2022 ජුනි 12 වන ඉරිදා

ඔය කියන තරමට දුරකතන ගාස්තු වැඩිවෙනවද?

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 69

ශ්‍රී ලංකාව සිය නිදහස ලැබීමෙන් පසු මුහුණ දෙන දරුණුතම මූල්‍ය කඩා වැටීමකට දැන් මුහුණ දෙමින් සිටියි. දැඩි ආර්ථික අර්බුදයකට ලක් වූ රටේ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 39.1 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු අනුපාත ඉහළ දමන්නට රජය පියවර ගත්තේය. මෙහි තවත් පියවරක් ලෙස පසුගිය ජූනි 04දා සිට සන්නිවේදන සබඳතා භාවිතය සඳහාද බදු එකතු වූ අතර දුරකතන ජාල සබඳතා ගාස්තුද ඉහළ ගියේය.

මේ බදු කෙළින්ම - තදින්ම බලපෑවේ ජංගම දුරකතන භාවිතාකරන්නන් හටය. ජංගම දුරකතන කතාකාලය මෙන්ම එස්.එම්.එස්. ආදිය සඳහාද, එමෙන්ම අන්තර්ජාල සබඳතා ඔස්සේ කෙරෙන භාවිතාවන් සඳහාද මේ බදු මුදල් එකතුවී සෑදුන නව ගාස්තු සංශෝධනයකට මුහුණදීමට දැන් පාරිභෝගිකයන්ට සිදුව ඇත.

සාමාන්‍යයෙන් ලෝකයේ අන්සෑම තැනක මෙන්ම මෙරට තුළද ජංගම දුරකතන සබඳතා මෙන්ම ඒ ආශ්‍රිත අන්තර්ජාල ක්‍රියාකාරකම් හොඳ සරු ආදායමකට මඟ කියන බව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සංඛ්‍යාලේඛන දත්ත පෙන්වාදෙයි. මේ නිසාම එම ක්ෂේත්‍රය මේ අසීරු අවස්ථාවේ රටේ ආදායම් නැංවීම සඳහා සූක්ෂමව දායක කර ගැනීමට රජය තීන්දු කර තිබේ. ඒ මල නොතලා රොන් ගන්නා න්‍යායායෙනි.

ජංගම දුරකතන සබඳතා දත්ත වාර්තා අනුව 2021 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ ජංගම සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 1.0 කින් (සියයට + 3.2) ඉහළ ගොස් ඇත. ඒ අනුව 2022 ආරම්භයේදී ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සම්බන්ධතා මිලියන 32.29 ක් තිබූ බව GSMA බුද්ධි අංශයේ දත්ත පෙන්වා දෙයි. GSMA බුද්ධි අංශයේ සංඛ්‍යාවලින් පෙනී යන්නේ 2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ තිබූ ජංගම සම්බන්ධතා මුළු ජනගහනයෙන් සියයට 149.9 ට සමාන බවයි.

බොහෝවිට ලොවපුරා සිටින බොහෝ පුද්ගලයන් ජංගම සම්බන්ධතා එකකට වඩා භාවිතා කරන අතර - උදාහරණයක් ලෙස, ඔවුන්ට පෞද්ගලික භාවිතය සඳහා එක් සම්බන්ධතාවයක් සහ ව්‍යාපාරික හෝ කාර්යාල වැඩ සඳහා තවත් සම්බන්ධතාවයක් තිබිය හැකිය. එය මෙරටටද පොදුය. එබැවින් රටේ සැබෑ ජංගම සම්බන්ධතා සංඛ්‍යාවන්  සමස්ථ සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉක්මවා යාම අසාමාන්‍ය දෙයක් නොවේ.

ආර්ථික අසීරුතා මැද වුවද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතයද වසර 2022 දී ඉහළ ගොස් ඇති බව දත්ත අනුව පෙනීයයි. බොහෝදෙනා නිවසේ සිට කාර්යාල සේවා සැපයීම මෙන්ම ඔන්ලයින් බිස්නස් සහ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට යොමුව තිබීම මේ සඳහා හේතුවන්නට ඇත. මෙම පරිශීලකයන් ගැන සංඛ්‍යා හෙළි කරන්නේ 2022 ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මිලියන 10.20ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා නොකළ බවයි, එනම් ජනගහනයෙන් සියයට 47.4ක් වසර ආරම්භයේදී අන්තර්ජාලයට නොබැඳිව සිටි බවයි.

ඒ අතර වුවද 2022 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් මිලියන 11.34 ක් සිට ඇත. මෙලෙස 2021 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් 528,000 (සියයට + 4.9) කින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතයද සැලකිය යුතු මට්ටමක පවතී. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන අන්දමට 2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මිලියන 8.20 ක් සිට ඇත. ඒ අනුව 2022 ආරම්භයේදී ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 38.1 ට සමානය. මෑතකදී Kepios විශ්ලේෂණය හෙළි කර ඇත්තේ 2021 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් 300,000 (සියයට + 3.8) කින් වැඩි වී ඇති බවයි. ලංකාවේ Facebook භාවිතා කරන්නන් ගැන Meta හි ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ප්‍රචාරණ සම්පත් දත්තවලට අනුව 2022 මුල් භාගයේදී Facebook හට ශ්‍රී ලංකාව තුළ මිලියන 7.15ක පරිශීලකයන් සිටි බව පෙන්නුම් කරයි.

ගූගල්හි වෙළඳ ප්‍රචාරණ සම්පත් යාවත්කාලීන කිරීම්වලින් පෙනී යන්නේ 2022 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මිලියන 6.68ක යූ ටියුබ් පරිශීලකයින් සිටි බවයි. මෙම සංඛ්‍යාවෙන් අදහස් වන්නේ YouTube හි 2022 වෙළඳ දැන්වීම් ප්‍රවේශය වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 31.0 ට සමාන බවයි.

මෙලෙසම Meta ආයතනයේහි දත්ත සංඛ්‍යාවලින් පෙනී යන්නේ 2022 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් මිලියන 1.55ක සිට ඇති බවය. 2022 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මිලියන 3.80ක් වූ Facebook Messenger පරිශීලකයන් සිටි බවද දත්ත සනාථ කරයි. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ LinkedIn සමාජ ජාලය තුළ 2022 මුල් භාගයේදී  ශ්‍රී ලංකාවේ &සාමාජිකයන්* මිලියන 1.50 ක් සිටි බවයි. එසේම 2022 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ Twitter පරිශීලකයන් 296.7 දහසක් සිටි බව වාර්තාවේ.

මේ අනුව විවිධ දුරකතන ජාල ඔස්සේ සරු සාමාජික පිරිසක් ගනුදෙනු කරන නිරන්තරව වර්ධනය වන ස්ථිර ආදායම් මඟක් හැටියට මේ සංනිවේදන ජාල වෙළඳපළ රජය විසින් හඳුනාගෙන ඒ අනුව බදු අයකර ගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ. මේ වනවිට විවිධ සංනිවේදන ආයතනවල සබඳතා සැපැයුම් සඳහා විවිධ මට්ටමේ නව ගාස්තු සංශෝධන ඉදිරිපත්ව තිබේ.

ලංකාවේ ප්‍රමුඛ පෙලේ සංනිවේදන සබඳතා සපයන එක් ආයතනයක් ලබාදී තිබූ කතාබහ පැකේජයක් සඳහා රුපියල් 345/- සිට 367/-දක්වා රුපියල් 22 වැඩිවීමක්ද, එහිම 498/ට තිබු සබඳතාව සඳහා රුපියල් 32ක නව ගාස්තුවක් සමග  530/-ක මිලක්ද, නියමව ඇති අතර රුපියල් 577/-ට තිබූ අනෙක් පැකේජය සඳහා දැන් රුපියල් 612/-ක් ලෙස රුපියල් 34.92ක් ගෙවීමටද සිදුව ඇත.

එම ආයතනයේම තවත් සහන සබඳතාවක් වන work &learn පැකේජයේ මිල වෙනස මෙසේය. එහි 165ට තිබූ සබඳතාව සඳහා දැන් රුපියල් 6.22ක් බදු එකතුවෙන් 172ක් ගෙවීමට සිදුව ඇත. එහිම 540ට තිබූ පැකේජයට රුපියල් 19.99ක් එක්ව දැන් 561/-ක් ගෙවීමට සිදුව තිබේ. අධ්‍යාපන කටයුතු සඳහාද බහුලව යොදාගත් Mobile Data Plan සඳහා වූ බදු මුදල් රුපියල් 12.93 සිට රුපියල්  238.79 ක් දක්වා වූ පරාසයක් තුළ වැඩි වී තිබේ.

වඩාත් ලාබදායි සේවා පැකේජ සැපයූ තවත් ආයතනයක් වැඩි වූ බදු මුදලට ප්‍රතිචාර දක්වා තිබුණේ එක් පැකේජයක දත්ත ප්‍රමාණය වෙනස් කරමිනි. ඒ ආයතනය මගින් රුපියල් 49කට සැපැයූ 638MB ප්‍රමාණය වෙනුවට දැන් ඒ මුදලට ලැබෙන්නේ 612MB ප්‍රමාණයකි. ඒ පැකේජයේම රුපියල් 197ක් ගෙවූවිට කලින් 3GB ලබාදුන් නමුත් දැන් ඒ මුදලට ලබාගත හැක්කේ 2.9GBය.

සමාජ මාධ්‍ය පරිශීලකයන් සඳහා එම සමාගම ලබාදුන් තවත් පැකේජයක ගාස්තු දැන් වැඩිකර ඇත. Social Media + YouTube සඳහා එය කලින් අය කළ රුපියල් .271 වෙනුවට දැන් රුපියල් .280ක් අයකරනු දක්නට හැකිය. Facebook + 3GBපැකේජය සඳහා රුපියල් .321 කලින් ගෙවූ නමුදු දැන් රුපියල් .333ක් ගෙවිය යුතුය. කෙසේ වුවද බදු මුදල් සමඟ වැඩි වූ මේ සංශෝධිත ගාස්තු ගැන සාපේක්ෂව සලකා බැලීමේදි ඒවා රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් සඳහා ඉහළ ගිය අධික මිල  මට්ටමකට ළඟා වී නැති බවක් පෙනි යයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ ආයතනය වන  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU), වාර්ෂිකව එහි සාමාජික රටවල් සඳහා හඬ, SMS සහ ස්ථාවර සහ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා මිල ගණන් නියම කරයි. මෙහි වාර්තාවන්ට අනුව ගාස්තු මිල (බදු ඇතුළුව) සැලකූ කළ ලොව රටවල් 181 කින්, ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම මිල ගණන්  අයකරන රටවල් අතර අංක 21ට ශ්‍රේණිගත කර තිබේ. ඒ අනුව ලංකාව SAARC රටවල් අතර තවමත් මේ ක්ෂේත්‍රයේ  අඩුම මිල ගණන් අය කරන්නා හැටියටද නමක් දිනා සිටියි.

■  සුගත් පී. කුලතුංගආරච්චි