2022 ජුනි 12 වන ඉරිදා

වහලා අරින ඇරලා වහන සපුගස්කන්ද

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 145

ඉකුත් මාර්තු 21 සිට මාස දෙකහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු මැයි මස 28දා සිට නැවත ආරම්භ කරනු ලැබුණි. ඒ එදින බොරතෙල් ගොඩබෑමේ කටයුතු ඇරැඹීමත් සමඟ යැයි බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේය. බොරතෙල් නැති වීම නිසා පසුගිය වසරේ අග භාගයේ සිට මේ දක්වා තුන්වරක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාවට සිදුවිය. කෙසේ නමුත් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කර දින හයක් ඇතුළත ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි යැයි අපේක්ෂා කළද පිරිපහදුවේ හටගෙන තිබූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ප්‍රමාද වී ඇත.

ඛණිජ තෙල් අපිට නැතුවම බැරිය. ඛණිජ තෙල් කොපමණ අපේ ජීවිතවලට බලපානවාද කිව්වොත් තෙල් මිල ඉහළ යාම, තෙල් අංශු මාත්‍රයක්වත් අවශ්‍ය නැති භාණ්ඩ මිල පවා ඉහළ යාමට හේතු වෙයි. ඛණිජ තෙල් නැත්තම් අපේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය තත්ත්වයට පත්වනු ඇත. 

නූතන ලෝක පළමුවරට ඛණිජ තෙල් භාවිතය ආරම්භ වෙන්නේ කැ‌ෙන්ඩීයානු භූ විද්‍යාඥයකු වූ ඒබ්‍රහම් ගෙස්නර් විසින් ලාම්පු ඉන්ධනයක් ලෙස භූමිතෙල් හඳුන්වා දීමත් සමඟ. 1858 දී කැනඩාවේ සහ 1859 දී ඇමරිකාවේ පළමු තෙල් ළිං කැණීමත් සමඟ ඛනිජ තෙල් පිරිපහදු කිරීම කිරීම ආරම්භ විය. නමුත් 20 සියවස ආරම්භයේදී මෝටර් රථයේ දියුණුව නිසා ගුණාත්මක ඉන්ධන සඳහා වන ඉල්ලුම තියුණු ලෙස වැඩිවීමත් සමඟම බොරතෙල් අඛණ්ඩව ආසවනය කිරීමේ සහ පිරිපහදු කිරීමේ ක්‍රම දියුණු වීම ඇරඹිණි. ඒ අනුව වර්තමානය වනවිට ඛණිජතෙල් නිෂ්පාදනවලට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, නෞකා ඉන්ධන, උදුන් තෙල්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව ඇතුළත් වී තිබේ.

මෙරටට ඛණිජ තෙල් අවශ්‍යතාවට ඛණිජ සම්පත් රට තුළ සපයා ගත නොහැකි බැවින් ආරම්භයේ සිට ම ඛණිජ තෙල් ආනයන කිරීමට සිදු විය. මුල් කාලයේ තෙල් ආනයනය කරනු ලැබුවේ කැල්ටෙක්ස්, ෂෙල්, මොබිල්, එසෝ, ස්ටෑඩට් ඔයිල් ආදී බහුජාතික සමාගම් විසිනි. ඛණිජ තෙල් ආනයනය ජනසතු කිරීමට 1960 දශකයේ සිරිමාවෝ මැතිනියගේ රජය කටයුතු කිරීමත් සමඟ රුසියාව සහ ඊජිප්තුවෙන් මෙරටට ඛණිජ තෙල් ආනයන කරනු ලැබුණි. එමඟින් විශාල ලාභයක් රජය උපයා ගත්තේය.

ඛණිජ නිෂ්පාදන ආනයන කිරීමට වඩා බොර තෙල් ආනයනය කර පිරිපහදු කිරීම ලාභදායි කටයුත්තක් බැවින් පිරිපහදුවක් ආරම්භ කිරීමට රටේ අවධානය යොමු විය. ඒ අනුව රටට අවශ්‍ය ඛණිජ වර්ග පිරිපහදු කරගැනීමට 1969 වර්ෂයයේ සපුගස්කන්ද පිරිපහදුව ආරම්භ කරනු ලැබීය. අද දක්වා රටට අවශ්‍ය ඛණිජ තෙල් නිෂ්පාදනයන් කිරීමට දායක වී තිබෙන්නේ සපුගස්කන්ද පිරිපහදුවය. සපුගස්කන්ද පිරිපහදුව ඉරාන රජයේ ආධාර ඇතිව දිනකට ඉරාන සැහැල්ලු බොරතෙල් (Iranian Light) මෙට්‍රික් ටොන් 5200 පිරිපහදු කිරීමට ස්ථාපනය විය. එමෙන් ම ඉරාන සැහැල්ලු බොරතෙල්වලට සමාන UPPER ZAKUM, අරාබි සැහැල්ලු බොරතෙල් ආදිය පිරිපහදු කිරීමට සපුගස්කන්ද පිරිපහදුවට හැකි විය. 

සපුගස්කන්ද පිරිපහදුවෙන් 1971 දී සම්පීඩිත දියර වායු නිෂ්පාදනය ආරම්භ වී තිබෙන අතර, සම්පීඩිත දියර වායු නිෂ්පාදනය කිරීම සඳහා Naptha Merox ඒකකය නවීකරණය තිබේ. එමෙන්ම වැඩිවන ඛණිජ තෙල් ඉල්ලුම සැලකිල්ලට ගනිමින් පිරිපහදු ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 6900ක් දක්වා වැඩි කිරීමට බොරතෙල් පෙරණ ඒකකයක්ද විවෘත කර තිබේ. Miri Light වැනි පෙරදිග බොරතෙල් පිරිපහදු කිරීම සඳහා බොරතෙල් පෙරන ඒකකය නැවත වතාවක් ක්‍රියාත්මක කර, 1992 දී නැප්තා එක්රුස් කිරීමේ ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 1100ක් දක්වා ඉහළ නංවනු ලැබ තිබේ. 

රටේ වැඩිවන පෙට්‍රල් ඉල්ලුම සපුරාලීම සඳහා සහ පෙට්‍රල් අලෙවියේ ප්‍රමුඛතාවය ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව රඳවා ගැනීමේ අරමුණින් 1999 දී Platformer ඒකකය දිනකට මෙට්‍රික් ටොන් 650 දක්වා වැඩි කිරීමට තෙල් සංස්ථාව කටයුතු කළේය. වැඩිවන ඩීසල් ඉල්ලුමට විසඳුමක් ලෙස පැවති භූමිතෙල් එක්රුස් කිරීමේ ඒකකය ඩීසල් නිපදවීම සඳහා නැවත සකස් කර ඩීසල්වල පවත්නා ගෙන්දගම් පිරිවිතරය සම්පූර්ණ කිරීමට ඩීසල් එක්රුස් කිරීමේ ඒකකය 2003දී ප්‍රතිසංස්කරණය කර ඇත. මීට අමතරව, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු සඳහා ඔරුගොඩවත්ත ටැංකි සංකීරණයේ පිරිපහදු පරිශ්‍රය තුළ බොරතෙල්, නිමි නිෂ්පාදන සහ අතරමැදි නිෂ්පාදන සහ බොරතෙල් සඳහා ටැංකි 65ක් තිබේ.

සපුගස්කන්ද පිරිපහදුව ආරම්භ කිරීමෙන් පසු අලුත් නිෂ්පාදන කිහිපයක්ම බිහි විය. 1970 සිට ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය කිරීමත්, බෙදා හැරීමටත් ඛණිජ තෙල් සංස්ථාවට හැකි විය. 1978 වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් තවත් අතුරු නිෂ්පාදන රාශියක්ම වෙළෙඳ පොළට නිකුත් විය. නයිලෝන් නූල්, ටයර් නිෂ්පාදනයට අදාළ නූල්, මාළු දැල්, ගොවිතැනට සම්බන්ධ කෘෂිරසායන හා පොහොර, බිටුමන් (තාර දැමීම සඳහා පාවිච්චි කරන දියර) ආදී නිපැයුම් දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි විය. එමෙන්ම රටේ විදුලි නිෂ්පාදනය සඳහා විදුලි බලාගාරවලට දැවිතෙල් සැපයුම කරනු ලැබුවේ ඛණිජ තෙල් සංස්ථාවේ පිරිපහදුවෙනි.

කෙසේ නමුත් 2012 වසරේ ඇමරිකාව විසින් ඉරානයට පනවන ලද ආර්ථික සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉරේනියන් ලයිට් බොර තෙල් මිලදීගැනීම නොහැකි වූ නිසා මිර්බන් නැමති ආදේශ බොර තෙල් මෙම පිරිපහදුවේ භාවිත කිරීමට සිදුවිය. එනිසා පිරිපහදුවේ කාර්යක්ෂමතාවද යම් මට්ටමකට පහත වැටුණද 2021 නොවැම්බර් දක්වා වරින්වර ගැටලු මතු වුවද පිරිපහදුවේ වැඩ කටයුතු සිදු විය. කෙසේ නමුත් ඉකුත් වසර දෙකක කාලය තුළ උද්ගත වූ ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට රජය කටයුතු කළේ ය. ඒ හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව 2021 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා දින 22ක් ද 2022 ජනවාරි මස 3 සිට ජනවාරි 30 දක්වා දින 23ක් ද මාර්තු මස 21 සිට මැයි 28 දක්වා දින 68ක් ද වසා දැමීමට ඛණිජ තෙල් සංස්ථාවට සිදු විය. බොරතෙල් ආනයනය නොකිරීමෙන් පිරිපහදුව අකර්මණ්‍ය වීමෙන් රටට සිදු වූ පාඩුව තවම ගණනය කර නොමැත.

අවම මිලකට නිෂ්පාදනය කරගත හැකිව තිබූ භූමිතෙල් ඉහළ මිලකට ආනයනය කිරීමට සිදුවීමෙන් හා ගුවන් යානා සඳහා ගුවන් තෙල් සැපයුමට ඛණිජ තෙල් සංස්ථාවට තිබූ ඒකාධිකාරය බිඳ වැටීම සපුගස්කන්ද අඩපණ වීමේ පැහැදිලි බලපෑම් විය. කෙසේ නමුත් පිරිපහදුවේ වැඩකටයුතු නැවත ආරම්භ වීමේ සුබදායි ලකුණක් ලෙස සැලකිය හැකි ය. අඩු මිලට බොරතෙල් සපයා ගනිමින් පිරිපහදුවේ කටයුතු වේගවත් කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් තෙල් පෝලිම් ද අවසන් කරමින් පිරිපහදුවේ අනෙකුත් නිෂ්පාදනය නැවත ආරම්භ කළ හැකිය. එමගින් රටට විශාල ඩොලර් ඉතිරියක් වක්‍රාකාරව සිදුවන බව නිසැකය.

සටහන: සකීෆ් සාම්