙන ඉන්ධන පෝලිමේ හිඳින කාන්තාවන්ද සුලභය.

ජීවිතේ ආර්ථික අපහසුතා එලෙස පවතින අතරතුර ඒ ඔස්සේ නව ආදායම් මාර්ග සොයාගත් පිරිසක්ද මේ අතර සිටිති. ඉන්ධන පෝලිමේ හිඳ කෙසේ හෝ බැරලයකට හෝ බෝතලයකට ඉන්ධන ලබාගෙන එය ඉතා වැඩි මිලකට අලෙවි කරන පිරිස මෙන්ම ගෑස් සිලින්ඩරය පෝලිමේ තබාගෙන ගෑස් ලබාදීමෙන් පසු යම් ගතමනාවක් ලබාගන්නා පිරිසක්ද අද වනවිට ගෑස් පෝලිම්වල එයා මෙහා සැරිසරති.

එපමණක් නොව මෙම කාලවකවානුව තුළ සොරුන්ගේ ප්‍රතිශතයද ඉහළ නැඟ ඇති බවට වාර්තා වෙයි. කතරගම ප්‍රදේශයේ ජීවත් වන දැඩි ආර්ථික අපහසුතා සහිත කාන්තාවක මිලදී ගත් බඩු මල්ලක් කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කිරීමේ සිදුවීමක් පසුගියදා කතරගම ප්‍රදේශයෙන් වාර්තා විය. එම බඩු මල්ලේ තිබී ඇත්තේ සහල් කිලෝවක්, සීනි ග්‍රෑම් දෙසිය පනහක් හා කරවල දෙසීයක් පමණි. මෙම භාණ්ඩ මල්ලකට දමා නිවෙසට යමින් සිටි කාන්තාවට යතුරුපැදියෙන් මාළු ගෙන යන මාළු වෙළෙන්ඳකු මුණගැසී තිබිණි. අතේ තිබුණු බඩු මල්ල බිමින් තබා ඇය මාළු ගෙන නැවත බඩු මල්ල ගැනීමට සැරසෙද්දී බිම තිබුණු මල්ල අතුරුදන් වී තිබුණි.

මේ වනවිට බොහෝ ප්‍රදේශවල මෙවැනි ආකාරයේ ආහාරපාන සොරකම් සිදුවෙමින් පවතී. කතරගම පූජා නගරයට මේ දිනවල බැතිමතුන්ගේ පැමිණීම ඉතා අල්පය. ගෑස්, ඉන්ධන මෙන්ම බැතිමතුන්ගේ පැමිණීමේ අඩුවීම නිසාම බොහෝ හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන නිවාස වසා දමා ඇත. කතරගමට පැමිණෙන බැතිමතුන් හරහා අතමිට සරු කරගත් වැසියන් අද පත්ව සිටින ඉරණම ඉතා ඛේදජනකය. අමාරුවෙන් හම්බ කරගත් ඉතා සුළු මුදලින් මිලදී ගන්නා ආහාරපාන ප්‍රදේශයේම අලුතින්ම බිහිවුණු %කෑම සොරුන්ගෙන්^ බේරාගැනීමට අපහසුවීම මේ ගැටලුව තවත් උග්‍ර කර තිබේ.

පානදුර ප්‍රදේශයේ එක්තරා නිවෙසක පිසූ බත් මුට්ටිය අතුරුදන් වූ පුවතක්ද පසුගියදා වාර්තා විය. හතර දෙනකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිවෙසට යාබදව ඉදිකර තිබූ තාවකාලික මුළුගැන්ගෙයි දර ලිපක පිසූ බත් මුට්ටිය දහවල් ආහාරය ගැනීමට සූදානම් වී තිබිණි. පසුව මුළුතැන්ගෙට ගිය නිවෙසේ කාන්තාවට දැකගත හැකි වූයේ ලිප මත තිබුණු බත් මුට්ටිය නොමැති බවය. නිවෙසේ ඒ මොහොතේ සිටි සාමාජිකයන්ගේ ඒ සම්බන්ධව විමසා බැලුවද ඔවුන් කිසිවකු එම මුළුතැන්ගෙයින් නිවෙස තුළට බත් මුට්ටිය රුගෙනවිත් තිබුණේ නැත. තවදුරටත් විපරම් කර බැලූ නිවැසියන්ට දැකගත හැකිවූයේ නිවෙස පිටුපස ඇති කුඩා ලී ගේට්ටුව කිසිවකු විසින් විවෘත කර ඇති බවය.

මේ අතර පවතින අර්බුදය හමුවේ වෙළෙඳසල්වලද ආහාරපාන සොරකම් සිදුවන බව වාර්තා වේ. මහරගම වෙළෙඳපොළේ පසුගිය දිනෙක බිත්තර සොරකමක් සිදුව තිබුණේ බිත්තරවල මිල ඉහළ ගිය පසුබිමකය. සඳුදා මහරගම පොළ දිනකි. මහරගම අවට ප්‍රදේශවල ජනතාව පොළ දිනවලදී මහරගම නගරයට පැමිණෙන්නේ එහි ආහාරපාන හා භාණ්ඩ මිලෙහි යම් අඩුවක් පවතින බැවිනි. මේ දිනවල බිත්තරවල මිල ඉහළ යාමත් සමඟ බිත්තර සොරකමේ යෙදුණු පුද්ගලයකු පිළිබඳව මහරගම පොලීසියට වාර්තා වී තිබිණි. වෙළෙඳ මහතාගෙන් යම් භාණ්ඩයක් ඉල්ලා සිටි එම පුද්ගලයා වෙළෙඳ මහතා එය කිරමින් සිටින අතරතුර අසල තිබුණු බිත්තර පෙට්ටියෙන් ක්ෂණිකව බිත්තර හතරක් තම මල්ලට දමාගන්නා අයුරු අසල සිටි වෙනත් පුද්ගලයකු දැක ඇත. එය සොරකම් කරගත් පුද්ගලයා ඉල්ලා සිටි භාණ්ඩද නොගෙන හැකි ඉක්මනින් එතැනින් මාරු වී තිබිණි. සොරකම දුටු පුද්ගලයා වෙළෙඳ මහතාට ඒ සම්බන්ධයෙන් පවසද්දී බිත්තර සොරකම් කළ පුද්ගලයා එතැනින් ගොස් තිබිණි. බිත්තර හතරකට පොලිසි ගාණේ රස්තියාදු විය නොහැකිය. බිත්තරයක් සොරාගන්නට එම පුද්ගලයා ජීවිතේ කිසිමදාක නොසිතන්නට ඇත. නමුත් නිවෙසේ අගහිඟකම් වැඩිවන විට දරුවන් බඩගින්නේ කෑගසන විට බිත්තරයක් සොරාගන්නට ඔහුට සිතෙන්නට ඇත. කරකියා ගැනීමට දෙයක් නොමැති බොහෝ අය මේ වන විටත් සොරුන් බවට පත්ව සිටින බව පෙනෙන්නට තිබේ.

කිසිදිනක කිසිවකුට අතනොපාන්නට තීරණය කර තිබුණු බොහෝ අය අද වනවිට සිඟමන් යදින තත්ත්වයට පත්ව සිටිති. මේ වනවිට සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට සිඟමන් යදින ඇතැමුන් මීට පෙර කිසිම දිනෙක මෙලෙස සිඟමන් යදිනු දැක තිබුණේ නැත. මින් පෙර සිඟමන් යැදීමද එක්තරා ව්‍යාපාරයක් වී තිබිණි. විශේෂයෙන් කොළඹ නගරයේ සිඟමන් යදින යාචකයන් මෙහෙයවන පුද්ගලයෙක්ද සිටියි. ඔහු යටතේ දවස් වැටුපට සිඟමන් යදින මෙම යාචකයන්ට දවස අවසානයේදී දිනක වැටුප හිමි වේ. ඇතැමුන්ට මත්පැන් කාලේ බෝතලයක්ද ලැබේ. නමුත් අද වනවිට එවැනි සිඟමන් කණ්ඩායම්වලට අමතරව තැන තැන තනි තනිව සිඟමන් යදින අලුත් කණ්ඩායමක්ද බිහිවෙමින් පවතී. ඔවුන්ගෙන් බොහෝ දෙනකු සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට සිටිමින් ඉල්ලන්නේ මුදල් නොව ආහාරපානය. &හාල් කිලෝවක් දෙන්න*, &පොල් ගෙඩියක් අරගෙන දෙන්න* යැයි කියමින් සිඟමන් යදින පුද්ගලයන්ට රුපියල් දෙසීයකට අධික මිලකට සහල් කිලෝවක්, රුපියල් හැත්තෑ පහකට අධික මිලකට පොල් ගෙඩියක් මිලදී ගෙන දෙනවා වෙනුවට ඇතැමුන් රුපියල් විස්සකින් ආධාර ලබා දුන්නද ඒ සිඟමන ගණනකට නොගෙන යන අයද වෙති. මේ සිදුවීම්වලින් පෙනෙන්නේ මේ වන විටත් පවතින ආර්ථික අර්බුදය සමඟ ආහාරපාන සිඟමන් සහ සොරකම් කිරීමේ තත්ත්වයට රට පත්වෙමින් සිටින බවය.

■  දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00