2022 ජුනි 05 වන ඉරිදා

අගෝස්තුවෙන් පසු බත් පතටත් ප්‍රශ්නයක්!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 258

ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ.. හුදෙක් සිංහලයන්ගේ පමණක් නොව මේ මහ පොළොවේ ජන්ම ලාභය ලද සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් එසේ අසන්නට සිත්වන වත්මනක් අද නිර්මාණය වී තිබේ. අතීතයේදී චීනයටත් සහල් යැව්වා යැයි කියන ශ්‍රී ලංකාවේ, දහසක් වැව් බැඳි පුරාතනේ පෙරදිග ධාන්‍යාගාරය යැයි සම්භාවනාවට පත් අතීත ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජීවත් වන්නවුන්ට මුහුදෙන් එහා සිට හාල් ඇටයේ ධාන්‍ය ඇටයේ සිට සියල්ලක් නැවෙන් එනතුරු ඇස් කන් අයා සිඟන්නන් සේ බලා ඉන්නට අද සිදුව තිබේ. යල - මහ දෙකම අස්වද්දමින් නිලට නිලේ ඇස්වැද්දුණු සරුබිම්වලින් සුසැඳි මේ මාතෘ භූමියේ ඔටුනු නොපලන් රජුන් ලෙස විරුදාවලිය ලත් ගොවියා අද සිය ගෙල වැළලාගෙන මියැදෙන මානසිකත්වයකට පත්ව සිටියි. ඛේදවාචකයේ බරපතළම සන්ධිස්ථානය එයයි. කන්න නැති හෙටක් රටට දායාද වූ පසුබිමක, ගොවියා මහ මඟට ඇද වැටුණු පසුබිමක හෙට දවසේ ශ්‍රී ලාංකිකයන්ගේ බඩගින්න ගැන කතා කරන්නට අපි සිතුවෙමු.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සමඟ මේ සියලු කාරණා පිළිබඳව අප කළ සාකච්ඡාවේ සටහනයි මේ.

සහල් ඇතුළු ආහාර හිඟයක් ගැන බිය අද මුළු රටේම ඇතිවී තිබෙනවා. මේ ගැන අනතුරු ඇඟවීම් කළේ කොයි කාලේ සිටද?

මීට අවුරුද්දකට කලින් ආහාර අර්බුදයක් එන බව අපි කීවා. ජනාධිපතිවරයා පසුගිය අවුරුද්දේ අප්‍රේල් 27 වැනිදා තීන්දුවක් ගත්තා රසායනික තෙල් පොහොර තහනම් කරලා කාබනික පොහොර භාවිතයට ගන්න. ගහෙන් ගෙඩි එන්නා වගේ කිසිදු උපාය මාර්ගික සැලසුමකින් තොරව ගත්ත මේ තීරණය නිසා ආහාර සුරක්ෂිතතාව මුළුමනින්ම බිඳ වැටුණා. අපේ රටේ ආහාර සුරක්ෂිතතාව රුඳී තිබුණේ වී ගොවිතැන එක්ක. මේ රටේ ප්‍රධාන බෝගය වී. අතිරේක බෝග වගාවන් වන කුරක්කන්, තල, බඩඉරිඟු, ඒ වගාවන්ටත් රසායනික තෙල් පොහොර තහනම බලපෑවා. අපි උපාය මාර්ගික සැලසුමක් ඉදිරිපත් කරමින් පැහැදිලිවම කීවේ රසායනික තෙල් පොහොර තහනම මධ්‍යම කඳුකරයේ අඩි 4000ක ප්‍රදේශයේ ඉස්සරලා පටන් ගන්න. ඊට පසු අවුරුද්දකින් පටන්ගන්න අඩි 3000 – 4000 ක් අතර ප්‍රදේශයේ. ඊට පසු අඩි 2000 – 3000ත් අතර ප්‍රදේශයේ අවසාන අදියරේදී වී ඇතුළු අතිරේක ආහාර සඳහා මේ තහනම බලපවත්වන්න කියලා. මේ ක්‍රියාවලිය අවුරුදු පහක් විතර තුළ ක්‍රමයෙන් කරන්න කියලා අපි කීවා. ලෝකයේ කිසිම රටක් මුළුමනින්ම රසායනික තෙල් පොහොර භාවිතයෙන් තොරව වගා කරන්නේ නෑ. කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු මේ කිසිදු පාර්ශ්වයක් අපි කියපු දේට සවන් දුන්නෙ නෑ. කෘෂිකර්ම ඇමැතිවරයා වැඩ කළේ මෝල්ගස් ගිලපු පිඹුරෙක් වගේ. 

රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව කොපමණද?

මේ රටේ මාසෙකට සහල් අවශ්‍යයි මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූදාහක්. වාර්ෂිකව සහල් අවශ්‍යතාව දළ වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 28ත් 32ත් අතර. මේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව සපුරන්න අවශ්‍ය වී තොග 2021 වෙනකම් නිෂ්පාදනය කළා. 2021 වෙද්දි මේ රටේ මාස දාහතකට අවශ්‍ය වී තිබුණා. රසායනික තෙල් පොහොර තහනම් කරලා අවසානයේ නොවැම්බර් වෙද්දි කාබනික පොහොර තිබුණේ නෑ. ඊටත් පසු රසායනික පොහොර ගේන්න රටේ ඩොලර් නැති ප්‍රශ්නයක් ඇතිවුණා. මේ රසායනික තෙල් පොහොර භාවිතය තහනම් කළේ ගොවියාට දුන්න ගොවි සහනාධාරය කපන්න.

දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යමින් ජනතාව සහ ගොවියන් උසිගන්වන බවටත් ඔබලට චෝදනා ආවා. ඒ චෝදනා සාධාරණද?

මේ රටේ වී වගා කළා හෙක්ටයාර් දහතුන් ලක්ෂ ගණනක් මාස් කන්නයට. ඒ හෙක්ටයාර් දහතුන් ලක්ෂයේ සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක්. මිලියන 3.5ක ඒ අපේක්ෂිත අස්වැන්නට මොකද වුණේ අද. ගිය අවුරුද්දෙ වී අස්වැන්න 60% ක් විතර අඩු වුණා. 2021 – 2022 මාස් කන්නයේ වී අස්වැන්න අඩු වූ බව අපි කියද්දි කෘෂිකර්ම ඇමැතිවරයායි අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි ඔක්කොම අපි දිහා බැලුවේ හරි අවඥාවෙන්. දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව අපි ජනතාව සහ ගොවියන් උසිගන්වනවා, රටම නොමඟ යනවා කියලා අපිට චෝදනා කළා. ඒත් අද ජනාධිපතිවරයාගේ සිට සියලු වගකිව යුතු පාර්ශ්ව රටෙන් සමාව ගන්න තැනට මේ අර්බුදය උග්‍ර වුණා. ඒත් ජාතියෙන් සමාව ගත්තා කියලා මේ අර්බුදය විසඳන්න බෑ. ගිය මාස් කන්නයේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක්. සාමාන්‍යයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් විතර අස්වැන්න තමයි මේ විදිහට 50% - 60% කින් අඩු වී තියෙන්නේ. යල කන්නයේ වී අස්වැන්න 2021- 2022 ගත්තම දැන් වී සංචිතය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් 14ක් තමයි තියෙන්නේ. හැබැයි මෙයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් 3ක් ගොවියන් ළඟ තියෙන්නේ ඔවුන්ගේ දරුපවුල්වලට කන්න දෙන්න නැති වුණොත් ඊට පිළියමක් වශයෙන්. ගොවියන් සතුව වී කිලෝ දාහ එක්දහක් පන්සිය බැගින් තියාගෙන ඉන්නවා. එය ගොවියන් සතු අයිතියක්. රජය සතු වී ගබඩාවල දැන් තියෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක්. වී මෙට්‍රික් ටොන් දළ වශයෙන් ලක්ෂ දහයක් පමණ තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ළඟ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10කින් සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් හයලක්ෂ විසිපන් දහසක් විතර. යල කන්නයේ අපි මහා පරිමාණයෙන් වගා කරලා නෑ. පසුගිය අගෝස්තු මාසයේ අපි වගා කළා නම් මසකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ආවත් ඊළඟ අගෝස්තු ඉඳන් සහල් අර්බුදය එන්නෙ නෑ. දැන් තියෙන අර්බුදය හරිම භයාංකාරයි. අගෝස්තු වෙද්දි මේ රටේ සහල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වී ඇටයක්වත් නෑ.

 


ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

ඔබ කියන්නේ අගෝස්තුවලින් පසු මේ රටේ ජනතාවට කන්න සහල් ඇටයක්වත් නෑ කියලද?

ඇත්තටමවත් කන්නම නැති තත්ත්වයක් එනවා. සැලකිය යුතු මට්ටමින් වී වගා නොකරපු බස්නාහිර පළාතට, දකුණු පළාතට, මධ්‍යම පළාතට මේ තත්ත්වය දැඩිව බලපානවා. උතුරුමැද - නැගෙනහිර ඌව පළාත වයඹ පළාත ආදී පළාත්වල යම් මට්ටමකින් වී වගා කළා. ඒත් මේ පාර වගා කරන්නෙම කුඹුරු තියෙන අය තමන්ගේ පරිභෝජනයට විතරයි. එතකොට මේ රටේ සමස්ත ජනගහණයෙන් 80%කට ආහාර අර්බුදය දැඩිව දැනෙනවා. බත් කන්න නැතිවෙනවා.

සහල් සහ ආහාර අර්බුදයක් රටේ නිර්මාණය වීම එක පැත්තක්. අනිත් පැත්තෙන් ගොවියා හිඟමනට මහමඟට වැටෙන තත්ත්වයක් නිර්මාණය වුණා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ගොවියන් වගේම අපිත් කැමතියි රටේ ජනතාවට වස විස නැති දේවල් කවන්න. ගොවියා කියන්නේ සද්භාවයෙන් නිෂ්පාදන ආර්ථිකයට උර දෙන්නෙක් මිසක් ජනතාවට වස කවන්නෙක් නෙවෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගත්ත අමනෝඥ අත්තනෝමතින සහ අදූරදර්ශි දැඩි තීරණ නිසා ගොවියාට වින කරපු ප්‍රබලම ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත්වුණා. රසායනික තෙල් පොහොර තහනම නිසා ගොවියාට තමන්ගේ අස්වනු 60% ක් විතර අහිමි වුණා. අද ගොවියන්ට ට්‍රුක්ටර් කුලිය ගෙවලා හාගන්න විදිහක් නැහැ. අස්වනු නෙලාගද්දි කුලී ගෙවාගන්න බෑ. 60% ක් අස්වනු හානිය නිසා ජනාධිපති ඇතුළු බලධරයන් කීවා අඩු වූ අස්වැන්නට වන්දි ගෙවනවා කියලා. දැන් අලුතින් පත්වෙච්ච කෘෂිකර්ම ඇමැතිවරයා කීවා වන්දි ගෙවන්න සල්ලි නෑ කියලා. එහෙම කියන්න නම් ආණ්ඩුවක්වත් කෘෂිකර්ම ඇමැතිවරයෙක්වත් මොකටද? ගොවියා මහ පාරට හිඟමනට ඇද දැමීමට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. 

අපි මුල ඉඳන්ම කීවා ගොවියට වින කරලා ආණ්ඩුවට හෙණ ඉල්ලාගන්න එපා කියලා. අද ගොවියන් බහුතරය ඉන්නෙ මරාගෙන මැරෙන මානසිකත්වයක. ගොවියාට කරපු විනයට දිට්ඨ ධම්මවේදනීය කර්මය තමයි අලකලංචි විදිහට ආණ්ඩුවට ආවේ. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාව හැටනම ලක්ෂයේ ජනයා තුනෙන් දෙකක් නියෝජනය කරන්නේ ගොවි ඡන්ද. මේ රටේ කෘෂි ආර්ථිකයක් හදනවා, නිෂ්පාදන ආර්ථිකයක් හදනවා, පොහොර සහනාධාර දෙනවා කියලා බලයට ආව ආණ්ඩුව අවසානයෙදි මොකද කළේ? මෙතෙක් පත්වෙච්ච ආණ්ඩු මේ තරම් ගොවියාට වින කළේ නෑ. මේ අස්සේ කෘෂිකර්ම අමාත්‍යංශය ලැප්ටොප් 7000ක් ගෙන්වන්න පත්තරේ දැන්වීම් දාලා. ඒවට වියදම් කරන සල්ලි මේ මොහොතේ ගොවියන්ට වන්දි ටික දෙන්න, පොහොර ටික දෙන්න වැය කරන්න කියලා අපි ඉල්ලන්නේ. ගොවිජන දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලධාරීන් 16,000ක්. කෘෂිකර්ම පර්‌ෙය්ෂණ නිලධාරීන් ඉන්ධන 10,000ක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නවා විසි තිස්දාහක්. මේ අය නඩත්තු කරන රුපියල් කෝටි ගණනක මුදලට සරිලන්න නිෂ්පාදන ආර්ථිකයක් හැදිලා තියෙනවද? 

අපි අපේ අඛණ්ඩ සත්‍යග්‍රහය නැවැත්තුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි සමඟ කළ සාකච්ඡාවක් නිසා. උන්වහන්සේ අපේ ගැටලු වෙනුවෙන් රජය දිය යුතු මැදිහත්වීම වගේම අපේ ප්‍රශ්නත් මැනවින් තේරුම් ගත්තා. අපේ දෙවුර මත පැවරුණු වගකීම උන්වහන්සේ තේරුම් කරලා දුන්නා. උන්වහන්සේ ඇතුළු තවත් එවැනි පාර්ශව අපෙන් ඉල්ලීමක් කළා. රටේ ජනතාව වෙනුවෙන් රට අස්වැද්දීමේ වගකීම මේ මොහොතේ බාරගන්න කියලා. අපි සද්භාවයෙන් එවැනි පාර්ශ්ව වෙතින් ආ ඉල්ලීම් මත වගා අරගලයට ආවේ. සද්ධාතිස්ස භූමිකාවට නැවත පණ පොවමු කියලා නව වැඩපිළිවෙළක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඇත්ත අරගලය වගා කිරීම. ඒත් දිගින් දිගටම රජය අත්තනෝමතික විදිහට වැඩ කළොත් සහන ටික අපට නොදුන්නොත් අපි කොළඹ ඇවිත් පාර්ලිමේන්තුව තියෙන වෙලාවක වටලනවා. 

■   සංජීවිකා සමරතුංග