2022 ජුනි 19 වන ඉරිදා

පෙණහැල්ලට ගිය වෙඩි උණ්ඩය පිටතට ගත් විස්මිත සැත්කම

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 68

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ දෙදරු පියකු ඉකුත් 05 වැනි දින ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත්කොට තිබුණි. තංගල්ල මොරකැටිය ප්‍රදේශයේදී වූ වෙඩිතැබීමකින් මෙකී දෙදරු පියා බරපතල තුවාල ලබා තිබූ අතර තංගල්ල රෝහලින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකොට එවා තිබුණි. ඒ වනවිටත් මෙකී රෝගියා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය. කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේදී මෙම රෝගියා එක්ස්රේ පරීක්ෂාවට ලක්කරනු ලැබීය. වෙඩි වැදීමෙන් මොහුගේ උරස් කුහරය පසාරු කරගෙන ගොස් තිබූ මූනිස්සමක් දකුණුපස පෙණහැල්ලේ අනුශ්වාස නාලිකාවල හිරවී තිබුණි. පසුව මෙකී රෝගියා හෘද හා උරස් කුහර ශල්‍ය ඒකකය වෙත මාරු කරනු ලැබීය.

හෘද හා උරස් කුහර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය විසින් මෙම රෝගියා පරීක්ෂා කරනු ලැබීය. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි  මෙම රෝගියා ජීවිත අවදානමක සිටියේය. රෝගියාගේ සිරුරේ අභ්‍යන්තරයේ වූ රුධිර වහනය නතරකිරීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය තින්දු කළාය. ඒ අනුව ශල්‍යකර්මය සිදුකිරීම ආරම්භ කෙරිණි. රෝගියා අවදානම්  තත්ත්වයෙන් පසුවූ බැවින් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා එක්මෝ යන්ත්‍රයද සූදානම් කොට තිබුණි. නිර්වින්දන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගිහාන් පියසිරි මහතා රෝගියා නිර්වින්දනය කිරීමට කටයුතු කළේය. මුනිස්සම පිටතට ගැනීමට පෙර වෙඩි උණ්ඩය පසාරු කරගෙන ගොස් තිබූ මාර්ගයේ රුධිරය වහනය වීම නතරකොට  එම මාර්ගය පිළිසකර කිරීම ශල්‍යකර්මයේ ප්‍රධාන අරමුණ විය. රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා මෙකී ශල්‍යකර්මය අනිවාර් ෙයන්ම කළයුතුවිය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රොලුෂා හරිස්චන්ද්‍ර ඇතුළු වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුකළහ. ශල්‍යකර්මයෙන් පසු රෝගියා ජීවිත අවදානමෙන් මිලදී සිටියේය.

අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩිවැදීම නිසා මූනිස්සම ගිහින් තිබූ මාර්ගය පිළිසකර කිරීම. ඊට පසු තමයි මූනිස්සම ගැනීමට සැලසුම් කළේ. රෝගියාගේ දකුණු උරස්කුහරය විවෘත කරලා රුධිරය අයින් කළා. මූනිස්සම ගමන්කොට තිබූ මාර්ගය පිරිසිදු කළා. ට්‍රුක් එකට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වම් පෙනහැල්ලේ අනුශ්වාස නාලිකාවල අග්‍රයේ තමයි මුනිස්සම හිරවෙලා තිබුණේ. මුනිස්සම ගැනීම සඳහා බ්‍රොන්කොඩ්කොපි උපකරණය යොදාගෙන බටයක් දමලා ගැනීමට උත්සාහ කළා. නමුත් මුනිස්සම අනු ශ්වාසනාලිකාවල පහළටම ගොස් තිබූ නිසා මුනිස්සම ගැනීම අපහසු වුණා* යැයි  වෛද්‍ය නප්ලි හුසේන් මහතා කීවේය.

කෙසේ වුවද දකුණු පස පෙනහැල්ලේ අනුශ්වාස නාලිකාවල හිරවී තිබූ මූනිස්සම  සැත්කමින් පසු වම්පස පෙනහැල්ලේ පහළටම ගොස් හිරවී තිබුණි. විවෘත  ශල්‍යකර්මයක් කොට මෙකී මූනිස්සම පිටතට ගැනීමට හැකි වුවද  විශේෂ්‍ය ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ගැන විශ්වාසය තැබුවාය. &අසංක, භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මෙම මූනිස්සම පිටතට ගන්න පුළුවන්ද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය භෞත චිකිත්සක අසංක මද්දුමගෙන් ඇසුවේය. &මැඩම් අපි උත්සාහ කරලා බලමු ශල්‍යකර්මයෙන් පසු රෝගියාට ලබා දී ඇති කෘතිම ස්වසන උපකරණය ඉවත්කරලා තමයි භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය කරන්න වෙන්නේ අසංක කීවේය. ඒ අනුව රෝගියගේ වම්පෙණහැල්ලේ හිරවී තිබූ මූනිස්සම පිටතට ගැනීමේ කාර්යය භෞත චිකිත්සක අංසක මද්දුමආරච්චි මහතා වෙත පැවරිණි. ශල්‍යකර්මයෙන් පසු රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකිරිමට කටයුතු කෙරිණි.

මෙම පුද්ගලයාට වෙඩිවැදීම නිසා උරස්කුහරය පසාරු කරගෙන ස්වාසනාල අග්‍රයට ගිහින් තමයි මූනිස්සම නතර වී තිබුණේ. අපිට හුස්ම ගැනීමට තියෙන එකම ඉන්ද්‍රිය තමයි ස්වාසනාලය. රෝගියාට හුස්ම ගැනීම ප්‍රශ්නය නිසා සිහිසුන් කරන එකත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මුනිස්සම ගැලවුවහොත් ඇබයක් ගැලවූවා වගේ වෙනවා. ඔක්සිජන් ටික එළියට යනවා. අපිට තියෙන්නේ එක ස්වාසනාලයයි. එම ස්වාසනාලය තමයි බෙදිලා පෙනහලු දෙකට යන්නේ. මූනිස්සම ස්වාසනාලය අග ගිහින් හිරවෙලා තිබූ නිසා මූනිස්සම ඉවත් කිරීමේදී හිලක් ඇතිවෙනවා. එම හිල ඇරියහම ඔක්සිජන් ටික එළියට යන්නේ. එම ගැටලුවට අපිට මුහුණදීමට සිදුවුණා. දෙවැනි ගැටලුව තමයි හිරවෙලා තිබූ මුනිස්සම පිටතට ගන්න එක. මෙම රෝගියා ශල්‍යකර්මයකට ලක්කිරීමට තිරණය කළා. අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩිවැදීම නිසා මූනිස්සම ගිහින් තිබූ මාර්ගය පිළිසකර කිරීම. ශල්‍යකර්මය කරන අතරතුරේ  මුනිස්සම  තවත්  පහළට ගොස් තිබුණා. වම් පෙනහැල්ලේ තැන්පත්වෙලා තිබුණා.  මුනිස්සම බටයක් දමලා ගන්න බැලුවා එත් බැරිවුණා. මුනිස්සම තිබුණා නම් පෙනහැල්ලේ එම කොටස අවහිරවෙනවා. ඊට පසු තමයි භෞත චිකිත්සක ප්‍රතිකාරය මගින් මුනිස්සම පිටතට ගැනීමට තීරණය කළේ* යැයි හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය කීවාය.

රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකිරීමෙන් පසු කෘත්‍රිම ස්වසන උපකරණය ගලවා ඔහුට සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමට අවස්ථාව ලබාදුන්නේය. හෘද හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාගේ වම්පෙණහැල්ලේ හිරවී තිබූ මූනිස්සම ඉවත්කිරීමේ කටයුතු භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි මහතා ආරම්භ කළේය. ෙභෟත චිකිත්සක අසංක මෙම කාර්ය සිදුකරනු ලැබුවේ අවදානමක් සිය දෙවුර මත රඳවාගෙනය. මක්නිසාදයත් මුනිස්සම ස්වාසනාලය හරහා පිටතට ගැනීමේදී එය පෙනහැල්ල මතට හෝ උදරය වෙත පතිත වීමට ඉඩ තිබීමය. ඒ විතරක් නොව පිටතට ගැනීමේදී මුනිස්සම හිරවුවහොත් රෝගියගේ ජීවිතයට පවා අනතුරක් විමට ඉඩ තිබුණි. කෙසේවුවද එම අභියෝගය භාරගත් භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි මහතා රෝගියාගේ වම් පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම හෘද හා උරස්කුහර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාගේ මුඛයෙන් පිටතට ගනු ලැබීය. මේ පිළිබද භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි මහතා කීවේ මෙවැනි කථාවකි.

භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය බටහිර ප්‍රතිකාර ක්‍රමයක්. භෞතික විද්‍යාවේ මූලධර්මයන්ට අනුව තමයි ප්‍රතිකාර කරන්නේ. රෝගියකුගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව  යම් දෙයක් හිරවීම නිසා නැතිනම් වෙනත් රෝගී තත්ත්වයක් නිසා හුස්ම ගැනීමට බාධාවක් ඇතිවුවහොත් එම බාධාව ඉවත් කිරීම තමයි හෘද හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සිදුකරන්නේ. හුස්මගැනීම පහසුකිරීම තමයි කරන්නේ. මෙම රෝගියාගේ  වම්පෙණහැල්ලේ හිරවී තිබූ මූනිස්සම ඉවත් කිරිමට හෘද උරස් භෞත චිකිත්සාව තමයි අපි කළේ. සරල සිද්ධාන්ත කිහිපයක් භාවිත කරලා රෝගියගේ වම් පෙණහැල්ලේ හිරවෙලා තිබූ මුනිස්සම ස්වාසනාලය දිගේ ඉහළට අරගෙන මුඛයෙන් පිටතට ගැනීමට තමයි සැලසුම් කළේ. රෝගියාගේ උදර කුහරයේ තිබූ පිඩනය වැඩිකරලා වෙනස්කරලා පෙණහලුවලට පීඩනය වැඩිකළා. මූනිස්සම ඉහළට ගත්තා. රෝගියා කහිනවාත් සමඟ  රෝගියාගේ ගෙල ඉදිරිපසට නැවීමෙන්  ඉහළට ආපු මුනිස්සම නැවත ස්වාසනාලයට  යන එක නතර කළා. එම සිද්ධාන්තය උපයෝගී කරගෙන තමයි මූනිස්සම රෝගියාගේ මුඛයෙන් පිටතට ගත්තේ. මූනිස්සමේ දිග සෙන්ටිමිටර් 02ක් විතර ඇති. මෙම ක්‍රමය සාර්ථක නොවුණා නම් රෝගියා ඇඳේ හාන්සි කරවලා හිස පහළට දමලා මූනිස්සම ඉවතට ගන්න ක්‍රමයක්ද තියෙනවා. නමුත් එම ක්‍රමය කිරිමට අවශ්‍ය වුණේ නැහැ.   රෝගියාගේ වේදනවා අඩුකිරීම සඳහා නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි මහතා විසින් වේදනා නාශක දීලා තිබුණා. රෝගියාට වේදනාව දැනුනා නම් මූනිස්සම ගන්න ඉතා අපහසු වෙනවා. ඕනෑම පුද්ගලයකුට ඕනැම අවස්ථාවකදී ශ්වාසනාලයේ හිරවීම් වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක ඉතා වැදගත්. එම අවස්ථාවකදී කහින්න කියලා පිටට තල්ලු කරලා පීඩනය වැඩිකරලා එළියට ගන්න පුළුවන්.

ඇත්තටම ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ නැහැ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මේ වගේ දෙයක් කරන්න කියලා. නමුත් ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය මට එම අවස්ථාව ලබාදුන්නා. වෛද්‍යතුමියට ඒ ගැන විශේෂයෙන් ස්තුති කළ යුතුයි. විවෘත සැත්කමක් කරලා මූනිස්සම ඉවත්කිරීමට කටයුතු කළා නම් රුපියල් ලක්ෂ 60ක 80ක විතර වියදමක් දැරීමට රජයට සිදුවෙනවා* යැයිද අසංක මද්දුමආරච්චි මහතා සඳහන් කළේය. 

■   යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද