2022 ජුනි 19 වන ඉරිදා

කිකිළියෝ බිත්තර දැමීම අඩුකරයි! බිත්තර මිල අහසට

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 100

අපි දැන් කන්නෙ එළවළු විතරයි. ලාබෙට ගන්න තිබුණෙ බිත්තර විතරයි. ඒකත් කන්න බැරි තරමට ගණන් යයි කියලා කීයටවත් හිතුවේ නෑ. මස්, මාළු, බිත්තර ගණන් ඇහුවාම පුදුම හිතෙනවා. කොහොමහරි අපිට ගෙදරට මස් බිත්තර නොගෙන ඉන්න පුළුවන්. දැන් ගණන්වල හැටියට මිනිස්සු නොකා සත්තුන්ට දෙන්න කොහොමත් විදිහක් නෑ. මස් බිත්තර එක්ක බත් කාපු බල්ලා පූසා දැන් බත් කනවා තියා පිඟාන දිහාවත් බලන්නේ නෑ. උනුත් බලාගත් අතේ බලාගෙන ඉන්නවා. අපිත් ඉන්නවා.” 

ඉහළ යන බඩු මිල හමුවේ ජීවන බර අදින පාරිභෝගිකයෙක් සිය දුක්ගැනවිල්ල පැවසුවේ එසේය. මේ ඔහුගේ පමණක් නොව බොහෝ දෙනකුගේ වර්තමාන කතාවයි. කුකුළු මස් සහ බිත්තර මේ වනවිට රන් හා සමානය. උදේ ඇහැරෙනවිට මිල දෙතුන් ගුණයකින් රොකට් වේගයෙන් ඉහළ ගිහින්ය. කුකුළු මස් බිත්තර මිල ඉහළ යාමේ ඇත්ත නැත්ත අප සොයා ගිය ගමනේ “දේශයේ” අනාවරණයයි මේ.

මෙම විශේෂාංගය සකස්වන මොහොතේ වෙළෙඳපොළ පවතින මිල ගණන් අනුව බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක සිල්ලර අවම මිල රුපියල් 1200ක් පමණ වෙයි. ඒ වගේම බිත්තරයක තොග මිල රුපියල් 38 - 42 ක් වන අතර සිල්ලර මිල රුපියල් 48 - 50 අතර වෙයි.  1954 වර්ෂය වනවිට මෙරට පැවති මන්දපෝෂණ තත්ත්වයට පිළියමක් ලෙස රජය මගින් කුකුළු මස් සහ බිත්තර පරිභෝජනය හඳුන්වාදීම සිදුවිය. මහනුවර කුණ්ඩසාලේ මධ්‍යම කුකුළු අභිජනන මධ්‍යස්ථානය පිහිටුවා සාම්ප්‍රදායික ආහාර රටාවට පරිබාහිර මිශ්‍ර ආහාර රටාවකට හුරු කරමින් ජනතා සිත්සතන්වල සුබ පහන් දැල්වූයේය. ඉන් ඇරඹුණු කුකුළු මස් සහ බිත්තර පරිභෝජනය මේ වනවිට මෙරට බහුතරයක් ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත් වී හමාරය. වයඹ පළාතේ හෙට්ටිපොළ, වීරපොකුණ, දුම්මලසූරිය, බිංගිරිය ඇතුළු රටපුරා විසිරී සිටින කුකුළු ගොවීන් ඇතුළු කර්මාන්තකරුවන්ද සත්ව ආහාර සහ නඩත්තු වියදම්වලින් මේ වනවිට හාන්සිය. 

මෙරට බොහෝ වෙළෙඳුන් දරාගත නොහැකි ලෙස ඉහළ යන මිල හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වී සිටින අතර මහා පරිමාණ ඒකාධිකාරයෙන් මත් වී සිටින ඇතැම් කූට වෙළෙන්දෝ වැල යන අතට මැස්ස බදිමින් මස් රාත්තලම ඉල්ලමින් සිටිති. වයඹ පළාත පුරා විසිරී සිටින සාමාජිකයන් 1600 කගෙන් පමණ සමන්විත මෙරට ප්‍රධානතම සමිති තුන අතර ඇති බිංගිරිය සත්ව නිෂ්පාදන හා කර්මාන්ත සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී ඉන්ද්‍රාණි කන්නන්ගර මහත්මිය “දේශයට” පැවසූයේ මේ වනවිට පත්ව ඇති කනගාටුදායක තත්ත්වයෙන් මිදීමට නම් අතරමැදියන් කෝටිපතියන් වන මාෆියාව නවතා ගොවියාට නිසි සාධාරණය ඉටුවී අමුද්‍රව්‍ය සහනයක් ලැබිය යුතු බවයි. 

බිත්තර මිල මේ තරමට ඉහළ යන්නේ ජනතා වරදින්ද? අප කළ විමසීමේදී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය‍.

“ග්‍රාමීය කර්මාන්තයට ලොකු බලපෑමක් මේ වනවිට වෙලා තියෙනවා. වයඹ පළාතේ බිත්තර ලක්ෂ හත අටක් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පමණ සිදුකරන්නේ වයඹ පළාතේ. මිල අධික වීම හේතුවෙන් පාරිභෝගිකයා ඈත්වෙනවා සේම ගොවියනුත් සියයට පනහක් මෙම කර්මාන්තයෙන් ඈත්වෙලා ඉන්නේ. සෑම භාණ්ඩයක්ම එකට දහ ගුණයකින් ගණන් ගිහින්. කෝටි 12ක් පමණ සිටින සතුන්ට කෑම වැඩිහරියක් ගේන්නේ පිටරටින්. රුපියල් 50ට තිබුණු බඩඉරිඟු අද රුපියල් 250යි. රුපියල් 40ට තිබුණු සුණුසාල් අද රුපියල් 210යි. රුපියල් 40ට තිබුණු පුන්නක්කු අද රුපියල් 90යි. රුපියල් 120ට තිබුණු සෝයා අද රුපියල් 450යි. රුපියල් 200ට තිබුණු මාළුකුඩු අද රුපියල් 600යි. රුපියල් 20,000 ට තිබූ ඊ විටමින් කිලෝ විසිපහේ කොට්ටය දැන් රුපියල් 65000යි. අනෙක් විටමින් වර්ගත් සියයට තුන්සියයකින් පමණ මිල ඉහළ ගිහින්. කෑම කිලෝවක් රුපියල් 65ට යද්දී බිත්තරයක් රුපියල් 15 - 20 ට දුන්නා. එහෙත් අද බිත්තරයට රුපියල් 38ට ලැබෙද්දී ඒ කෑම කිලෝව රුපියල් 225යි. සියයට අනූවක් බිත්තර දැමූ කිකිළිය අද බිත්තර දමන්නේ සියයට පනස්පහයි. මේක මහා ඛේදවාචකයක්. බිත්තර මිල තීරණය කරන්නේ අපිමයි. සංගම්වලින්මයි. පාලන මිලක් දැම්මාට වැඩක් නෑ. එහෙම වුණොත් වෙන්නේ බිත්තර කට්ටක්වත් කන්න ලැබෙන්නේ නෑ. හැබැයි මස් මිල අඩුවෙයි තව ටික දවසකින්.

වර්තමානයේ බිත්තරයක මිල ඇසූ පමණින් බිත්තරවල යහගුණ අමතක කරවයි. කුකුළු මස්  පමණක් නොව බිත්තරයත් එපා කියන තරමට ජනතාවගේ අසීරුතාව වැඩිවී තිබේ. දවසේ කුලිය අරන් වැඩ ඇරී ගෙදර එන එදාවේල ගැටගහගන්නා ජනතාව කඩයට පැමිණ බිත්තර මිල අසා හැරී යන අයුරු බලා සිටීම හැර තමන්ට අන් දෙයක් කිරීමට නොමැති බවත් එවන් සංවේදී අවස්ථාවලදී තමන්ද දැඩි අපහසුතාවට පත්වන බවත් බිත්තර වෙළෙන්දෝ පවසති.

බිත්තර මිලදී ගැනීමට නොහැකිව තැවෙන පාරිභෝගිකයන් මෙන්ම බිත්තර විකුණා ගැනීමට නොහැකි වෙළෙන්දෝද නූල් බෝලයක මෙන් ප්‍රශ්න ගොන්නක පැටලී සිටිති. ඔවුන් මේ හඬ ගා කියනුයේ පපුතුරෙන්ම නැගෙන ඔවුන්ගේ දුක් අඳෝනාවයි.
මේ වෙනකොට සාමාන්‍ය පවුලක මවුපියන්ට තම දරුවාට බිත්තරයක් කන්න දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මා වගකීමෙන් කියනවා මේ විදිහට ගියොත් අපේ රටේ සියයට හැත්තෑවකට ජනවාරි වනවිට මන්දපෝෂණය ඇතිවෙනවා. කිකිළියො  ලක්ෂයක් හිටියා නම් මේ වෙද්දී ඉන්නේ දහදාහක් වගේ. ලක්ෂ හතහමාරක් හදපු කෙනා දැන් හදන්නේ ලක්ෂ දෙකයි. මේ වගේ මේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් බොහෝ දෙනකු මේ වෙද්දී දැඩි ගැටලුවලට මුහුණ දී සිටිනවා. කිකිළියන්ට රයිස් පොලිෂ් කිලෝ හයසියයක්, බඩඉරිඟු කිලෝ තුන්සියයක් දෙන්න ඕනෑ. බිත්තරයක මිලට වඩා ගාණක් කිකිළියක් නඩත්තුවට යනවා. අද කර්මාන්තයේ බොහෝදෙනා කර්මාන්තයෙන් ඉවත්වෙලා. එන අගෝස්තු මාසය වනවිට බිත්තර නිෂ්පාදකයන් ලංකාවේ සිටීවි යැයි මා  හිතන්නේ නෑ. බිත්තරයක් පිටරටින් ගෙනත් කන්න ගියොත් රුපියල් දෙසීයක්වත් වේවි. දිනකට බිත්තර ලක්ෂ පහක් විකුණූ මට අද ගෙදරට වෙලා කකුල් දෙක උඩ තියාගෙන ඉන්න වෙලා* යැයි සමස්තලංකා බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා පැවසීය.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනුයේත් මේ වනවිට කුකුළු මස් නිෂ්පාදනය සියයට තිහකින් අඩු වී ගොවිපළවල් වසා දමන තත්ත්වයට පත් වී ඇති බවයි.

මස්, බිත්තර මිල ඉහළ යන්නේ ඇයි? අප කළ විමසීමේදී  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවසූයේ මෙවන් අදහසකි.

“කුකුළු ආහාර නොමැති වීමත් අධික මිලත් හේතුවෙන් මේ වනවිටත් බිත්තර සහ කුකුළු මස් කර්මාන්ත දෙකෙන්ම ග්‍රාමීය මට්ටමේ සුළු කර්මාන්තකරුවන්ගෙන් මිදී මහා පරිමාණ කිහිපදෙනකු අතට පත්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. එහෙම වුවහොත් මෙයටත් හාල්වලට වූ දෙයම සිදුවීමේ ඉඩක් තිබෙනවා. ත්‍රිපෝෂවලට වූ දෙයම බිත්තරවලට සිදුවීමට ඉඩදිය නොහැකිය. ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන නොමැති වීමෙන් බොහෝ දෙනාගේ ප්‍රතිශක්තිය හීනවීමට ඉඩහැර බලා සිටිය නොහැකිය. මෙම ප්‍රශ්න විසඳාලීම සඳහා වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා යම් සාර්ථක වැඩපිළිවෙළ රුසක් ගනිමින් තිබෙනවා. අපි ඒ උත්සාහයට සුබවාදීව සහාය දෙමු* යැයි ඒ මහතා කීය.

අපට දැන් සිදුවී ඇත්තේ රත්තරන් බිත්තරය ගානේ දමන කිකිළිගේ බඩ පලා බිත්තර සියල්ල එකපාර ගන්න ගිය මිනිහාට වූ දේමය. සාමාන්‍ය ජනතාවට දරාගැනීමට අපහසු තරමට කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමෙන් පිරිසක් ඒවා පරිභෝජනයෙන් ඉවත් වනවා සේම තවත් පිරිසක් විකල්ප සොයන්නටද පෙළඹීම සාමාන්‍යය. එහිදී මේ ආකාරයට වැඩි මිලට කුකුළු මස් සෙවීම අතහැර දඩමස් සෙවීම වැනි නීතිවිරෝධී ක්‍රම අනුගමනය කිරීමට පෙළඹීම වර්තමානයේ අප හමුවේ ඇති අවදානම් තත්ත්වයකි. එහි බරපතළකම සහ අනාගත අනතුර අමුතුවෙන් පැවසිය යුතු නැත. විධිමත් මාර්ග වැසී යාම හමුවේ අවිධිමත් මාර්ග විවර වීමට ඉඩ නොතැබීම කාලීන අවශ්‍යතාවකි. 

බිත්තර මස් මිල ඉහළ යනවා කියා පැවසීමට බොහෝදෙනා ඇතත් මේ සඳහා  උත්තරයක් ඒ කා ගාවවත් නැති බවක් පෙනේ. මහාපරිමාණ සංගම් කිහිපයකට අවැසි පරිදි මිල තීරණය කිරීමට හැකි නම් රටක පාරිභෝගික අධිකාරිය ඇතුළු පාලන ආයතන මහජන බදු මුදලින් පවත්වාගෙන යන්නේ කුමටදැයි මතුවන්නේ ප්‍රශ්නයකි. එසේම මස් රාත්තලම ඉල්ලන ඇතැම් සංගම්වලට ජයග්‍රහණය ලබාදී ජනතාව පරාජය බාරගෙන දුක් විඳිය යුතුද? මේ අප හමුවේ ඇති ප්‍රශ්න කිහිපයකි. මහා පරිමාණ ව්‍යාපාරිකයා සේම සුළු පරිමාණ ගොවියාත් රටට සම්පතකි.

බලධාරීහු ගල් ගිලලා සේ නිහඬව සිටිති.ජනතා අඳෝනා පමණක් සැම අතින්ම ඇසෙයි. මිල පාලන ආයතන තිබුණත් හිතූ හිතූ මිලට බඩු විකුණන කළුකඩද ඕනෑතරම් තිබේ. රජයේ ආයතන තිබේ. මස් බිත්තර නිෂ්පාදන සංගම් සභාපතිවරු දෙදෙනෙක් සිටිති. වෙළෙඳ සංගම් ඇත. මේ සියලු බලධාරීන් සහ සංගම් එක් තැනකට එක් වී මෙම ප්‍රශ්නය විසඳාගැනීමට තවමත් නොහැකි වී තිබේ. පොදු සාකච්ඡා වටයකින් ජනතාවටත් ගොවියාටත් කර්මාන්තකරුවාටත් සහනයක් ලැබෙන සේ මෙම මිල තීරණය කිරීමට උත්සාහ නොගන්නේ මන්දැයි ඇත්තේ ප්‍රශ්නයකි.

 සසංක චලන ගිම්හාන