2022 ජුනි 05 වන ඉරිදා

21 සංශෝධනයේදී සජබ-ශ්‍රීලනිප කොතනද?

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 42

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට රටේ සියලු ප්‍රශ්න මැද තවත් එක් මාතෘකාවක් වී ඇත. දේශපාලන වේදිකාවල පවා කතාවෙන ප්‍රධානම මාතෘකාව වී ඇත්තේ මේ සංශෝධනයයි. මෙකී සංශෝධනය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සිය කාලයේ ඔහුගේ රජයට බලපෑම් එල්ලවීමත් සමඟ ගෙන ආ අතර එහෙත් එයට විපක්ෂයේ සිය විරෝධය එල්ල විය. ඒ රාජපක්ෂවරුන් විසින් රාජපක්ෂවරු ආරක්ෂා කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් ලෙස බොහෝ දෙනා අර්ථ ගැන්වූ නිසාය. ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් ඉන් එහා කිසිදු දෙයක් කරන්නට නොහැකි වූයේ ආණ්ඩුව හදිසියේ පෙරළුණු නිසාය.

ආණ්ඩුව විසිර යාමත්, ජනතා අරගලයත් නිසා කිසිවකු ආණ්ඩුවක් හැදීම වෙනුවෙන් ප්‍රථමයෙන් ඉස්සර වූයේ නැත. එයට හේතුව ඒ වනවිටත් ජනතා විරෝධය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යා යුතු බව ඉල්ලා සිටින අරගලයක් වීම නිසාය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ නැවතත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරළියට ආවේය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා සජබයෙන් එක්වූ හරීන් සහ මනූෂගේ යෝජනාව අනුව එය සිදුවිය. ඊට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් එකඟත්වය ලබාදුන් අතර ඒ අනුව පළමු කැබිනට් මණ්ඩල රැස්වීමටම එය ඉදිරිපත් කිරීම සියලුදෙනාගේ ඉලක්කය විය.

මෙය දේශපාලනිකව ගතහොත් ජනාධිපතිවරයා එක පැත්තකින් ආරක්ෂා වන වැඩකි. එනම් ජනාධිපතිවරයාගේ බලතල අග්‍රාමාත්‍යවරයාට පැවරීමත් සමඟ ''ගෝ හෝම් ගෝඨා'' ඉල්ලීම විසිර යාමය. එසේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය දීර්ඝකාලීන දේශපාලන මෙහෙයුමක් වීමේ සම්භාවිතාවද වැඩිය. මේ සංශෝධනයට එල්ල වෙන විරුද්ධ මතවාද සමඟ වැඩේ කල්මැරෙන අතර ගෝහෝම්ගෝඨා අරගලය දියාරු වීමේ මෙහෙයුම ඒ අතර ක්‍රියාත්මක විය හැක. එසේත් නැතහොත් මෙය සැබවින්ම පිරිසිදු චේතනාවක්ද විය හැක.

කෙසේ වෙතත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ වර්තමාන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනි. ඔහු මීට පෙරද මේ ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික යෝජනාවක් ලෙසය. මෙවර එය ආණ්ඩුවේ වැඩක් විය. ප්‍රධාන ඉලක්කය වී තිබුණේ දැඩි විවේචනයට ලක්වන ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාය. 19 සංශෝධනය හරහා බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමේ ඉලක්කය ද්විත්ව පුරවැසි විරෝධය හරහා බිඳ හෙළුවත් 20 වැනි සංශෝධනය හරහා නැවතත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු රුගෙන ඒම සඳහා ද්විත්ව පුරවැසි යෝජනාව සම්මත විය. දැන් නැවතත් 21 වැනි සංශෝධනය ගෙන ඒමේ ප්‍රධාන එක් මෙහෙයුමක් වන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමය. ලෝක ඉතිහාසයේ එක් පුද්ගලයෙක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් මේ ආකාරයෙන් සංශෝධනය වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇත.

ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත්, ජනාධිපති බලතල අගමැතිවරයා වෙත පැවරීමත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් ඇතුළු 19 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම 21 මූලික අරමුණ විය. බොහෝ දෙනා මෙහිදී විමසුවේ ජනාධිපතිවරයා ඉවත්වෙන ලෙස ජනතාව කියද්දී මේ ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කුමකට කියාය. ඊට වර්තමාන ආණ්ඩුවේ රහසිගත පිළිතුරු දෙකක් විය. එනම් එක එකවර ජනාධිපතිවරයා ඉවත් වුවහොත් ඊළඟට ජනපති වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නිසාය. දෙක ජනාධිපතිවරයා ඉවත් වුවහොත් බහුතර බලය ඇති පොහොට්ටුවේ යෝජනාවට අනුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වනු ඇත. මෙකී තර්ක දෙක නිසා ඉතාම සීරුමාරුවට බලය හුවමාරු කිරීමේ ක්‍රමයක් ලෙස 21ක ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔවුන්ගේ අදහස විය.

මෙකී සංශෝධනයේ ප්‍රශ්නය පැන නැගෙන්නේ ඊට පසුවය. කැබිනට් මණ්ඩලයට දුන් සැණින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වහාම නිවේදනයක් නිකුත් කරමින් කීවේ තමන්ගේ පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට විරුද්ධ බවය. පක්ෂ නායකයන්ට සඳුදා සිට සිකුරාදා වනතෙක් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීම් කෙරුණත් සජිත් ප්‍රේමදාස යෝජනාවට කලින්ම විරුද්ධ බව කීවේය.

මෙය 21 බලාත්මක කිරීම සඳහා බලාපොරොත්තු තබාගෙන සිටි බොහෝදෙනාගේ හීන කුඩු කරන මොහොතක් විය. සජිත් ප්‍රේමදාස මහතා සැබවින්ම ඒ මොහොතේම ප්‍රහාරය එල්ල කළේ කාරණා කීපයක් නිසා විය හැක. එනම් ඔහුට අග්‍රාමාත්‍ය ධුරය අවසාන මොහොතේ ලබා නොදීමත්, ඔහුගේ හොඳම සාමාජිකයන් දෙදෙනකු වූ හරීන් සහ මනූෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැතිවරුන් වීමත්ය. ඒ නිසා ආරම්භක ප්‍රහාරය එසේ එල්ල කළේ එකී වේදනාව නිසා විය හැක.

කෙසේ වෙතත් මීට විරුද්ධව ඡන්දය දෙනවාද යන්න අප සජබ මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියත් ඔවුන්ගේ මතය තවම පැහැදිලි නැත. පිරිසක් 21 සම්බන්ධයෙන් තමන් මොනවද කිවයුත්තේ කියාවත් දන්නේ නැත. ඒත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ මන්ත්‍රීවරුන් පවසන්නේ 21ට විරුද්ධ බවය. ඒකට හේතුව ලෙස කියන්නේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවය. ඊට විරුද්ධව යෝජනා ඉදිරිපත් කර ඇතිද යන්න විමසුවත් යෝජනා ලබාදීද නැත. ඔවුන් පවසන්නේ ඔවුන් විසින් මීට පෙර ලබාදුන් යෝජනාවලිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යොදාගන්නා ලෙසය. ඔවුන් මේ ආකාරයෙන් විරෝධය පළකළත් තවම පක්ෂයක් ලෙස විරුද්ධව ඡන්දය දෙනවාද නැද්ද යන්න පිළිබඳ සෘජු ප්‍රකාශයක් නැත. කෙසේ වෙතත් පසුගියදා එම පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේ තම පක්ෂය විසින්  ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්විය යුතු බවය. ඒ සඳහා කථානායකවරයාට යෝජනා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ස්වාධීන වූ කණ්ඩායමත් 21ට පක්ෂව ඡන්දය දීම සඳහා විශාල සටනක නිරත වෙමින් සිටිති. ඔවුන් පවසන්නේ ජනතාව මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් හෝ මේ සඳහා ඡන්දය ලබාදෙන ලෙසට බල කළ යුතු බවය. ඒ බව එදා දයාසිරි ජයසේකර කීවේය. එපමණක් නොව ඒ සඳහා ඔවුන් සංශෝධන දහයක්ද ඉදිරිපත් කර තිබුණි. මේ අතර දයාසිරි මහතා සමඟ එකම වේදිකාවේ අදහස් දැක්වූ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත පවසා සිටියේ එවැනි තර්ජනයකින් ඡන්දය ලබා ගැනීමට උත්සහ ගන්නේ නම් කිසිදු ලෙසකින් 21කට පක්ෂව ඡන්දය ලබා නොදෙන බවය. ඔහු පමණක් නොව සරත් වීරසේකර, වීරකුමාර දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පවා පවසන්නේ 21ට ඡන්දය නොදෙන බවය. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මිනිස්සු කන්න ඉල්ලන මොහොතක ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පළක් නොවන ක්‍රියාවක් ලෙසය. මේ අතර ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබාදෙනවාද නැද්ද යන්න තවම දෙමළ ජාතික සන්ධානය පවසා නැත.ඔවුන් තවම මෙය අධ්‍යනය කරන බව පැවසේ.

ඉහත කී ආකාරයටම දැන් මෙම ව්‍යවස්ථාව සංශෝධන කතා හරහා රටේ සෙසු ප්‍රශ්න දේශපාලනඥයන්ට පවා අමතක වී ගොස් ඇත. දැන් සියල්ලෝම දුවන්නේ 21ට ලබාදෙන ඡන්දය පසුපසය. ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදෙන සාධකය මත ජනතාවාදී හෝ ජනතාවාදී නොවන පාලකයන් කොට්ඨාස දෙකක් සැදීමට පාලකයන් විසින්ම පසුබිමක් නිර්මාණය කරමින් සිටී. එහෙත් සැබෑම පිළිතුර නව ව්‍යවස්ථාවකි. එය නොමැතිව අනෙක් සියල්ලම ව්‍යවස්ථා සංශෝධන යොදාගනිමින් සිදුකරනු ඇත.

 ගයාන් ගාල්ලගේ