2022 ජුනි 12 වන ඉරිදා

ලීසිං ලේසි නැති දුප්පතාගෙ බයිසිකලේ

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 348

කරගැට අතගගා කිලෝමීටර් ගණන් පාගපු සුන්දර මතක ඉතිරි කළ සයිකලයේ මිල ගණන් ඇසූ පමණින් අමිහිරි මතක ගොන්නකට පාර සැකසී අවසන්ය. ලෝක පාපැදි  දිනය ඉකුත් 3 වැනිදාට යෙදුණු අතර ඒ මොහොත වන විටත් පාපැදියක් මිලදී ගැනීමට නොහැකිව තෙල් පෝලිම්වල පවා දුක් විඳින කී දෙනකු නම් සිටීදැයි අපි නොදනිමු. මේ කියන්නට යන්නේ දුප්පත් අපගේ බයිසිකලය පොහොසත් අයගේ ගෙවල්වලටම සින්න වුණු ඒ කතාව ගැනයි.

බයිසිකලයක් මිලදී ගන්නටත් ණයක් ගැනීමට සිදුවෙතැයි කිසිවකු කිසි දින හීනෙකින්වත් නොසිතන්නට ඇත. එහෙත් එය මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වී හමාරය. ශීඝ්‍ර ලෙස වාහනවල මිල ඉහළ යාම සහ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බයිසිකල්වලට ජනතාවගේ දැඩි ඉල්ලුමක් වෙළෙඳපොළේ නිර්මාණය වී තිබේ. ඒ අනුව කල්බදු ක්‍රමයට පාපැදි ලබා දීම කෙරෙහි මෙරට කල්බදු සමාගම් කිහිපයක් මේ වනවිට සැලසුම් කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කළේය.
කල්බදු ක්‍රමය යටතේ බයිසිකල් සැපයීමට හැකිද? අඩු ආදායම්ලාභියාගේ දුකට සැපට එකට සිටි එකම වාහනය වූ බයිසිකලය ඔවුන්ගෙන් උදුරා ගැනීමට තරම් බයිසිකලයට සිදුවූයේ කුමක්ද? මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පාපැදි නිෂ්පාදක, මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා මෙසේ අදහස් දැක්වීය. 

“මම මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නියැලෙන කෙනෙක් විදිහට එක අතකින් නිෂ්පාදන සිදුකරන ගමන් අනෙක් අතින් පාපැදිය ජනප්‍රිය කරන්න බොහෝ වැඩ කොටසක් සිදුකර තිබෙනවා. මට පාපැදි වෙළෙඳ ආයතන තුනක් තිබෙනවා. කඩුවෙල කම්හලක් තිබෙනවා. බයිසිකලය කියන්නේ සාමාන්‍ය ජනතාවගේ සමීපතම මිතුරකු වගේ. මේ රටේ පාපැදි නිෂ්පාදනය කර ලාභ ලබන්න බෑ. ඒක තමා යථාර්ථය. අපේ රටේ නිෂ්පාදනයකට අතහිත දෙන ජාතික ප්‍රතිපත්තියක් නෑ. ආනයනකරුවන්ට සුරක්ෂිත බවක් නෑ. අපි ඔක්කොම එකම පිට්ටනියේ සෙල්ලම් කරන්නේ. මීට වසර දෙකකට ඉහතදී පාපැදිය රුපියල් 15000ට අපි දුන්නා. බයිසිකලයට උපාංග ගෙනත් සවිකර ලබා දුන්නා අපි ඒ වගේ මිලකට. සමහර මිනිස්සු රාත්‍රී කෑමවේලකට එක පුද්ගලයෙක් දෙදෙනකු එක් වී ආහාර ගත් විට රුපියල් 15000කට වැඩි බිල් දමා ජීවත් වූ රටක ඒ මිලකට අපි බයිසිකලයක් දුන්නා. මීට මාස 10කට කලින් රුපියල් 16,500කට තිබුණු බයිසිකලය දැන් මේ වෙද්දී රුපියල් 35000 - 45000 අතර මිලක් වෙනවා. කුඩා දරුවන්ගේ බයිසිකලයක් රුපියල් 8500 - 10000 අතර මිලක තිබුණා. එහෙත් මේ වෙද්දී පාපැදිවල 150% ක වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 35000 – 45000 මිලකට විකිණෙනවා. එයට හේතුව අමුතුවෙන් කිව යුතු නෑ. මෙය ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක්. පාපැදිය තවදුරටත් දුප්පත් ජනතාවගේ වාහනයක් වෙන්නේ නෑ. ආර්ථික අර්බුදයක සිටින අපට මේ වනවිට පාපැදියේ ප්‍රයෝජනය වඩාත් දැනිලා තිබෙනවා. අපේ රටේ ආකල්පමය ප්‍රශ්නයක් තිබුණා පාපැදියේ යන්නේ දුප්පත්ම ජනතාව පමණයි කියලා. එහෙත් ඒ මතය මේ වෙද්දී වෙනස් වෙලා තියෙනවා. පාපැදිය ජනප්‍රිය වීම වගේම එයට අවශ්‍ය යටිතල පහසුකම් රජය විසින් සලසා දිය යුතු වෙනවා.

බොහෝ දෙනකු බයිසිකල්වලට ලීසිං දෙන්න කැමැති නෑ. ඒකට හේතු තියෙනවා. ණය පියවාගැනීමේදී සමාගම්වලට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙනවා. වෙළෙඳපොළේ සාමාන්‍ය මිලට තිබෙන බොහෝ බයිසිකල් බොහෝම ඉක්මනින් මලකඩ කෑමට පටන් ගන්නවා. මුහුදුබඩ පෙදෙස්වල නම් එය ඊටත් වඩා ඉක්මනට සිදුවෙනවා. එවිට බයිසිකලයේ වටිනාකම බලාගෙන ඉඳිද්දී බහිනවා. එවිට පාවිච්චි කළ වටිනාකමත් බහිනවා. ඒ සඳහා පාපැදිවලට රක්ෂණාවරණයක් තිබිය යුතුයි. මෙවැනි කරුණු කාරණා සම්පාදනය වන්නේ නම් පමණක් කල්බදු සමාගම් මේ සඳහා පාපැදි ලබාදීමට ඉදිරිපත් වේවි. කෙසේ වෙතත් බයිසිකල්වල අවශ්‍යතාව දැන් දැන් තදින්ම දැනුණද බයිසිකලයට ජනප්‍රියත්වය ලබාගන්න තිබුණා මීට අවුරුදු 25කට කලින් ඒ අවශ්‍ය කටයුතු කළා නම්. අපි ඒ කාලේ මහා මාර්ග ඇමැතිලාට, වෙළෙඳ ඇමැතිලාට කිව්වා පාපැදිය කියන්නේ මිනිස් බලයෙන් දුවන වාහනයක්. එයට මහා මාර්ගයේ සමතැනක් තිබිය යුතුයි. මංතීරු ඇතිවෙන්න ඕන. එය කොළඹ විතරක් නොවෙයි රටපුරා කළ හැකි දෙයක්. මේ කතාව අපි කියන්නේ අද ඊයේ නොවෙයි. ගමනාගමනය සම්බන්ධයෙන් ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවාද? ඒ ජාතික ප්‍රතිපත්තියේ තිබෙන්නේ වාහන විතරද? සමහර දේශපාලකයන් පාපැදිවලට නගින්නේ මිනිසුන් අන්දන්න. අපි කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ගමනාගමන පහසුකම ගැන. මේ රටේ මාර්ගවල විශේෂත්වය දැක්වූයේ වාහනවලටයි යතුරුපැදිවලටයි විතරයි. මේ රටේ මේවා ගැන හැමදාම කතා කරපු එක විතරයි කළේ. කරපු වැඩක් නෑ. ඉහත කී පසුබිම හැදුණේ නැතිවුණාම. දැන් අද කතා කරන්න වෙලා තියෙන්නේ නන්නත්තාර වෙච්ච පාපැදියක් ගැනයි. ඉස්සර පාපැදි හැදුවේ චෙරි ගස් යට විංකල්වලින්. එහෙත් දැන් පාපැදි අලුත්වැඩියා කරන වෙනම ආයතන දක්වා දියුණු වී තිබෙනවා. ආදුරුප්පුවීදියේ බයිසිකල් කඩ 250ක් විතර තිබෙනවා. මගේ දැනුම අනුව රට පුරාම පාපැදි අලෙවිසල් 3000ක් පමණ තිබෙනවා. පාපැදිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ මොහොතේ හෝ රජය නිසි වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.” යැයි ද අමල් මහතා වැඩිදුරටත් පැවසීය. 

පාපැදි කල්බදු ක්‍රමයට ලබාදීම සම්බන්ධයෙන් නිසි සැලසුමක් තවම නොමැති බවත් එවැනි සැලසුමක් පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සැකසුණු වහාම ජනතාවට ඒ සහනය ලබාදීමට කැපවී සිටින බවත් මෙරට කල්බදු සමාගම් කිහිපයකම ප්‍රකාශකයෝ අප කළ විමසීමේදී පැවසූහ.

කල්බදු ක්‍රමය යටතේ පාපැදි ලබාදීමට රජයේ සැලසුමක් තිබේදැයි විමසීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට ගත් ප්‍රයත්නය ව්‍යර්ථ විය. 

පැවසීමට පහසු ඇතැම් කටයුතු ක්‍රියාවේදී ඒ තරමටම පහසු නොවේ. මෙහිදී අප හමුවේ මතුවන පළමු පැනය වන්නේ කල්බදු සමාගම් පවතින නීති රාමුව යටතේ කල්බදු ක්‍රමයට පාපැදි ලබාදීමට එකඟ වේවිද යන්නයි. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඊට පෙරාතුව නිරාකරණය කරගත යුතු ගැටලු රාශියක් පැන නගින බව සිහිපත් කළ යුතුය. 

පළමු කාරණය වන්නේ වර්තමානයේ මෙරට පවතින නීතිය අනුව පාපැදි සහ මෝපෙඩ් යතුරුපැදි සඳහා ලියාපදිංචිය අනිවාර්ය නොමැති වීමයි. එහෙත් දැනට කල්බදු ක්‍රමය යටතේ ලබාදෙන වාහන සහ යතුරුපැදි සඳහා ලියාපදිංචියක් ඇති අතර පාපැදිවලට ලියාපදිංචි වීමක් නොමැතිව කල්බදු සමාගම් කෙසේ පාපැදි ලබාදෙන්නේදැයි ප්‍රශ්නයකි. එදවස මෙරට මාර්ගයේ ගමන්ගන්නා බයිසිකල්වල ඩයිනමෝව අසල තහඩු කැබැල්ලක් එල්ලා තිබූ අයුරු බොහෝ අය දැක ඇතුවාට සැක නැත. එයින් සෑම පාපැදියක්ම ජනවසමෙන් ලියාපදිංචියක් සිදු කර තිබිණ. ඒ ආකාරයට නිසි වැඩපිළිවෙළක් යටතේ නව තාක්ෂණය සමඟ බද්ධ කර පාපැදි ලියාපදිංචියක් සිදුකිරීමට හැකි නම් එය වඩා සුදුසුය. එහෙත් එය ජනතාව පිට පැටවුණු අමතර බරක් නොවිය යුතුමය. 
දෙවැනි කාරණය වනුයේ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවක අදාළ වාහනය නැවත කල්බදු සමාගමට ලබාගන්නේ කෙසේද යන්නයි. එනම් යම් අවස්ථාවක ණය ගෙවීම පැහැර හැරියහොත් වාහනයක් හෝ යතුරුපැදියක් නම් එය ලියාපදිංචිය අනුව හිමිකරු සහ අදාළ වාහනය සොයාගත හැකිය. එහෙත් ඒ ආකාරයට ණය ගෙවීම පැහැර හැරීමට අදාළ පාපැදිය සොයාගැනීම දුෂ්කර කාර්යයක් වීම කල්බදු සමාගම්වලට ඇති අභියෝගයයි.

තෙවැන්න වනුයේ යම් ආකාරයක ණය නොගෙවා පැහැර හැරි අවස්ථාවක කල්බදු සමාගමට නීතිමය ක්‍රියාමාර්ගයක් යටතේ නඩු කියා පාපැදිය ලබාගැනීමට තරම් පාපැදියේ වටිනාකම නොමැති බවට මතුවන තවත් ගැටලුවකි. 

අනෙක් කාරණය වනුයේ යම් පාපැදියක් කල්බදු ක්‍රමය යටතේ ලබාගැනීමෙන් පසු වාරික ගෙවා අවසන් නොකළ අවස්ථාවක මගහැරීමේ අරමුණින් පාපැදිය කොටස් කර විසිරවුවහොත් සමාගමට වගකීමට බැඳී සිටින්නකු නොමැතිවීම නිසා මතුවිය හැකි ගැටලුවකි. පාපැදිය යම් අවස්ථාවක කල්බදු ක්‍රමයට ලබාදෙන්නේ නම් ඊට පෙර පාපැදියට රක්ෂණාවරණයක්ද තිබිය යුතුයි.

පවතින වාතාවරණය අනුව මේ ආකාරයට කල්බදු ක්‍රමයට පාපැදි නිකුත් කිරීම සංකීර්ණ ක්‍රියාදාමයක් බව පැහැදිලිය. එසේ නම් මෙය සිදු කළ නොහැකි ක්‍රියාවක්ද යන්න මීළඟට මතුවන පැනයයි. යම් ලියාපදිංචි ආයතනයක් මගින් හෝ පිළිගත් සමිති සමාගමක් මගින් ඒ ඒ අදාළ ස්ථානයේ අභ්‍යන්තර නිලධාරීන් ඇතුළු සේවකයන්ට වැටුපෙන් අයකර ගැනීමේ ණය පදනම මත පාපැදි ලබාදීමට හැකිය. එහිදී ආයතනයේ සේවකයා ආයතනයට වගවෙයි. මෙම ක්‍රමය බොහෝ ආයතනගතව මේ වන විටත් පවතින ණය ලබාදෙන ක්‍රමයකි. එම ක්‍රමය අනුව කල්බදු ක්‍රමය යටතේ පාපැදි ලබාදීමට අවකාශ සැලසිය හැකිය. එවැනි විධිමත් ආකාරයට සැලසුම් සහගතව රජය මගින් ජනතාව පාපැදිවලට උනන්දු කරන්නේ නම් මෙරට නාගරික මාර්ග තදබදයටත්, ජනතාවගේ ශරීර සෞඛ්‍යයටත් එය වඩාත් හිතකර ප්‍රයත්නයක් ලෙස ඇගයීමට හැකිය. ගමනාගමනය රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවකි.

 සසංක චලන ගිම්හාන