2022 ජුනි 12 වන ඉරිදා

බොරලැස්ගමුව අනතුරේ දොස්තරගෙන් කෝටියක් වන්දි

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 311

රිය අනතුරක් නිසා වින්දිතයන් වූ හෝ යම් සිදුවීමක් හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්වයකට යම් සහනයක් අපේක්ෂා කළ හැක්කේ නීතිමය ක්‍රියාමාර්ගයකට පසුවය. ඒ සඳහා ගතවන කාලය කොපමණදැයි නිශ්චිත නැත. රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියකු මරණයට පත් කළ සිදුවීමට වරද පිළිගත් එම රථයේ රියැදුරු වූ විශේෂඥ වෛද්‍යවරියට මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට නියම කෙරුණේ රියැදුරකුට එරෙහිව ඉතිහාසගත තීන්දුවක් අධිකරණය මගින් ප්‍රකාශ කරමිනි.

සිය රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සෙසු වාහන දෙකකටත් අලාභ හානි සිදුකරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං පුහුණුකරු වූ පොලිස් පරීක්ෂකවරයාගේ මරණය සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් විශේෂඥ වෛද්‍යවරියක වූ කාවිංගා ගුණවර්ධන මහත්මියට මෙසේ දඬුවම් නියම කොට තිබුණි. 2018 වසරේ සැප්තැම්බර් 30 වැනිදා සිදු කළ රිය අනතුර නිසා මරණයට පත්වූයේ පොලිස් පරීක්ෂකවරයකු වූ අජන්ත ගාමිණී පෙරේරා නැමැත්තෙකි.

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම සහ පොලිස් පරීක්ෂකවරයකුගේ මරණය සිදුකිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව නඩුව පවරා තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ විභාගයට ගැනුණු නඩුවට අදාළව විත්තිකාර විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව තිබූ චෝදනාවලට ඇය වරද පිළිගත්තාය.

අනතුර සිදුවූ මොහොතේ පොලිස් පරීක්ෂකවරයාගේ රථයට අමතරව තවත් වාහන දෙකක් අනතුරට පත්කර තිබුණි. මේ නිසා ඉදිරිපත් කළ සාක්ෂි අනුව දඬුවම් නියම කළ විනිසුරුවරයා සිද්ධියට මුහුණපෑ අනෙක් වාහන දෙකේ හිමිකරුවන්ට රුපියල් ලක්ෂ පහ බැගින් වන්දි ගෙවිය යුතු බවට නියම කළේය.

අනතුරින් පසුව මියගිය පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී පෙරේරා මහතා ජාත්‍යන්තර බොක්සිං තීරකයකු වශයෙන් කටයුතු කළ අයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි පොලිස් පරීක්ෂකවරයාගේ වැඩිමහල් පුත්‍රයා අනතුර නිසා මේ වන විටත් ආබාධිත තත්ත්වයෙන් පසුවෙයි. ඔහු ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයකුව ලෙස කටයුතු කරමින් සිටි අතර අනතුරත් සමඟ ආබාධිතයකු වීම නිසා පිහිනුම් තරගවලට සහභාගි වීමට නොහැකි තත්ත්වයක පසුවෙයි. අනතුරින් අගතියට පත් පොලිස් පරීක්ෂකවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම කරුණු මනාව අධිකරණයට පවසා තිබුණි.


අනතුර සිදුවන අවස්ථාවේ මියගිය පොලිස් නිලධාරියා සමඟ ඔහුගේ බිරිය, දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇතැයි කියති. පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත් කරමින් බිරිය හා දරුවන් දෙදෙනාට බරපතළ තුවාල සිදු කළ අනතුර බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී සිදුව තිබුණේ 2018 සැප්තැම්බර් 30 වැනිදා අලුයම 1 ට පමණය.

මියගිය පොලිස් පරීක්ෂකවරයා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවද ඔහු බිරිය හා දරු දෙදෙනා සමඟ පදිංචිව සිට තිබුණේ තිඹිරිගස්යාය පිහිටි පොලිස් නිල නිවාසයකය. එබැවින් ඔහු බොරලැස්ගමුව නිවෙසට පැමිණියේ කලාතුරකිනි. පොලිස් පරීක්ෂකවරයාගේ මවගේ උපන්දිනය යෙදී තිබුණේ අනතුර සිදුවූ දිනට පෙරදාය. ඒ වෙනුවෙන් ඔහුගේ සොහොයුරකුගේ නිවෙසේ පැවැත්වූ දානමය පුණ්‍යකර්මයකි. පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී ඇතුළු පවුලේ පිරිස ඊට සහභාගී වීමට පැමිණ නැවත පිටත්ව ගොස් තිබුණේ මධ්‍යම රාත්‍රිය ඉක්මවූ පසුවය.

සහෝදරයාගේ නිවෙසින් පිටත් වූ අජන්ත ගාමිණී අලුතින් මිලදී ගත් වැගන් ආර් රථයේ නැගී පැපිලියාන දෙස සිට කොහුවල දෙසට ගමන් කරමින් සිටියේය. කිසිදු වාහන තදබයක් නොවූ මාර්ගයේ වම් පසින් ධාවනය වෙමින් තිබූ රථය ළඟා වෙමින් තිබුණේ යුද හමුදාවේ 142 වැනි බලසේනා මූලස්ථානය පසුකර යන්නටය. ඒ වෙලාවේදී කොහුවල දෙස සිට බොරලැස්ගමුව ප්‍රදේශය බලා වේගයෙන් ධාවනය වෙමින් තිබූ වෙසල් මෝටර් රථයකි. එම රථයට පෙර ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකට එක ආසන්නයේදීම ඉස්සර කරමින් වේගයෙන් ඉදිරියට ගිය රථය යුද හමුදා කඳවුර පෙනෙන මානයේ ඇති වික්‍රමරත්න මාවත ළඟ වංගුව අසලින් ගියේ තවත් වේගය වැඩි කරමිනි. ඒ මොහොත වන විටත් පොලිස් පරීක්ෂකවරයාගේ පවුල රුගත් වැගන් ආර් රථය අජන්ත ගාමිණී මහතාගේ වැඩිමහල් පුතු විසින් ප්‍රවේශමෙන් පදවමින් සිටියේය. තවදුරටත් ඒ ප්‍රවේශම් සහිත ගමනට ඉඩක් ලබා නොදී මාරාවේශයෙන් පැමිණි වෙස්ල් රථය මහ හඬක් නංවමින් වැගන් ආර් රථයේ රියැදුරු අසුන ඉදිරිපිට ගැටී එකී රථය පසුපසට තල්ලු කරමින් වටයක් කැරකී ඇදී ගොස් පාර හරහා නතර විය. ඉදිරියෙන් එන මෝටර් රථය දැක ඊට ඉඩ ලබා දීමට මාර්ගයේ වම් පසට ගත් වැගන් ආර් රථය වෙස්ල් රථයේ ගැටීමත් සමඟ විසිවී ගොස් පාර කෙළවර නවතා තිබූ වෑන් රථයක බඳට හේත්තු වී නැවතිණි. මේ අනතුර ඒ ආකාරයෙන්ම අසල වූ ගොඩනැගිල්ලක තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණ.

අනතුරත් සමඟ ඒ අසලින් යන්නට ආ වෙනත් මෝටර් රථ කිහිපයක පිරිස හා අසල්වැසියන් එක්ව තුවාල ලබා සිටි පිරිස රෝහල්ගත කරන්නට පියවර ගත්හ. ඒ අතරතුර වැගන් ආර් රථයේ පැමිණි පොලිස් පරීක්ෂකවරයා ද බිමට බැස රුස් වූ පිරිස සමඟ එක්ව තුවාල ලබා සිහිසුන්ව සිටි සිය බිරිය හා දරු දෙදෙනා රෝහල්ගත කරන්නට උත්සාහ කර තිබිණ. පසුව පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත වී තිබුණේ ඇතිව තිබූ සීරීම් හා ශරීර වේදනා හේතුවෙනි. කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පැය දෙකකට පමණ පසුව පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත් විය.

එම අනතුර සම්බන්ධයෙන් බොරලැස්ගමුව රථවාහන පොලීසිය වෙත තොරතුර දන්වා තිබුණේ ප්‍රදේශවාසීන් විසිනි. ඒ මොහොතේම එහි ගිය නිලධාරීන්ට රැස්ව සිටි පිරිස පවසා තිබුණේ අනතුර සිදු කළ වෙස්ල් රථය කාන්තාවක විසින් පදවාගෙන ආ එකක් බවත් එහි තවත් තරුණියක හා තරුණයන් දෙදෙනකු සිටි බවත් ඔවුන් තුවාල ලබා ඇති බැවින් රෝහල්ගත කළ බවත්ය. වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ රිය පැදවූ කාන්තාව අධික ලෙස බීමතින් සිටි බවය.

සැකකාර කාන්තාව රත්නපුර මහ රෝහලේ දියවැඩියාව රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අනතුර සිදුවීමට පෙර වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි කැරෝකි සමාජ ශාලාවක සිට පැමිණි බවට තොරතුරු හෙළි වී ඇත. බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ 2018 සැප්තැම්බර් 9 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ ඇයට එරෙහිව විභාග වූ නඩුවේදී අගතියට පත් අයට රුපියල් කෝටියක වන්දි ගෙවන ලෙස නියෝග කරමින් නඩුව අවසන් කෙරිණ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර